රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන්  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කරන ලදැයි යන චෝදනාව යටතේය.

ඔහුට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු ඇතුළු තිදෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සංජීව රත්නායක මහතා එදින නියෝග කරන ලදී.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මාලබේ ප්‍රදේශයේ පදිංචි කාංචන එරික් සිංහාරගේ, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන දෙහිවල පදිංචි මීරා සයිබදු මොහොමඩ් මොහිදීන් සෆ්රාස් සහ ඔහුගේ බිරිඳ වන ශකිලා මුම්තාස් තායුබ් යන අයවලුන්ය.

ඔවුන් අත්අඩංඟවට ගන්නා ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

මෙම සැකකරුවන් දෙමටගොඩ රුවන් නමැත්තාගේ පුත්‍රයාගෙන් රුපියල් කෝටි එක හමාරක මුදල ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ට ලබා දීමට යැයි පවසමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

මෙම සිද්ධියට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ බවද සඳහන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

අදාල අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවීම සඳහා දෙමටගොඩ රුවන් යන අය ගේ පුත්‍රයා සම්බන්ධ කර දී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා බව ද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

දුමින්ද සිල්වා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට විවිධ පිරිස් විසින් චෝදනා එල්ල කරන ලදී. මෙමගින් පැහැදිළි වන්නේ ඔහු තවමත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබදතාවයක් ඇති බව යැයි පොලිස් ආරචි මාර්ග ප්‍රකාශ කරයි. දුමින්ද සිල්වා සමඟ භාරත ඝාතනයට ගිය චමින්ද රුවන්ගේ සහෝදරයකු වීම ද මෙම සම්බන්ධය තවත් තහවුරු කරයි.

තවද මෙම අල්ලසට නම ගෑවී ඇති නීතිඥවරියක් දුමින්ද සිල්වා සමඟ විවාහ වීමට යන්නේ යැයි නීතිපති දෙපාර්තමෙන්තුවේ ඕපාදුපයක් පැතිර යමින් තිබේ.

(ලංකාදීප වාර්තාවක වූ කරුණු   ද ඇසුරිණි. එම වාර්තාව මෙම ලිපියට සම්බන්ධ නැත.)