Friday, March 29, 2024

විරෝධතාකාරියනට සහ විරෝධතාකරුවනට විවෘත ලිපියක් – ඉන්ද්‍රවංශ ද සිල්වා, විශ්‍රාමික මහාචාර්ය

ඡායාරූපය: ගෝටා සහ ඉතිරි අය ගෙදර යවා, තවමත් හෝද්දට හැන්දක් වත් දමා නැති ස්වයං ප්‍රකාශිත “පිරිසිදු” මිනිසුන්ට වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී සහ නියමානුකූල ආයතනවලින් හිස් බව පිරවී

සුභ පැතුම්! ඔබ ඉතිහාස ලියමින් සිටී. ඔබ ඉක්මනින්ම සටනක් දිනුවේය. ඔබ ඉතිහාසගත වූයේ මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ වැනි මහජන විරෝධතාවක් තිබී නැති නිසාය. එය ද ඓතිහාසික වන්නේ ඔබගේ විරෝධතාවය දේශපාලන පක්ෂයක්, ප්‍රතාපවත් නායකයෙකු හෝ හඳුනාගත් ආයතනයක් විසින් සංවිධානය නොකරන ලද එකක් වන නිසාය. එසේ නමුත්, ඔබ මේ වන විට දන්නා පරිදි, අතථ්‍ය තිර පිටුපස සිටින බොහෝ පක්ෂ, පුද්ගලයයෝ සහ මායාකරුවෝ සම්පූර්ණයෙන් නොවේ නම් අර්ධ වශයෙන් හෝ විරෝධතාවයේ හිමිකාරත්වයට උරැමය කියති.  සාර්ථකත්වයට බොහෝ පියවරුන් සිටින අතර අසාර්ථකත්වය අනාථයෙක් යැයි කියනු ලැබේ. දෙවියන් විසින් ඉඩ නොදෙනු ඇති මුත්, මෙය ලේ වැකි ලෙස අවසන් වූව හොත්, ඔවුන් කෙතරම් වේගයෙන් ඔබෙන් ඈත් වී ඍෂිවරුන් බවට පත්වේදැයි ඔබට පෙනෙනු ඇත.

ඔබ දිනුවේ සටනකි. යුද්ධය එහෙමමය.

ඔබ සටනක් දිනුවේය. මදක් සිතන්න, ඔබේ විරෝධතාවයෙන් දින කිහිපයක් ඇතුළත ජනාධිපතිවරයා තම අමාත්‍ය මණ්ඩලය ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන බව කීවේය. එමගින්, ඔබ අත් කර ගෙන ඇත්තේ, මනා පළපුරුදු දේශපාලඥයින්ට පවා ඔවුන්ගේ සමස්ත දේශපාලන ජීවිතය තුළ ඉටු කර ගැනීමට නොහැකි වූ දෙයකි. වීරවංශ සහ ගම්මන්පිල යන එළියට විසි වූ වාචාල ඇමතිවරුන් දෙදෙනා “බැසිල් රාජපක්‍ෂ යන තුරුම සටන් කරනවා” යැයි පැවසූ අයුරු මතක ද? මෙන්න, ඔබට ස්තුතිය. මොළ හතක් ඇති බැසිල් තවදුරටත් ආර්ථිකය කාල් ගාන්නේ නැත. ඔබේ ජයග්‍රහණය වීරවංශගේ සහ ගම්මන්පිලගේ “අරගලය” වැඩකට නැති එකක් බවට පත් කළේ නැද්ද?

එහෙත්, ඔබ තවමත් අවසාන ඉමට පැමිණ නැති බැවින් ජයග්‍රාහී ධාවන පථයට මාරු වීම තරමක් අකාලික බව පෙනේ. මතක තබා ගන්න, ඔබ දිනුවේ යුද්ධය නොව සටනකි. එය අවසානයෙන් බොහෝ දුරය. ඔබේ අඛණ්ඩ වීදි වාඩි ලෑම සහ පොදු අවකාශය පෙන්නේ එයයි.

ඉතින් මීළඟ ක්‍රීඩා සැලැස්ම කුමක්ද? ඔබ යන්නේ කොහිදැයි ඔබ දන්නවාද? ඔව්, ඔබට ගෝටා ගෙදර යැවීමට අවශ්‍ය බව අපි දනිමු. ඔබ වඩාත් කැමති වනු ඇත්තේ ජනයාගේ මුදලින් කුලී නොගෙවන නිවසට ඔහු යැවීමටය. (ඔව්, ඔව්, මම දන්නවා ඔබට 225 දෙනාම යැවීමට අවශ්‍ය බවත්, ඔවුන් සියල්ලන්ම කොල්ල කෑ දේ ආපසු ලබා ගැනීමට අවශ්‍ය බවත්. නමුත් අපි දැනට ප්‍රධාන කරුණට සීමා වෙමු). නිකමට හිතන්න, ගෝටා අන්තිමට ඔබ කියන දේ අසා ගෙදර ගියාය කියා. (කේක් එකට අයිසින් දැම්මා මෙන් 225මත් ඔහු රැගෙන ගියේය කියා.) එවිට කුමක්ද? ඊට පිළිතුරු සෙවීමට අපි වඩාත් ගැඹුරට සහ විස්තීර්ණ ලෙස ලෙස බලමු.

සුදු අසකු පිට නැගී එන නායකයා/නායිකාව කව්ද?

විරෝධයේ උච්චතම අවස්ථාවේ සුදු අශ්වයෙකු පිට නැගී පැමිණ සියල්ල බේරා ගැනීමට යන්නේ කවුද? ඔබට දේශපාලකයින් එපා වී ඇති බවත් අවුල බේරීමට දේශපාලන ක්ෂේත්‍රයෙන් පිටත නායකයින් අවශ්‍ය බවත් ඔබ කියනු අපට ඇසේ. හොඳයි, පසුගිය ජනාධිපතිවරණයේදී, ඔබ අතුරින් මිලියන 6.9ක් ඡන්දයට ගිය අවසථාවෙදී හරියටම එයම කීවේ නැද්ද? අනික ගෝටා තමා දේශපාලකයෙක් නෙවෙයි කියමින් නේද වේදිකාවට නැග්ගේ? ඒ “පිටස්තරයා” අවසානයේ කළේ කුමක්ද? ඔහුත් ඉතිහාසගත වුණා නේද? රට බංකොලොත් භාවයට යවමින්, රටම කලුවරේ තබා , ඔබ සියල්ලන්ම පාරට ගෙන ආ නිකමකු බව පෙන්නුම් නොකළේද? ඒ කතාව අපට කියන්නේ කුමක්ද? ඔබ බොහෝ දුරට නැවත නැවතත් එවැන්නකුම ඉල්ලා සිටින බැවින් ඔබ දර්පණයෙන් පසුපස බැලිය යුතුය.

ඔබට පෙනෙන පරිදි, ජයග්‍රාහී හමුදාවක් පවත්වා ගෙන යාම ඇතුළු ඕනෑම දෙයක් කතා කිරීම සහ පවත්වා ගෙන යාමට වඩා ආණ්ඩුකරණය කිරීම ඉතා වෙනස්ය, දුෂ්කර සහ අභියෝගාත්මක ය. ඇත්ත වශයෙන්ම, දේශපාලකයන් නොවන අය ආණ්ඩු කිරීමට කාලය පැමිණ ඇතැයි ඔබ සිතන විට ඔබ තනි නැත.

“දේශපාලකයින් නොවන” නව වර්ගය

දේශපාලඥයන් කොතරම් දූෂිත වී ඇත්ද යත්, ලොව පුරා සිටින ජනයා ඔවුන්ගෙන් වෙහෙසට පත් වී දේශපාලන ධුරයන්ට “දේශපාලකයින් නොවන” නව වර්ගයක් තෝරා ගැනීමට පටන් ගත්හ. ඔවුන් පැමිණියේ මිලිටරිය, ව්‍යාපාරික ලෝකය, ක්‍රීඩා, කලා ආදි ක්ෂේත්‍රයන්ගෙනි. ඔවුන් වැඩ බැස්සේ කෙසේ දැයි නිකමට බලමු. නම් කිහිපයක් ඉදිරිපත් කර විනිශ්චය ඔබට බාර දීමට මට ඉඩ දෙන්න: ශ්‍රී ලංකාවේ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ; පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්; ප්‍රංශයේ ආයෝජන බැංකුකරු එමානුවෙල් මැක්‍රොන් (කහ කබා විරෝධතාව මතකද?); “ඉතා සාර්ථකයි, මම දක්ෂයෙක්” යනුවෙන් ස්වයං-ප්‍රකාශිත එක්සත් ජනපදයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප්. ලැයිස්තුව දිගය. නමුත් ඔබට කාරණය වැටහෙනු ඇත.

ඒ නිසා ජයග්‍රහණයට පසු දින සිදු වන දේ ගැන කල්පනාකාරී වන්න. එනම් ගෝටා සහ සමාගම ගෙදර ගියදාට පසුදා ඒ හිස්තැන පුරවන්නේ කවුද යන්නයි.

ටියුනීසියාවේ අරාබි වසන්තය දෙස ආපසු හැරී බලමු.

මෙම නූතන විරෝධතා අවසන් වූ ආකාරය, ඔවුන් ලබා ගත් දේ සහ ඒවායින් අපට උගත හැකි පාඩම් දෙස බැලීමට අපි තව මදක් ඉතිහාසයට යමු. මීට වසර 11 කට පමණ පෙර 26 හැවිරිදි වීදි වෙළෙන්දෙකු වන මොහොමඩ් බුවාසිසි විසින් ස්වයං ගිනි තබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය (එනම් දූෂිත නොවන) සඳහා විරෝධතා රැල්ලක් ආරම්භ කළ ටියුනීසියාවට අපට යා හැකිය. ඇත්ත වශයෙන්ම, ටියුනීසියාව 2011 අරාබි වසන්තයේ වැදගත්ම සාර්ථක කතාව විය. වඩ වඩාත් අධිකාරීවාදී එරට වත්මන් ජනාධිපති කායිස් සයිද් ඒකාධිපතියන්ගේ අත්පොත් අනුගමනය කරන බව පෙනෙන නිසා ටියුනීසියාව අත්කර ගත් සෑම දෙයක්ම දැන් අනතුරේ වැටී ඇත. තවද , සයිද් යනු ව්‍යවස්ථා නීති විශාරදයෙක් මිස ඔබ පිටුු දකින වර්ගයේ දේශපාලඥයෙක් නොවේ. (ශ්‍රී ලංකාව මෙන්ම ටියුනීසියාව ද ආර්ථික කඩාවැටීමේ අද්දර ය.)

ඊජිප්තුව මතකයට ගන්න

තවද, අරාබි වසන්තය දියත් වී දින 18 ක විරෝධතාවයෙන් හමුදා ප්‍රබලයෙකු වූ හොස්නි මුබාරක් දණගස්වා, ඔහු සිරගත කළ ඊජිප්තුවෙහි වූයේ කුමක්ද? හොඳයි, මුබාරක් “නිදහස් මිනිසෙකු” ලෙස සිර ගෙදරින් එළියට පැමිණ මිය ගියේය. විරෝධතාවයට පණ පෙවූ , වරක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ, මුස්ලිම් සහෝදරත්වයේ නායක මොර්සි සිරගෙදරට දමා ජෙනරාල් සිසි යටතේ හමුදා ආඥාදායකත්වය නැවත ඊජිප්තුවට පැමිණයේය. මුබාරක්ගේ නෙරපා හැරීම සහ සිසි ජනාධිපති ධූරයට පත්වීම අතර කාලයෙහි දස දහස් ගණනක් විරෝධතා දැක්වීමට තාහීර් චතුරශ්‍රයට පැමිණියහ. ව්‍යවස්ථාව නැවත ලියන ලදී. දහසකට වැඩි පිරිසක් මරා දැමුණ අතර (තාහීර් චතුරශ්‍රයේ සමූලඝාතනය)  දහස් ගණනක් තවමත් සිරගතව සිටිති.

අරාබි වසන්තයට වඩා මඳක් ගැඹුරට යන, විරෝධතා මගින් ගොඩ නැගූ රජයක අත්දැකීමක තවත් ප්‍රතිඵලයක් ගෙන ඒමට මට ඉඩ දෙන්න: පිලිපීනයේ මාර්කෝස්. මහජන විරෝධතාව නිසා ඩොලර් බිලියන 10 ක් පමණ කොල්ල කා සිටි මාර්කෝස් 1986 දී හවායි වෙත පලා ගියේය. එම පවුල 1989 දී ආපසු සිය රට පැමිණ නැවත දේශපාලන පැමිණීමක් සැලසුම් කිරීමට පටන් ගත්තේය. එය තරමක් සාර්ථක එකක් බවට පත් විය. මාර්කෝස් ජූනියර්, ඔහුගේ ළමා කාලයේ අන්වර්ථ නාමය වන Bongbong නමින් පුළුල් ලෙස හඳුන්වනු ලබන අතර, ඔහුට ඩොලර් බිලියන ගණනක් සොරකම් කිරීම සහ ඩොලර් බිලියන 3.9 ක නොගෙවූ අය බදු සම්බන්ධයෙන් නඩු පවරා තිබීම නොසලකා, එළඹෙන මැයි 9 මැතිවරණයේ (කිසිදු අදහසක් ගන්න එපා, නාමල්) ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ලෙස සැලකේ.

 විරෝධතාවය හරිය!

එබැවින් මහජන විරෝධතා අවසානයේ ඇතිවිය හැකි දේ පිළිබඳ වාර්තාව එතරම්ම බලාපොරොත්තු සහගත එකක් නොවේ. ඇත්ත වශයෙන්ම මෙයින් අදහස් කරන්නේ මම විරෝධතාවට පක්ෂ නොවන බව නොවේ. රාජපක්ෂ පාලනය දිගටම පවත්වා ගෙන යාමට පක්ෂව මා තර්ක කරන්නේද නැත. ඔවුන් දරුණු ලෙස අසාර්ථක වී, රට විනාශ කර ඇති අතර ඔවුන් ඉවත් කිරීමට ඉල්ලා සිටීමට ඔබට සෑම අයිතියක් ඇත. මම යෝජනා කරන්නේ ඔබ අතීතය දෙස බලා සිදු වූ වැරදි වලින් ඉගෙන ගත යුතු බවයි. සහතිකවම, ඔබ ලියමින් සිටින්නේ ශ්‍රී ලංකා ඉතිහාසයි.  ලෝක ඉතිහාසය නොවේ. ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින විරෝධතාවය, මෙරට තුල පෙර නොවූ විරූ දෙයකි.

පුටු මාරු කිරීම

නමුත් ලෝක ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාවේ සිදු වන දේ අලුත් නොවේ. මේ දර්ශනය මීට කලින් ලෝකයම බලා තිබේ. මා උපුටා දැක්වූ සහ නොකළ අසාර්ථක වීම් සියල්ලම පාහේ එක් අදක්‍ෂ පාලකයන් පිරිසක් විවිධ වර්ණ, හැඩයන් සහ සමහර විට මතවාදයන් සහිත තවත් අදක්ෂ පාලකයින් පිරිසක් මගින් ආදේශ කිරීමේ ප්‍රතිඵලයන්ය. තවද, අවාසනාවකට මෙන්, බොහෝ අවස්ථාවලදී දේවල් වඩාත් නරක අතට හැරුණි. එය එසේ නොවිය යුතු වුවත්. අනිත් අය කරන වැරදිවලින් අපට ඉගෙන ගත හැකිය. පිරිසිදු, දූෂිත නායකයින් සෙවීම දුෂ්කර ගමනකි. එය බොහෝ විට ප්‍රතිඵල රහිත ගමනකි. තමන් පිරිසිදු බවත් දූෂිත නොවන බවත් පවසන බොහෝ මිනිසුන්ට ආරම්භයේදී දූෂිත වීමට බලයක් හෝ ඉඩක් තිබුණේ නැත.

වාසනාවකට මෙන්, මාර්ගයක් තිබේ

ඔබ වැනි විරෝධතා මගින් එවැනි “පිරිසිදු” මිනිසුන් ගෙනැවිත් ඔවුන්ට බලය ලබා දුන් විට ඔවුන් වඩා දූෂිත වීමට  බොහෝ දුරට ඉඩ තිබේ. බලය දූෂණය ඇති කරන  අතර පරම බලය පරම දූෂණය ඇති කරන බව කියැවේ.

වාසනාවකට මෙන්, මාර්ගයක් තිබේ. දේශපාලඥයන් පරීක්ෂා කිරීමට බලය ඇති කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිහිටුවීම වෙනසෙහි ප්‍රතිඵලයක් වූ විට දූෂිතයින්ට ඒවා ගසා කෑමට සහ තමන් තර කර ගැනීම වඩ වඩාත් දුෂ්කර වේ. ඉතින් මගේ යෝජනාව නම්, ඔව්, ගෝටා සහ ඉතිරි අය ගෙදර යවා, තවමත් හෝද්දට හැන්දක් වත් දමා නැති ස්වයං ප්‍රකාශිත “පිරිසිදු” මිනිසුන්ට වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී සහ නියමානුකූල ආයතනවලින් හිස් බව පුරවන්න. ආරම්භ කිරීමට හොඳ තැනක් නම්, ඇත්ත වශයෙන්ම, වත්මන් ඉල්ලීමය. එනම් ඔබට ගෙදර යැවීමට අවශ්‍ය මිනිසාට නිරපේක්ෂ බලය ලබා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඔහුව නීතියට ඉහළින් තැබීම (මතක තබා ගන්න, “මා කියන දේ තමයි නීතිය?”) අවසානයක් කිරීමයි.

මහ පොළවේ දේශපාලනය වෙත

අවසාන වශයෙන්, මහ පොළොවේ දේශපාලනය වෙත ඔබේ අවධානය යොමු කිරීමෙන් මෙය අවසන් කිරීමට මට ඉඩ දෙන්න.

මීට දින කිහිපයකට පෙර අගමැති රාජපක්ෂ ඔබට සාකච්ඡාවකට ආරාධනා කළ විට ඔබ තවත් කුඩා සටනක් දිනුවෝය. ඔබ කළේ කුමක් ද? ඔබ එය ප්‍රතික්ෂේප කළෝය. මන්ද? ඇයි එහි ගොස් ඔබට අවශ්‍ය දේ සාකච්ඡා මේසය මත තැබුවේ නැත්තේ? ඔබ කළ වැරැද්දේ මිල ඔබට තේරෙනවාද? අත හැරුණු වටිනාකම දෙස බලන්න. අගමැති ඔබේ විරෝධය සුජාත කර ඔහුගේ ආරාධනය මගින් ඔබේ බලය පිළිගත්තේ ය. ඔබ එය කුණු කූඩයට විසි කළේය.

ලෝකය ඔබේ අරගලය දෙස බලා සිටින අතර ඔවුන් කිසිවක් සිදු වනු දුටුවේ නැත. ඔබ එම යෝජනාව පිළිගත්තේ නම් උද්ඝෝෂක පිරිස් අගමැතිවරයා හමුවීම ලෝකයටම දැකගත හැකිව තිබුණි. නිකමට සිතන්න, තමන් සමඟ සාකච්ඡා මේසයෙහි වාඩි වී සිටි කණ්ඩායමකට කඳුළු ගෑස් හෝ බැටන් ප්‍රහාර එල්ල කිරීම කොතරම් දුෂ්කරවේද කියා?

මා සිතන්නේ එය ඔබේ අත්දැකීම් මද බව පෙන්වන උපායමාර්ගික වැරැද්දක් කියාය. මා සිතන්නේ ඔබ එම ආරාධනය පිළි නොගැනීමට එක් හේතුවක් වන්නට ඇත්තේ ඔබ (එනම්, විරෝධතාව) නියෝජනය කිරීමට කිසිවෙක් හෝ කණ්ඩායමක් නොමැති වීමයි. එම නියෝජනය සොයන්න. පොදු පදනමක් සොයා ගෙන සාකච්ඡා ආරම්භ කරන්න. ජීවිතය සම්මුතියකි. ඉතිහාසයේ කුණු කූඩය සම්මුති විරහිත මූලධර්මවලින් පිරී තිබේ. ඔබ නිර්භීත වී ඇත. දැන් නුවණක්කාර වීමට අවස්ථාවයි.

17.04.22 දින ඉංග්‍රිසි බසින් පල කරන ලද ලිපියක  සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Archive

Latest news

Related news