Tuesday, July 16, 2024

විදි බසින තරුණ ජනයාගේ අභිලාෂයන් ඉටු කිරීමට හදිසි යාණ්ත්‍රණයක් අවශ්‍යයි; විදෙස්ගත ලංකික සංවිධාන විසදුම් යෝජනා ඉදිරිපත් කරයි!

යොවනයන්ගෙන් හා දේශපාලනිකව නොබැඳුණු අති බහුතරයකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ ජනතාව “ගෝ, ගෝටා ගෝ!” යන සටන් පාඨය වටා ඒකරාශි වී තිබීමෙන් අදහස් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කිරීමට වඩා වැඩිමනත් කාරණයක් වේ. රාජපක්ෂ පවුල එපා වී සිටින ජනතාවට කිසිදු රාජපක්ෂ කෙනෙක් බලය දරන කිසිදු තැනක සිටීම අවශ්‍ය නොවේ. රාජපක්ෂ යටතේ හෝ වෙන කවරෙකු යටතේ හෝ වුව ජනතාවට අත්තනෝමතික පාලනයක් ද අවශ්‍ය නැත. රාජපක්ෂලාගේ අත්‍යන්ත අවකළමනාකරණය නිසාවෙන් අහිමි කරනු ලැබ තිබෙන තම ජීවිතය ප්‍රකෘතිමත් කර ගන්නටද ඔවුන්ට අවශ්‍යය. නිදහස, තම අදහස් ප්‍රකාශ කිරීමේ සහ බලයේ සිටින අය විවේචනය කිරීමේ නිදහස ද ජනතාවට අවශ්‍ය ය. ලංකාවේ ජනතාව මහ හඩින් පැහැදිලිව මේ බව දක්වා ඇත.

අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් අපගේ සහය යලිත් ප්‍රකාශ කර සිටින අතරම, විදේශගත ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන සංවිධාන වශයෙන් අපි පහත සඳහන් ස්ථිරසාර යෝජනා ඉදිරිපත් කරමු.

1. වෙනසක් ඉල්ලා වීදි බැස සිටින ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ. අඛණ්ඩව කරන සංවාදයක් මගින් මෙය තහවුරු කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ස්ථාපිත කල යුතුය. අත කර ගනිමින් සිටින ජයග්‍රහණය නැතිව යන්නට ඉඩකඩ නොතැබිය යුතුය. ලොව පුරා තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා වන විවිධ ව්‍යාපාරවල සාර්ථකත්වයන්, අසාර්ථකත්වයන් සහ බලාපොරොත්තු සුන්වීම් වලින් අප අත්දැකීම් උකහා ගත යුතුය.

2. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි සංශෝධනය වහා අහෝසි කළ යුතු වන අතර, දහනවවැනි සංශෝධනයේ විධිවිධාන ඒවායේ ආවේනික පරස්පරතා නිවැරැදි කොට නැවත ක්‍රියාත්මක කල යුතුය. පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා/වරිය තෝරා පත් කර ගනු ලැබීමට මෙන්ම අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති වරයා/වරිය කටයුතු කරන්නට මඟ පාදමින් විසිඑක්වැනි සංශෝධන පනත් කෙටුම්පත මගින් දහනවවැනි සංශෝධනය ප්‍රතිස්ථාපනය කිරීමටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් ප්‍රතිපාදන ඇති කල යුතුයයි අපි යෝජනා කරමු. මේ අවස්ථාවේ වියදම් අධික ජනමත විචාරණයක් වළක්වා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අපි දැනුවත් වෙමු. ජනාධිපති වරයා/වරිය අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කිරීම සහ ඔහු/ඇය පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍යද යන්න පිළිබඳව විවිධ අදහස් තිබෙන අතර, ඒත්‍ සමඟම එවැනි වෙනස්කම් සිදු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව දක්වන නීතිමය මතවල වැඩි වර්ධනයක්ද සිදු වෙමින් ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම කාරණය තීරණය කරනු ලැබීම වඩාත්ම සුදුසුය. ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීරණය කරන යම් ප්‍රතිපාදනය එහි වේ නම් ඒවා සුදුසු පරිදි සංශෝධනය කොට, මේ අවස්ථාවේදී ජනමත විචාරණයක් පැවැත්වීම වළක්වා ගත හැකිය.

3. 21 වැනි සංශෝධනය බලාත්මක වීමත් සමඟම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙන්ම අන්තර්වාර කාල සීමාව තුළ පාර්ලිමේන්තුව තුල නියෝජනය වන දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරමින් කටයුතු කිරීමට තිබෙන ඔහුගේ කැමැත්ත පාර්ලිමේන්තුවේදී වහාම ප්‍රකාශයට පත් කළ යුතුයයි යෝජනා කරමු.

4. කවර පක්ෂයක් හෝ පක්‍ෂ විසින් ආණ්‌ඩුව සමන්විත කරනු ලැබූවත්, මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන තෙක්, ඇමැතිවරු සංඛ්‍යාව විස්ස නොඉක්මවිය යුතුය; කැබිනට් නොවන ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ මුළු  සංඛ්‍යාවද විස්ස නොඉක්මවිය යුතුය.

5. විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරනු ලැබූ වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා විධිවිධාන සැලසිය යුතුය.

6. විසිඑක්වන සංශෝධනය බලාත්මක කිරීමත් සමඟම සියලුම ව්‍යවස්ථාදායක කොමිෂන් සභාවන් විසුරුවා හැරීමට ලක් විය යුතුය; අලුතින් පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවක් මගින් නව පත්වීම් සිදු කරනු ලැබිය යුතුය.

7. පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වන තුරු වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ අරමුණ ඇතිව රජය සහ විපක්ෂය ජනතාව සමඟ සාකච්ඡා කරමින් එකට වැඩ කිරීමට උත්සාහ කළ යුතු වේ; මේ තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පිහිටට පැමිණෙන ලෙස සියලුම දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන ජාත්‍යන්තර ප්‍රජාව වෙත ආයාචනා කළ යුතුය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණයෙන් යුක්තව, විනිවිද පෙනෙන හා වගවන ආකාරයට ආණ්ඩුව, අර්බුදය ජය ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තුවත් සාමාන්‍ය ජනතාවත් නිරන්තරයෙන් දැනුවත් බවට පත් කළ යුතුය.

8. දිගුකාලීන සාමය, සෞභාග්‍යය සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම උදෙසා, ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවන්ගේ සෘජු සහභාගිත්වයෙන් යුක්තව සකස් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනවාර්ගික ප්‍රශ්නය, අසමානතාවය පිළිබඳ ගැටළුත් වගවිය හැකි පාලන ක්‍රමයත් ආමන්ත්‍රනය කළ යුතු වන අතර, නවීන ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් එහි අඩංගු කල යුතුය. එහෙයින්, සෘජුවම තෝරා පත් කර ගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මුතියක් යොදා ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ද විසිඑක්වන සංශෝධනය මගින් විධිවිධාන සලසා දිය යුතු යයි අපි යෝජනා කර සිටිමු. චිලියේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එය කළ හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව අපට අගනා ආදර්ශයක් සපයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නඟන හඬ (VDSL) ජාත්‍යන්තර සාමූහිකය

ශ්‍රී ලංකාවේ යුක්තියට හඬක් (VJSL), ඕස්ට්‍රේලියාව

ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව (AAGGSL), ඕස්ට්‍රේලියාව

ප්‍රගතිශීලී සමගිය උදෙසා වන සාමූහිකය (CPU), සහ

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජාලය (INSD), ජර්මනිය

යන සංවිධාන වෙනුවෙන් අත්සන් කලේ:
ආචාර්ය ලයනල් බෝපගේ

Archive

Latest news

Related news