Monday, November 25, 2024

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ඉල්ලීම පල දරයි: මිරිහාන පොලිස් වධහිංසා ගැන විමර්ශනයක්

මිරිහාන පොලිස් ස්ථානය තුලදී පුද්ගලයන්ට පහරදීම සම්බන්ධයෙන් සහ එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එදින රාත්‍රී මිරිහාන පොලිස් ස්ථානයේ සිටි සහ එය අධීක්ෂණය කළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත් කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

පොලිස්පතිවරයා අද (5) මෙම දැනුම්දීම කර ඇත්තේ අප්‍රේල් 02 වැනිදා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යොමු කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා අනුමැතිය ලබා දෙමිනි.

මිරිහාන පොලිසියේදී පුද්ගලයන්ට පහර දීම, සාමකාමී උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම සඳහා පහර දුන් පොලිස් සහ හමුදා සාමාජිකයන්ද, පහරදීමට නියෝග කළ උසස් නිලධාරීන් ද, පහරදීම අධීක්ෂණය කළ නිලධාරීන් ද, බස් රථය ගිනි තැබීමට ඉඩ දී බලා සිටි පොලිස්, හමුදා සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා නුගේගොට කොට්ඨාස භාර පොලිස් අධිකාරීට යොමු කරන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබේ. ඒ බව පොලිසිය අද නිල වශයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල යොමු කිරීම ප්‍රමාධ වූයේ ඇයිදැයි කළ විමසීමේදී පොලිසිය ප්‍රකාශ කළේ පොලිස්පතිවරයාගේ අනුමැතිය ලැබීමට ප්‍රමාධවීම නිසා පැමිණිල්ල යොමු කිරීම ප්‍රමාධ වූ බවයි.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට යොමු කළ එම පැමිණිල්ල පහත දැක්වේ.

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සහ ඔබගේ පක්ෂග්‍රාහී හැසිරීම සම්බන්ධවයි

මිරිහාන පොලිස් වසමේ දී මාර්තු 31 වැනිදා සවස පැවැති සාමකාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලිසියෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සහ යුද හමුදාවෙන් යෙදවා කඳුළු ගෑස් ගැසීම, වෙඩි තැබීම සහ පහරදීම සිදු කිරීමත්, පිරිසක් අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියේ රඳවා තබා ගනිමින් අමානුෂික ලෙස පහරදීමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර ඒ සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමු.
මෙම සාමකාමී විරෝධතාවය අතරතුර යුද හමුදා බස්රථයට ගිනි තැබීම පොලිසියේ/හමුදාවේ/ ආරක්ෂක අංශවල හෝ ඔවුන්ගේ ආශිර්වාදය සහිතව සිදුවූවක් බවට ඊයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු රැසක් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළහ. තනි පුද්ගලයකු ගොස් බස් රථයට ගිනි තබද්දී පොලිසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම බුද්ධි අංශය එක වලක්වා නොගෙන ගිනි තැබීමට ඉඩදී බලා සිටීම බරපතල තත්ත්වයක් වන අතර සාමකාමී උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම සඳහා එලෙස කළ බවට අපි විශ්වාස කරමු.
මෙම සාමකාමී විරෝධතාවට ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් ඇතූළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ පහර දීමෙන් පසු අප්‍රේල් පළමු වැනිදා අලුයම මිරිහාන පොලිස් ස්ථානයට ගෙනැවිත් පහර දෙන බවට අපට තොරතුරක් ලැබිණි. ඒ අනුව අලුයම තුනත් හතරත් අතර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඔබට පිටපතක් යොමු කළේය. එසේ තිබියදී පොලිසිය විසින් ඔවුන්ට පහර දී උදෑසන 11 පමණ වන තුරු වෛද්‍ය ප්‍රතිකාරවත් ලබා නොදී තබා ගැනීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.

මෙම සිදුවීම් මාලාවට අදාලව පුරවැසියන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම තවත් මූලික අයිතිවාසිකම් රැසක් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති අතර එලෙස කටයුතු කරමින්

01) මිරිහාන පොලිස් ස්ථානය තුලදී පුද්ගලයන්ට පහරදීම සම්බන්ධයෙන් සහ එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එදින රාත්‍රී මිරිහාන පොලිස් ස්ථානයේ සිටි සහ එය අධීක්ෂණය කළ නිලධාරීන් ද,

02) සාමකාමී උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම සඳහා පහර දුන් පොලිස් සහ හමුදා සාමාජිකයන්ද, පහරදීමට නියෝග කළ උසස් නිලධාරීන් ද, පහරදීම අධීක්ෂණය කළ නිලධාරීන් ද,

03) බස් රථය ගිනි තැබීමට ඉඩ දී බලා සිටි පොලිස්, හමුදා සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද,
විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

මීට පෙර ඔබ වෙත කළ ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිම විමර්ශනයක් සිදු කර නැති පසුබිමක, ජනතාවගේ ආරක්ෂකයා විය යුතු රටේ පොලිස්පතිවරයා ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන පිරිස් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අතර, පවතින තත්ත්වය තේරුම් ගනිමින් මින් ඉදිරියට හෝ ජනතා අයිතිවාසිකම් මර්දනය කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
[email protected]

පිටපත්
සභාපති – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

Archive

Latest news

Related news