Saturday, April 20, 2024

විරෝධතා සහ කැරලිකාරී තත්වයන් වාර්තා කිරීම: මාධ්‍ය වෘත්තිකයින් විශේෂයෙන්ම ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා මඟ පෙන්වීම්

  • පළමු සහ වැදගත්ම රීතිය නම් ඔබ මාධ්‍ය වෘත්තිකයකු මිස උද්ඝෝෂකයකු නොවන බව මතකයේ තබා ගැනීමයි මාධ්‍ය වෘත්තිකයකු ලෙස ඔබේ කාරිය වන්නේ සිදුවීම් වාර්තා කිරීම මිස සිදුවීම්වල කොටස්කරුවකු වීම නොවේ.
  • කවර හෝ ප්‍රශ්නයක් උඩ ඔබට විරෝධතාකරුවකු හෝ විරෝධතාකාරියක වීමට අවශ්‍ය නම් ඔබේ මාධ්‍ය භූමිකාවෙන් තාවකාලිකව ඉවත් වන්න
  • ඔබ ආවරණය කිරීමට යන විරෝධතාවය හෝ සමාජ කැළඹීම පිලිබඳ හැකි තාක් තොරතුරු සොයා බලන්න. එය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීමට ඉඩ ඇත්ද, පොලිසිය ඔවුන්ට පහර දීමේදී කඳුලු ගෑස්, රබර් උණ්ඩ, ගම්මිරිස් සහිත ජල විදිනයන් පාවිච්චි කරනු ඇතිද යනාදී කරුණූ ගැන විමසිලිමත් වන්න.
  • සිදුවීම වාර්තා කිරීමට යන ස්ථානය ගැන අධ්‍යනයක් කරන්න. තත්වය නරක් වුව හොත් මඟ හැර යා හැකි ක්‍රම සහ රැකවරණය ලබා ගත හැකි දන්නා හඳුනන අය සිටී දැයි කල්තබා සළකා බලන්න.
  • රජය හෝ ඔබේ වෘත්තීය සමිතිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පත සැම විටම රැගෙන යන්න. ඔබේ පුවත්පත් ආයතනයේ නීතිඥයකු සිටී නම් ඔහු/ඇයගේ හෝ නීතිඥ සංගමයේ හදිසි දුරකතන අංකය සෑම විටම ළඟ තබා ගන්න. අත්අඩංගුවට ගත්තොත්, ඔබ වෙනුවෙන් කතා කරන ලෙස  ඉල්ලා සිටිය හැකි අයකු ගැන මතකයේ තබා ගන්න.
  • කිසි විටක විරෝධතාකරුවන් මැදට නොයන්න. තනිව වැඩ කරනු වෙනුවට දෙතුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සේ එක්ව සිටිමින් වාර්තාකරණයේ යෙදෙන්න. ඕනෑම අවස්ථාවක අනපේක්ෂිත දෙයක් සිදු විය හැකිය. ඡායාරූප ශිල්පීන්ට සහ වීඩියෝ ශිල්පීන්ට විශේෂයෙන්ම තමන්ගේ පිටුපස ආරක්ෂාකාරී බව තහවුරු කර ගැනීම වැදගත්ය.
  • කිසි විටක විරෝධතාකරුවන් සහ පොලිසිය/හමුදාව අතර මැද නොසිටින්න. විරෝධතාවය අවසාන වීමට පෙර  පිටවීමේ මාර්ගයක් සිතේ තබා ගන්න.
  • ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීම සඳහා සෙනඟට ඉහළින් ඇති ආරක්ෂාකාරී සහ හොඳින් පෙනෙන ස්ථානයක සිට රෑප ගත කිරීමට උත්සාහ කරන්න.
  • ඔබේ මාධ්‍ය හැඳුනුම්පත ගෙලෙහි එල්ලා ගැනීම නුවනට හුරු නැත. මන්දයක් ගෙල හිරවන සේ ඔබ ඇද දැමීමට එමගින් ඉඩ ලැබෙන නිසාය. එය කමීසයේ පෙනෙන තැනක අමුණා ගන්න.
  • විරෝධතාකරුවන්ගේ මනෝභාවය නිරන්තරයෙන් තේරුම් ගැනීමට උත්සාහ ගන්න. ඔවුන් ආක්‍රමණශීලී වන්නේ නම්, ගැටුමකට සිරවීමේ අවදානම ගන්න එපා. එමෙන්ම පොලිසියේ හැසිරිමෙහිද ප්‍රහාරයක සූදානමක් ඇත්දැයි විමසිලිමත් වන්න.
  • කළබලකාරී තත්වයක් ඇතිවිය හැකි නම් බර කැමරා ගෙනියන්න එපා. එසේ ගෙන යා යුතුම නම් ප්‍රමාණවත් දුරක සිට වීඩියෝ ගත කරන්න.
  • විරෝධතාවයක් පවතින අතරතුර කාච මාරු කිරීම එතරම් යෝග්‍ය නැත. හොඳම දේ නම් එක් කැමරාවක් පමණක් රැගෙන යැමයි.
  • විරෝධතාකරුවන් සේ පෙනෙන ඇදුම් නොපළදින්න. ඇදුම්හි වර්ණය ගැන ද සැළකිලිමත් වන්න. කපු ඇදුම් අදින්න. සෑම විටම සපත්තු පළදින්න. හදිසි දිවයාමකට ඒවා යෝග්‍ය බව සහතික කර ගන්න. සෙරෙප්පු අනාරක්ෂිතය.
  • පොන් නිටේල්, ස්කාෆ්, එල්ලෙන ආභරණ හෝ ඇද ගත හැකි කිසිවක් පැළඳ නොගන්න. ඇස් කණ්ණාඩි සඳහා හිස වටා නොගැලවෙන පටියක් භාවිතා කරන්න.
  • හැකි නම් හිස්වැස්මක් පළඳින්න.
  • කදුලු ගෑස් ගැසීමේ අවධානමක් ඇතොත් ලෙන්සුවක් සහ කුඩා වතුර බෝතලයක් ළඟ තබා ගන්න. සේලයින් වලින් දැස් සේදීමට හැකි නම් වඩාත් යහපත්ය. කිරි වලින් ඇස් නොසෝදන්න.
  • කඳුළු ගෑස් හෝ ගම්මිරිස් දියර ඇලවිය හැකි බැවින් ඔබේ සමෙහි වැස්ලින් හෝ වෙනත් ක්‍රීම්, පාවිච්චි නොකරන්න.
  • ජංගම දුරකතනය ආරක්ෂිත ව සවි කර ගත හැකි කවරයක් සහිත බඳ පටියක් වැනි දෙයක් පාවිච්චි කරන්න. ජල විදියන්ගෙන් එය ආරක්ෂා වන බව සහතික කර ගන්න.
  • උර හිස දෙපැත්තෙන් පිටට එල්ලෙන බැක්පැක් වෙනුවට එක පැත්තකට එල්ලෙන බැගයක් Cross body sling bag වඩා ආරක්ෂිතය. එය තමන්ගේ දෑසට නිරන්තරයෙන් හසු කර ගත හැක.
  • ඔබේ ජංගම දුරකථනය මුර පදයකින් ආරක්ෂා කර ඇති බව සහතික කරන්න. හැකි නම් අමතර දුරකතනයක් ද රැගෙන යන්න.
  • කිසිදු ඡායාරූපයක් හෝ පුවතක් ජීවිතයක් තරම් වටින්නේ නැත. එබැවින් ආරක්ෂාව මුල්තැන තබා කටයුතු කරන්න.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අන්තර් ජාතික සංවිධාන විසින්  පිළිබඳ ලිපි ලේඛන ඇසුරින් සකස් කරන ලද්දේ සුනන්ද දේශප්‍රිය විසිනි.

05.04.2022

 

 

 

 

Archive

Latest news

Related news