Thursday, April 18, 2024

දස අතින් නැගෙන තරුණ විරෝධතා සාධාරණයි! සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහායට ලැහැස්තියි! – කරු ජයසූරිය

මේ මොහොතේ පවතින පාලක රෙජීමයට සිය විරෝධය දක්වන, අපගේ මාතෘ භූමියේ අනාගතය රැඳී ඇති ආදරණීය තරුණ පරපුර වෙත ආමන්ත්‍රණය කිරීමට මෙය අවස්ථාවක් කරගනිමු.

පොදුජන අරගලයන් තුළින් පටු වාසි ලබාගැනීමට ක්‍රියාකිරීම තුළින් බරපතල දුර්විපාක  ඇතිවීමේ අවධානමක් ඇති බවද සියලු පාර්ශව වෙත සිහිපත් කරනු කැමැත්තෙමු.

එළඹෙන සතියේ හදිසි නීති විවාදය තුළ සැබෑ ජනතාවාදී මහජන නියෝජිතයින් සහ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාලක රෙජීමයට යට වූ දුබලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට ජනතාවට ඉඩ සැලසෙනු ඇත.

ඔබගේ අවිහිංසාවාදී අරගලයන් වෙත රාජ්‍ය මර්ධනය යෙදවීමට එරෙහිව ආගමික අංශ, සිවිල් සංවිධාන සහ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කරමින් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ හැකි සෑම මැදිහත්වීමක්ම කිරීමට, රැකවරණය සැපයීමට අප කැපවෙමු.

අප ආදරණීය මාතෘ භූමිය මේ මොහොතේ පෙර නොවූ විරූ ඛේදවාචකයක් අභිමුව ඇතිවග අපගේ නිරීක්ෂණයයි. එක් පසෙකින් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ විදුලි අර්බුදය නිසා සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවීකාව අහිමිවීමෙන් ඔවුන් ආර්ථික වශයෙන් අර්බුදයන් ගණනාවකට මුහුණ දෙමින් සිටී. අනෙක් පසින් නිසි රාජ්‍යකරණයක් තුළින් අර්බුද විසඳීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොවීමෙන් එකී අර්බුදයන් තව තවත් උග්‍ර වෙමින් තිබේ. මෙම පසුබිම තුළ සාමාන්‍ය පොදු ජනතාවගේ අසහනය උග්‍ර වීම ස්වභාවිකය. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් මුල් කරගත් අරගලයන් වෙත රට කරවන ඇත්තන්ගේ සාවධානී ඇහුම්කන්දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වන බව අපගේ විශ්වාසයයි. මේ වනවිට දස අතින් නැගෙන තරුණයින්ගේ විරෝධතා හුදු දේශපාලන සටන් පාඨ වලට ලඝුකරමින් හෑල්ලු කිරීම රජය විසින් සිදුකරන බරපතල වරදකි.

වත්මන් රජය මේ මොහොතේ පවතින ජනතා විරෝධය මර්ධනය සඳහා භාවිතා කරනුයේ සාම්ප්‍රදායික මර්ධනකාරී පියවරයන්මය. එය බෙහෙවින් අනර්ථකාරී ප්‍රතිවිපාක අපගේ තරුණ පරපුරේ අනාගතය කෙරෙහි ඇති කිරීමට ඉඩ ඇත.

අද වනවිට සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් තරුණයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා උල්ලංඝණය කිරීමට රජය කටයුතු කරමින් සිටී. අපට රජයෙන් අසන්නට තිබෙන්නේ ජනතාවට විරෝධය පළකිරීමට තිබෙන සාමකාමී ක්‍රමවේද අහුරන්නේ ජනතාව තවත් අසහනයට හා පීඩනයට පත්කර ඔවුන් කලහකාරීත්වය දෙසට යොමු කිරීමට යටි අරමුණක් තිබෙන නිසාද යන්නයි.

රජය විසින් දියත් කරනු ලැබූ එම සමාජ මාධ්‍ය මර්දනය හා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට සිය විරෝධය පළ කිරීමේ අයිතිය පැහැරගැනීම ඒකාධිපති පාලනයක පෙරනිමිති බව අප දකිමු.

එමෙන්ම සියළු දේශපාලන ව්‍යාපාර පොදුජන අරගලයන් තුළින් පටු වාසි ලබාගැනීමට ක්‍රියාකිරීම තුළින් බරපතල දුර්විපාක  ඇතිවීමේ අවධානමක් ඇති බවද සියලු පාර්ශව වෙත සිහිපත් කරනු කැමැත්තෙමු.

මේ මොහොතේ පවතින අරාජිකත්වයට පාලක රෙජීමයේ අත්තනෝමතික ‍රාජ්‍යකරණය හේතුවී ඇති බව අපට මගහැරිය නොහැකි සත්‍යයකි.

එමනිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ම බුර බුරා නැගෙන මේ ජනතා විරෝධයට සාවධානව කන්දිය යුතුය.
වහාම ජනාධිපති ඒකාධිපති බලතල කප්පාදු කරමින් පාර්ලිමේන්තුව වෙත බලය පවරා ගැනීමට 20 වන සංශෝධනය අහෝසි කර දැමීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. ඉන්පසුව නව අන්තර්වාර පාලනයක් පිහිටුවා පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කිරීමට හැකියාව ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ජනතාවගේ සාධාරණ විරෝධයන් මර්ධනය සඳහා ගෙන ආ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව තුළදී සම්මත කිරීමට පෙර හදවතට අවනත වන ලෙස අවධාරණය කරමු. එළඹෙන සතියේ හදිසි නීති විවාදය තුළ සැබෑ ජනතාවාදී මහජන නියෝජිතයින් සහ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාලක රෙජීමයට යට වූ දුබලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට ජනතාවට ඉඩ සැලසෙනු ඇත

එමෙන්ම මේ මොහොතේ පවතින පාලක රෙජීමයට සිය විරෝධය දක්වන, අපගේ මාතෘ භූමියේ අනාගතය රැඳී ඇති ආදරණීය තරුණ පරපුර වෙත ආමන්ත්‍රණය කිරීමටමා මෙය අවස්ථාවක් කරගනිමු.

සාමන්‍ය පොදුජනතාවගේ සාමකාමී අරගලයන් විවිධ ක්‍රම වලින් විනාශ කර අපගේ මාතෘ භූමිය තුළ නැවත වතාවක් ලේ වැගිරීමක් සිදු කිරීමට බල ලෝභී දුෂ්ඨ බලවේග වලට අප ඉඩ නොතැබිය යුතුය.

අරගලයන් හීදී ගාන්ධිතුමන්ගේ ශ්‍රේෂ්ඨ ආදර්ශයන් සිහිතබා ගන්නා මෙන් ආදරණීය තරුණ ප්‍රජාව ඇතුළු සියළු පොදුජන අරගලකරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම ඔබගේ අවිහිංසාවාදී අරගලයන් වෙත රාජ්‍ය මර්ධනය යෙදවීමට එරෙහිව ආගමික අංශ, සිවිල් සංවිධාන සහ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කරමින් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් හැකි සෑම මැදිහත්වීමක්ම කිරීමට, රැකවරණය සැපයීමට අපි කැපවෙමු.

මේ මොහොතේ සාධාරණ ලෙස ජීවත්වීමේ අයිතිය ඉල්ලා සාධාරණ සමාජයක අපේක්ෂාව වෙනුවෙන් අරගල කරන සියළු තරුණ  දරු දැරියනි, පොදුජන අරගලකරුවනි,

එළඹෙන සෑම මොහොතකම එළඹි සිහියෙන් සිටින්න. සෑම මොහොතකම අරගලය, ආදරය සහ අවිහිංසාව පාදක කරගනිමින් සිදුකරන්න.
අපගේ ආදරණීය මාතෘ භූමිය මේ අඳුරු ශාපයෙන් මිදේවා!

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනයකි.

Archive

Latest news

Related news