Tuesday, July 16, 2024

ආණ්ඩුව පාසල් දරුවන්ගේ පෝෂණය වේලටත් කෙලී!

දිවයින පුරා තෝරා ගත් පාසල් 7000 කට ආසන්න ප්‍රමණයක පාසල් දරුවන්ට පෝෂණ ව්‍යාපෘතියක් ලෙස ආහාර වේලක් ලබාදීම සිදු කරයි. 2017.03.17 දිනැති 10/2017 චක්‍රලේඛය අනුව නියමිත වට්ටෝරුවක් යටතේ මෙම ආහාරවේල ලබාදීම සිදු කරන අතර, 2022.03.21 දිනැති  MW/CASS/ED/HN/02/03 අංකයෙන් යුතු අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපිය මගින් එම ආහාර වට්ටෝරුව සංශෝධනය කර ඇත.

රටේ පවතින වර්තමාන ආර්ථික තත්වය මත එක් දරුවෙකුගේ ආහාර වේල සඳහා ගෙවන දෛනික මුදල ප්‍රමාණවත් නොවන බවට ආහාර සැපයුම්කරුවන් විසින් සිදු කරන ලද ඉල්ලීම අනුව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවස්ථානුකූලව ගතයුතු හොඳම පියවර ලෙස 10/2017 චක්‍රලේඛයේ සඳහන් කර ඇති ආහාර වට්ටෝරුව වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන බව අධ්‍යාපන ලේකම්වරයාගේ උක්ත ලිපියෙහි සඳහන් කර ඇත. ඒ අනුව එක් ශිෂ්‍යයෙකුගේ ආහාර වේල වෙනුවෙන් දෛනිකව වෙන් කරන රු.30/- ක මුදල තුළම සංශෝධිත ආහාර වට්ටෝරුව ලබාදිය යුතු බව සඳහන් කර ඇත.

මෙය දරුවන්ගේ පෝෂණ තත්වය සම්බන්ධයෙන් නොසලකා හැර ගන්නා ලද තීරණයකි. ආර්ථික ගැටලු හමුවේ පාසල් දරුවන්ගේ ආහාර වේල වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන වැඩි නොකර දරුවන්ගේ ආහාරවේල කප්පාදු කිරීම බරපතල ගැටලුවකි.

10/2017 චක්‍රලේකයට අනුව එක් දරුවෙකුට සහල් ග්‍රෑම් 75 ක බත් ලබාදිය යුතු වූ අතර, සංශෝධිත ආහාර වට්ටෝරුව යටතේ ලබාදෙන්නේ සහල් ග්‍රෑම් 60 ක බත් ප්‍රමාණයකි. ග්‍රෑම් 50 ක් ලෙස ලබාදිය යුතු බිත්තර ප්‍රමාණය ග්‍රෑම් 25 දක්වා අඩු කර ඇත. හාල්මැස්සන්, කරවල ආදිය සම්පූර්ණයෙන්ම සංශෝධිත ආහාර වට්ටෝරුවෙන් ඉවත් කර ඇති අතර, තවත් සංශෝධන ගණනාවක් එහි අඩංගු වේ.

මේ ආකාරයෙන් පෝෂණ තත්වය හීන වන ලෙස දරුවන්ගේ ආහාර වට්ටෝරුව සංශෝධනය කර තිබීම බරපතල ගැටලුවක් වන අතර, සෞඛ්‍ය බලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් අවස්ථානුකූල හොඳම තීරණය ලෙස මේ ආකාරයෙන් දරුවන්ගේ පෝෂණය හීන කිරීමට තීරණ ගන්නේ කෙසේද යන්න බරපතල ගැටලුවකි.

රටේ පවතින ආර්ථික අවපාතය තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීමේ බරපතල ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇති අතර, සමහර පාසල් දරුවන්ට ලැබෙන එකම පෝෂ්‍යදායී ආහාර වේල වන්නේ පාසලෙන් ලබාදෙන මෙම ආහාරවේල පමණි. සමහර දරුවන් ආහාරවේල ලබාගැනීම සඳහා පාසල් පැමිණෙන තත්වයන් ද දක්නට ලැබේ.

මේ වන විට රු.30/- ක මුදලට ආහාර වේල ලබාදිය නොහැකිව බොහෝ ආහාර සැපයුම්කරුවන් විසින් පාසල්වලට ආහාර ලබාදීම නතර කර ඇති අතර, ඒ තත්වය යටතේ දරුවන්ට ආහාර ලැබීම සිදු නොවේ.

මේ තත්වය තුළ පාසල් දරුවන්ගේ ආහාර වේල කප්පාදු නොකර පෝෂ්‍යදායී හා ප්‍රමාණවත් ආහාර වේලක් දරුවන්ට ලබාදීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news