Friday, March 29, 2024

දිගන මුස්ලිම් විරෝධී ප්‍රහාර: මුස්ලිම් තරුණයින් හිරේ; ප්‍රහාරකයින් නිදැල්ලේ – රම්සි රසීක්

මහනුවර ප්‍රදේශයේ ඉන්දන පිරවුම්හලක ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුදිගයෑම හේතුකොටගෙන මහනුවර, දිගන, කටුගස්තොට ප්‍රදේශය පුරාවටම පැතිර ගිය මුස්ලිම් ප්‍රජාවට එරෙහි අන්තවාදී ප්‍රහාරය සිදුවී දැනට වසර හතරක් නික්ම ගොසිනි. මෙම ප්‍රහාරයේ අමිහිරි අත්දැකීම් අදටත් මුස්ලිම් ප්‍රජාවගේ සිත්වලින් මැකී ගොස් නැත.

පසුගියදා මේ පිලිබඳව පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රී මුසම්මිල් විසින් පොලීසිය භාර ඇමති සරත් වීරසේකර අමතා කල ප්‍රශ්ණ කිරීමකදී සරත් වීරසේකර කියා සිටියේ මුස්ලිම් තරුණයන් කිහිපදෙනෙකුගේ පහරදීමකින් සිංහල තරුණයෙක් මියගිය බවත් එයින් කුපිත වූ පිරිසක් මෙම ප්‍රහාරය සිදුකල බවත්ය.

සිංහල සමාජය තුළ දේශපාලන න්‍යායපත්‍රයක් ඇතිව ක්‍රියාත්මක වන ඇතැම් අන්තවාදී කොටස් විසින් මගතොට සිදුවූ පෞද්ගලික ආරවුලක් සිංහල-මුස්ලිම් කෝලාහලයක් බවට පර්වර්තනය කිරීම තේරුම් ගැනීම අපට අපහසු නැත.
නමුත් මෙම ගැටුමට හේතුව මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙක් සිංහල තරුණයෙකුට පහරදීම ලෙස ජාතිය සම්බන්ධ කර පටු අර්ථකථන දෙමින් රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය වැටී ඇති පහත් තත්වය මනාව පෙන්නුම් කිරීමකි. මෙම ප්‍රහාරය මුලුමනින්ම ඇතැම් දේශපාලනකයන්ගේ අවශ්‍යතාවය මත ලංකාවේ පවතින ජාතිවාදී දේශපාලන ප්‍රවාහය විසින් ඇතිකල සිදුවීමක් මිස රටේ සහෝදර ජාතීන් දෙකක් අතර සිදු වූ කෝලාහලයක් නොවන බවට අප තාමත් විශ්වාස කරමු.

සිදුකල මහා විනාශයට වගකිවයුත්තන් තාම නිදැල්ලේ සිටිති. ප්‍රහාරය සිදුකල සහ එයට පෙළඹවූ පිරිස් කවුරුන්ද යන්නට ප්‍රමාණවත් ශාක්ෂි ඕනෑ තරම් පවතී. සරත් වීරසේකර ඇමතිවරයාට අනුව දැනටමත් ඔවුන්ගේ අනන්‍යතාවය ද හඳුනාගෙන තිබේ. නමුත් සරත් වීරසේකර ඇමතිවරයාගේ ප්‍රකාශය අනුව අපිට පෙනී යන්නේ අවුරුදු 4 ක් ගතවූ පසුත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම තාම පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බවය. කල පැමිණිලිවලට සිදුවූයේ කුමක්ද යන්න අප කිසි කෙනෙක් නොදන්නෙමු. නඩු පැවරීමක් ගැනද අසන්නට නැත.

එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පීඩාවට පත් එහි සෘජු ගොඳුරක් වූ මා පහරදීම සිදුවී සතියක් ඇතුලත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් ද සඳහන් කරමින් පොලිස්පතිවරයා IGP වෙත විස්තරාත්මක පැමිණිල්ලක් සිදු කලෙමි. ඉන් දින තුනක් යෑමටත් පෙරාතුව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාගේ නිවසට පැමිණියහ. ඔවුන්ගේ අතේ මා විසින් පොලිස්පතිවරයා වෙත ඊ-මේල් හරහා සිදු කල පැමිණිල්ලේ පිටපතක් ද දක්නට තිබුණි. ඔවුන් පැමිණ සිදු වූ සියල්ල විමසීමෙන් පසු මා හට මහනුවර සහකාර පොලිස් අධිකාරීවරයා ASP හමුවන මෙන් පවසා පිටව ගියහ. ඉන්පසු, ප්‍රහාරයට ලක් වූ කිහිපදෙනෙක් ද සමගින් මම මහනුවර සහකාර පොලිස් අධිකාරිවරයා හමුවීමට ගියෙමි.

එහී දී තේ පැන් සංග්‍රහයක් ද සමගින් මා සමඟ ඉතාමත් මිත්‍රශීලි ආකාරයට දොඩමලු වූ සහකාර පොලිස් අධිකාරිවරයා එහිදී මට පොරොන්දු වූයේ පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බවත්ය. ඉන් පසු අපි මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කලෙමු. මේ සියල්ල සිදුවී දැන් අවුරුදු 4 ගතව ඇති නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් හෝ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකර ඇති බවට කිසිදු තොරතුරක් අපහට දැනගන්නට නැත.

මෙම ප්‍රහාරය සිදුවූයේ ප්‍රදේශයේ ඇතැම් ජාතිවාදී දේශපාලකයන්ගේ සහයෝගය ඇතුව පොලීසිය බලා සිටිද්දීමය. එය සනාත කිරීමට වීඩියෝ දර්ශණ ඇතුලත් සාක්ෂි ද ඕනෑ තරම් තිබේ. ප්‍රහාරය සිදුකලවුන් සහ ඒ සඳහා පෙලඹවීම් කල දේශපාලන බලවතුන්, චීවරධාරීන් ගැනද අප දනිමු. නමුත් අවුරුදු 4 ක් ගතවූ පසුත් ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් තරමේ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බවක් අපට පෙනෙන්නට නැත. අත් අඩංගුවට ගත් කිහිප දෙනාද දින කිහිපයකින් නිදහස් කර යවන ලදී.

මෙම ප්‍රහාරයෙන් වසරකට පමණ පසු සිදු වූ පාස්කු ප්‍රහාරයත් සමග වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සතියක් දෙකක් ඇතුලත මුස්ලිම් තරුණයන් විශාල ප්‍රමාණයක් අත්තඩංගුවට ගත්හ. ප්‍රහාරයට සෘජුව සම්බන්ධ අයට අමතරව ප්‍රහාරයට සම්බන්ධයක් නැති අහිංසක තරුණයෝ විශාල ප්‍රමාණයක් ද සැකපිට අත්තඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කලේය. එසේ සැකපිට අත්තඩංගුවට පත් වූ අහිංසක තරුණයෝ සියගණනක් තාම රැඳවුම් බාරයේ සිටිමින් දුක් විඳිති.

රට තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දියත්වන වෛරී ප්‍රචාරණයට එරෙහිව පෑන සහ කී-බෝඩය පාවිච්චි කර මතවාදී අරගලයක් කලයුතු බවට මුහුණු පොතේ අදහස් දැක් වූ මාව සතියක් ඇතුලතම අත්තඩංගුවට ගෙන මාස හයකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී. ඒ පිලිබඳ මාගේ නඩුව ද තාම අවසන් නැත.

නමුත් දෙනෝදාහක් ඉදිරියේ පොලීසිය බලාසිටිද්දීම මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුකල ප්‍රහාරවලට සෘජුව වගකිවයුත්තන් සහ ඊට පෙළඹවීම් කලවුන් තාම නිදැල්ලේ සිටිති. ඔවුන් සමාජය තුළ තව තවත් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෛරය පතුරුවමින් ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය කරමින් සිටිති.

මුස්ලිම් සමාජය නියෝජනය කරන බවට කියන මුස්ලිම් දේශපාලනඥයෝ ද මේ පිලිබඳව නිහඬ ය. මුසම්මිල් මන්ත්‍රීවරයාටද මෙය මතක් වී තිබෙන්නේ ඔහුගේ නායකයා කැබිනට් අමාත්‍ය ධූරයෙන් නෙරපා හැරීමෙන් පසුවය.
පුද්ගලයාගේ ජාතිය අනුව නීතිය අවශ්‍ය තැන්වල යූ-ටර්න් ගසන, නැවෙන උදාහරණ මේ රටේ ඕනෑ තරම් තිබේ.
සියල්ල එසේ සිදුවෙද්දී මේ රටේ සිංහල ජාතියට නැති සුලු ජාතීන්ට පමණක් ඇති ප්‍රශ්ණය කුමක්ද යනුවෙන් ඇතැමුන් ප්‍රශ්ණ නගති.

ඉතින්,
උගුරට හොරා බෙහෙත් බොමින් තමන්ගේම හෘදයසාක්ෂිය රැවටීමට ඔවුන් ගන්නා උත්සාහය දෙස බලා උපහාසාත්මක සිනහවකින් ඔවුන් මගහැර යාම හැර අපි වෙන කුමක් කරම්ද?

( මුහුණු පොතිනි)

Archive

Latest news

Related news