Thursday, April 18, 2024

ලක්‍ෂ 24ක ආබාධ සහිත ප්‍රජාව සහ සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය

ශ්‍රී ලංකාවේ ජීවත් වන ආන්තික ජන කොටස් අතරින් වඩාත්ම පීඩාවට පත්වී සිටින්නේ ආබාධ සහිත ප්‍රජාව බවත් , වර්ථමානය වන තුරුත් ඔවුන් පිළිබඳ රජයේ හෝ සමාජයේ නිසි අවධානයට ලක් නොවීමත් නිසා සමාජය නොසිතනා සංකීර්ණ අර්බුද රැසකට ඔවුන් මුහුණ දෙමින් සිටින බවත් බොහෝ සාධනීය කරුණු මත පසුගිය දා පැවති Disability Inclusion’ ජාතික සමුළුවේදි ප්‍රකාශ වු බව තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රකාශ කරයි.

ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය කිරීමේ ජාතික සමුලුව” නැතහොත් Disability Inclusion” ලෙසට නම් කරන ලද මෙම ජාතික සමුළුව, මාර්තු 18 සිට මාර්තු 20 දක්වා මීගමුව, කුඩාපාඩුව, ලැවීනියා හෝටලයේ දී පැවැත්වුණු අතර, දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ආබාධ සහිත පුද්ගලයින් මෙන් ආබාධ සහිත පුද්ගලයින් සමාජයේ පැවැත්මට හවුල්කර ගත යුතු යැයි පිළිගන්නා සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයෝ වශයෙන්, 56 දෙනෙකු ජාතික සමුළුවට සහභාගි වුහ.

ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳව සමාජය තුළ පවතින මිත්‍යා මත සහ වැරදි ආකල්ප නැති කිරිම සඳහා විවිධ ආකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් දැනටමත් අනුමතවී ඇති පනත් , නීති කෙටුම්පත් බලාත්මක කරගැනීම සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය සමගින් ආබාධ සහිත පුද්ගලයින් රටේ ගමන් මග ශක්තිමත් කිරීමට අවැසි පුද්ගලයෝ යන්න පිළිගන්නා සිවිල් සංවිධාන සමග සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සමුළුවේදි තීරණය කළ බව, සමුලුව අවසානයේදි පැවති මාධ්‍ය හමුවේදි තරුණ ක්‍රිස්තියානි සංගමයේ ව්‍යාපෘති නිළධාරිණි ගීතා ලක්මිණි ප්‍රකාශ කළේය.

ලංකාවේ ජනගහනයෙන් සියයට 8.7 ක් යම්කිසි ආබාධිත තත්ත්වයකින් පෙළෙනවා. ආබාධිත පුද්ගලයින්ගෙන් සියයට 57ක් පිරිමි වන අතර, සියයට 43ක් කාන්තාවන් .

2007 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 160 ක් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා එකගතාවය පළ කරමින් ප්‍රඥප්තියකට අත්සන් තබා තිබේ. එහෙත් , මෙම එකගතාවයෙන් වසර 15 ක් ඉක්මවා ගොස් තිබුණ , ශ්‍රි ලංකාව තුළ තවමත් එය නීතියක් බවට පත් වී , අපේක්‍ෂා කළ කාරණා ඉටුවී නොමැති වීම කණගාටුවට කරුණක් බව ආබාධ සහිත පුද්ගලයින්ගේ අදහසයි.

මෙකී එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය ලංකාවේ නිීතිගත කරන්න කියන එකම ඉල්ලීම පසුගිය ජනාධිපතිවරණ සමයේදි තම කණ්ඩායම් විසින් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඉදිරිපත්කර ඇතත්, මේ වනතෙක් වත්මන් ජනාධිපතිවරයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් සඳහා නොලැබුණු බව ඔව්හු ප්‍රකාශ කරති.

එපමණක් නොව, 1996 අංක 28 දරන පනත මගින් දෘශ්‍යාබාධිත සහ අනෙකුත් ආබාධ සහිත පුද්ගලයන්ට රුකියාව, අධ්‍යාපනය සහ ප්‍රවේශ අයිතිය, රටේ අනෙකුත් පුරවැසියන්ට මෙන්ම සමාන ආකාරයෙන් පැවතිය යුතු බවට නිර්දේශ වී තිබුණ , එය මේ දක්වා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් සිදුනොවන වග Disability Inclusion” සමුළුවට සහභාගි වු දෘශ්‍යාබාධීත පිරිස පැවසූහ.

මෙම ජාතික සමුළුව සඳහා දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලින් ආබාධිත පුද්ගලයන්ගේ සංවිධාන 07ක් සහ සිවිල් සමාජ සංවිධාන 08ක් සහභාගි විය.

හදිසි අනතුරක් හේතුවෙන් රෝදපුටුව සිය දෙපා කරගන්නට සිදුවු මාතර දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව සහන ආබාධ සහිත පුද්ගලයින් ගේ ස්වශක්ති සංවිධානයේ සභාපති වන මොහොමඩ් යේයිෂ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සමුලුවට සහභාගි වීම තුළින් විසිරි සිටි විවිධ ආබාධ සහිත පුද්ගලයින් එකට හමුවීම සහ එකිනෙකා අතර ඉතා හොඳ සම්භන්ධතාවක් ගොඩනගා ගැනීමට හැකි වීම ආබාධ සහිත පුද්ගලයින්ගේ ඉදිරි ගමනට එක්වන තවත් එක් ජයග්‍රහණයක් බවයි.

එමෙන් , ශ්‍රි ලංකාවේ ජීවත්වන ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳව කිසිම දත්ත පද්ධතියක් නොතිබීම ලැජ්ජාවට මෙන් කණගාටුවට කාරණයක් බව පෙන්වා දුන් යේයීෂ් , බිම් මට්ටමේ සිට ඉහළ රාජ්‍ය තන්ත්‍රය දක්වා සිටින ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් සංගණනයක් සිදුකිරීම සහ නව දත්ත පද්ධතියක් සකස් කිරීම ඉතාම කාලීන අවශ්‍යතාවයක් බවත් පෙන්වා දුණි.

රාජ්‍ය මට්ටමින් එවැනි කිසිම සංඛ්‍යා ලේඛණයක් නැහැ. නමුත් ආබාධ සහිත පුද්ගලයින් ගේ සංවිධාන මට්ටමින් එක්රැස් කර තිබෙන තොරතුරු වලට අනුව ලංකාව පුරා විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්‍ෂ 24කට වඩා සිටිනවා.” යැයි යේයීෂ් කීවේය.

තමන් තුළ පවතින ආබාධිත තත්ත්වය ජීවත් වීමට කිසිඳු බාධාවක් නොවන බව ප්‍රකාශ කරන , රෝද පුටුව සිය දෙපාකර ගත් මහනුවර අයිතීන් උදෙසා අපි සංවිධානයේ සභාපතිනිය නීෂා ෂරිෆ් ,සමාජය නොහිතන ඉතාම සංවේදි අවස්ථාවන්වලට දෘශ්‍ය ආබාධ, කථන ආබාධ, බුද්ධි ඌනතා සහ ශාරරික හා මානසික ආබාධිත තත්ත්වයන් සහිත දරුවන් සහ වැඩිහිටියන් නිරන්තරයෙන් මුහුණ දෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳව සමාජයේ පවතින ආකල්පය එතරම් යහපත් නොවන බව පෙන්වා දෙන නීෂා ෂරිෆ්, එම නිවරැදි නොවන ආකල්ප වෙනස් කරගැනීමටත් , නිසි අයුරින් දෛනික කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය භෞතික සහ තාක්‍ෂණ ප්‍රවේශය නිවරැදිව සකස් වීමත් ඉටුකර ගතයුතු ප්‍රධාන කාරණා දෙකක් බව ඇය පෙන්වා දුණි.

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මේ වන විට ප්‍රතිපත්ති , තීන්දු තීරණ විවිධ ආකාරයෙන් ගෙන තිබුණ ලංකාව තුළ නිසි යාන්ත්‍රණයක් නොමැති කමින් ඒවා නිවරැදිව ක්‍රියාත්මක වීමේ විශාල අඩුපාඩු තිබෙන බව පැවසූ නීෂා ෂරීෆ් , ඒවා බිම් මට්ටමේ ජනතාව අතරට , නිළධාරීන් අතරට සන්නිවේදනය විය යුතු බවත් සඳහා ආබාධිත ප්‍රජාවගේ හඩ මෙන් සිවිල් පුරවැසියන්ගේ හඩත් ඊට දායකවිය යුතු බව අවධාරණය කළේය.

ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය කිරීමේ තෙදින ජාතික සමුළුව සඳහා දකුණු පළාත නියෝජනය කරමින් මාතර දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව සහන ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය, ස්වශක්ති සංවිධානය, බස්නාහිර පළාත නියෝජනය කරමින් සීදුව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයින්ගේ සුබසාධන සංගමය, මධ්‍යම පළාත නියෝජනය කරමින් නුවර අයිතීන් උදෙසා අපි සංවිධානය , නුවර දෙමාපිය සංසධය , අඹේපුස්ස අපේ ළමයි සංවිධානය, උතුරු මැද පළාත නියෝජනය කරමින් ආබාධ සහිත කාන්තා සංගමය (ආකාස) යන ආබාධිත පුද්ගලයින්ගේ සංවිධාන සහභාගි වුහ.

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය, මූල්‍ය අපහසුතා මද්ධ්‍යයේ උතුරු හා නැගෙනහිර පළාත්වල ආබාධ සහිත පුද්ගලයින් ජාතික සමුළුවට සම්බන්ධ නොවුණු අතර, ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන ඉදිරි සැලසුම්වල නිසැකවම ඔවුන් සම්බන්ධ වනු ඇති බව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය බලාපොරොත්තු සහිතව ප්‍රකාශ කළේය.

සීදුව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයින්ගේ සුබසාධන සංගමයේ සභාපති ඩබ්. එස්. චාල්ස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජීවිතයේ කිසිඳු දිනෙක මෙවැනි මාධ්‍ය හමුවකට ආරාධනා ලැබී නොමැති අතර මෙවැනි සමුලුවක් සංවිධානය කරමින් ලංකාවේ සිටින සියලු ආබාධ සහිත පුද්ගලයින් හට එකට එක්රැස්වන්නට වේදිකාවක් තනාදීම පිළිබඳව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට ප්‍රශංසා කළේය.

එමෙන්ම, මුලු ජීවිත කාලය පුරාම අන්ධකාර ලෝකයක ජීවත් වෙන දෘෂ්‍යාබාධිත පුද්ගලයින් හට අවශ්‍ය කරන්නේ අනුකම්පාව නොව නිසි මග යෑමට අවශ්‍ය කරන උදව් උපකාර යැයි ඔහු කීවේ , රජයටත් සාමජ සේවා අමාත්‍යංශය, දෙපාර්තමේන්තුවටත් ආබාධ සහිත පුද්ගලයින් වෙත ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව මීට වඩා දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

සටහන සහ ඡායාරූප මෙලනි මානෙල් පෙරේරා

Archive

Latest news

Related news