Saturday, April 20, 2024

පොලිස් දූෂණ හෙළිකළ අරුණ කතෘ චමින්ද සේනාරත්නට මරණ තර්ජන

ඡායාරූපය: දිනපතා “අරුණ” සහ “සතිඅග අරුණ” පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘ චමින්ද සේනාරත්න.

මාධ්‍යවේදී චමින්ද සේනාරත්න මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධ පැමිණිල්ලට අදාල පරීක්ෂණවල ප්‍රගතිය විමසීම.

දිනපතා “අරුණ” සහ “සතිඅග අරුණ” පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘ චමින්ද සේනාරත්න මහතා වෙත එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් 2022.03.18 දිනැතිව ඔබ වෙත ලිපියක් යොමු කර ඇත. එසේම මේ සම්බන්ධව අංක CIB 3 272/143 දරන පැමිණිල්ල පොලීසිය හමුවේ ගොනු කර ඇති බවද අප වෙත වාර්තා වී ඇත.

මාධ්‍යවේදී චමින්ද සේනාරත්න පවසන්නේ, පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ වංචා දූෂණ හෙළිදරව් කිරීම නිසා උරණ වූ කිසියම් පාර්ශවයක් තමන්ට ජිවිත තර්ජන එල්ල කළ බවයි. මහජන මුදලින් නඩත්තු වන මහජන සේවය පිණිස පවතින ආයතනයක සේවකයන්ගේ අක්‍රමිකතා හෝ දූෂණ හෙළිදරව් කරන මාධ්‍යවේදීන් මෙසේ තර්ජනයට ලක් වීම ඉතා භයානකය. වංචා දූෂණ මර්ධනය කිරීමද එක් වගකීමක් ලෙස පැවරුණු පොලීසියේ හැසිරීම මෙයාකාර නම් එය අතිශය ලැජ්ජා සහගතය.

0712293495 දේශීය දුරකතන අංකය ඔස්සේ සහ ඉන්දියාවේ ලියාපදිංචි +916282807305 අංකයෙන් වට්ස්ඇප් ඔස්සේ තමන්ට මෙම තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බව මාධ්‍යවේදී චමින්ද සේනාරත්න ඔබ වෙත දැනුම් දී ඇත. දත්ත පරීක්ෂාවකින් මේ ඇමතුම් පිටුපස සිටින පාර්ශව හෙළිදරව් කර ගැනීම අපහසු නැත.

මෙය පොලිස්පතිවරයා වන ඔබටද ස්වකීය වගවීම පරීක්ෂා කිරීමට අවස්ථාවකි.

එබැවින් කඩිනමින් පරීක්ෂණ සිදු කර මාධ්‍යවේදී චමින්ද සේනාරත්නගේ ආරක්ෂාව තහවුරු කරන මෙන්ද දැනට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අප දැනුවත් කරන මෙන්ද දැඩි වුවමනාවෙන් ඉල්ලා සිටිමු.

(නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කරන ලද  මාධ්‍ය නිවේදනයකි.)

Archive

Latest news

Related news