Thursday, November 21, 2024

ගෝටාගෝහෝම්: අභියෝග, අවස්ථා, දුබලතා සහ තර්ජන ජය ගැනීම- සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: රාජපක්ෂ දේශපාලනය පවතින්නේ විධියක බලතල සහිත ජනාධිපති ක්‍රමය මතය. එය පරාජය කිරීමට ක්විය හැකි මහා පොදු සාධකය කුමක්ද? ( ජායාරුපය ප්‍රදීප් දඹරගේ.)

ගෝටා ගෙදර යනු! #GotaGoHome  යන්න මේ තාක් මෙරට කිසිදු විධායක ජනාධිපතිවරයකුට එරෙහිව නොනැගුණූ දිනක් පාසා ප්‍රබල වන  මහජන ඝෝෂාවකි.

මෙම ඝෝෂාව සහ අපේක්ෂාව යතාර්තයක් කර ගත හැකිද, ඒ් කෙසේද යන්න විමසා බැලීම පිනිස  අවස්ථා, අභියෝග, දුබලතා සහ තර්ජන  යන සූත්‍රය දළ වශයෙන් අපට යොදා ගත හැකිය.

ගතවී ඇත්තේ ඔහු බලයට පත්ව මාස 26ක් පමණි. ඔහුගේ ධූර කාලයෙන් අඩකටත් වඩා තවම ඉතිරිව තිබේ. එසේ වෙතත් අද ගෝටාගෝහෝම් යනු මෙරට වඩාම රැව්පිළිරැව් දෙන ඝෝෂාවය.

අවස්ථා

ගෝටා වනාහී මෙරට අන් කවර ජනාධිපතිවරයකුටත් වඩා බලවන්තයකු ලෙස, ජර්මනියේ හිට්ලර්ට සහ අද රුසියාවේ හිට්ලර් වන පූටින්ට, සිය අනුගාමිකයින් විසින් සමාන කර හුවා දක්වන ලද මෙරට බලය ලබා ගත් එකම ජනාධිපතිවරයාය.

ගතවී ඇත්තේ ඔහු බලයට පත්ව මාස 26ක් පමණි. ඔහුගේ ධූර කාලයෙන් අඩකටත් වඩා තවම ඉතිරිව තිබේ. එසේ වෙතත් අද ගෝටාගෝහෝම් යනු මෙරට වඩාම රැව්පිළිරැව් දෙන ඝෝෂාවය.

ගෝටා විසින් පසු ගියදා කරන ලද කතාවට මුහුණු පොතෙහි අපහාසාත්මක (හාහා!) ප්‍රතිචාර විසිපන් දහසක්ද  හාර දහසක් පමණ විරෝධතා ප්‍රතිචාරද ලැබෙත්දී කැමැතිය යන ප්‍රතිචාර ලැබුනේ තුන්දහස් පන්සියයක් පමණි.

මෙම ප්‍රතිචාර සංඛ්‍යාවන් මගින්ද යළි තහවුරු කැරුණේ ගෝටාගේ ජනප්‍රියත්වය සියයට 10කට පහත බැස ඇති බවට විශ්වසනීය මත විචාරණ ආයතනයක් විසින් පසුගියදා සොයා ගන්නා ලද තත්වයයි.

රිවරස් ගියරයට දැමූ අලුත් ලංචනය

ගෝටා තරම් අපහාසයට උපහාසයට පත් වෙනත් ජනාධිපතිවරයෙක්ද මෙරට සිට නැත. දිනපතාම සිය ගණනින් ගෝටා හෙළා දකින  දේශපාලන හාස්‍ය සමාජ ජාල හරහා පැතිර යයි.

එනයින් පොදු මහජනයාගේ අදහස අනුව ගෝටාට අද තවදුරටත් ජනාධිපති‍ ධූරයෙහි සිටීමට සුජාත අයිතියක්  නැත. ඔහු සෑම අංශයකින්ම අසමත් වූ ජනාධිපතිවරයෙකි. පසුගිය දා සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් වීදියට කැඳවන ලද දස දහස් ගණන් ජනයාගේ ඉල්ලීම, එනම් ගෝටාගෝහෝම් යන්න අප සමාජයෙහි ඇති ප්‍රබලතම විරෝධය හා ගැලපේ. ගෝටාගෝහෝම් කියා ජනාධිපති කාර්යාලය වැටලීමට ශක්තිය ඇත්තේ ප්‍රධාන වශයෙන් එකී දේශපාලන පක්ෂ දෙකට සහ යම් දුරකට පෙරටුගාමීන්ට පමණක් විය හැකිය.

අප පිළිගත යුතු ඇත්ත යථාර්තය එයයි. දැනට පෙනෙන හැටියට ගෝටා ගෙදර යැවිය හැකි බලය ගොනු කළ හැක්කේ ප්‍රධාන වශයෙන් මෙම දේශපාලන ධාරා දෙකටය.

අනෙක් දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ද සහ සිවිල් බලවේග, එනම් විකල්ප මාධ්‍ය, වෘත්තීය සමිති. මහජන සංවිධාන. ආගමික කණ්ඩායම් යනාදීයද නොසළකා හැරිය යුතු යැයි ඉන් අදහස් නොවේ.

ගෝටා ගෙදර යැවිය හැකි අවස්ථාවක් මේ මොහොතේ රටෙහි තිබෙන බව සක්සුදක් සේ පැහැදිළිය.

අභියෝග

එහෙත් ගෝටාට විධායක බලතල සහිත ව්‍යවස්ථානුකූල නීතියේ බලය තිබේ. එමෙන්ම පාර්ලිමේන්තුවෙහි බහුතර බලය ඔහු සතුය. නීත්‍යනුකූලව ඔහු බලයෙන් පහ කළ නොහැකිය. ප්‍රචණ්ඩ බලය මගින් ඔහු පහ කිරීමේ අදහසක් හෝ හැකියාවක් ද මෙරට දේශපාලනය තුල නැත. මා සිතන පරිදි අවශය ද නැත

රට මුහුණ දී සිටින ආර්ථික සමාජ දේශපාලන අර්බුදය පෙර නොවූ විරු එකකි. ඊට ලෙහෙසි විසඳුම් නැත. හරනි අමරසූරිය බිය නැතිව කියා ඇති පරිදි වත්මන් අර්බූදයට ලාභ සහ ලෙහෙසි විසදුම් නැත. බලයට පැමිණීමෙන් පසු ප්‍රශ්න විසඳිය හැකි මැජික් දණ්ඩක් කිසිදු විපක්ෂ පක්ෂයක් අත නැත.

අර්බුදය ඇත්තේ ආර්ථික ක්ෂේත්‍රයේ පමණක් නොවේ. සමාජ – දේශපාලන ක්ෂේත්‍රයන්හිද අර්බූදය තියුණුය.

ගෝටා හෙට ඉල්ලා අස් වී අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස ජනධිපති වුවද ජනයා ඉල්ලා සිටින සහ අපේක්ෂා කරන වෙනස ලබා දීම අමෘතය සෙවීම හා දුෂ්කර වනු ඇත. ඒ මෙරට ජනයාගේ අපේක්ෂා දේශීය සහ ගෝලීය යතාර්තයන් සමඟ නොසැසදෙන නිසාය.

පාර නොබහින සංස්කෘතිය?

දුබලතා

1953 හර්තාලයෙන් පසු ආණ්ඩුවක් බලයෙන් ගෙදර යැවිය හැකි ආර්ථික ප්‍රශ්න මත මහජන නැගිටීමක් මෙරට ඇතිවී නැත. 1953 හර්තාලයට හේතු වූයේ   සහල් සලාකය ඉවත් කිරීම, පාසල් දරුවන්ගේ දිවා ආහාරය ඉවත් කිරීම, තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු ඉහළ දැමීම යනාදි ආර්ථික ප්‍රශ්නයන්ය.

එමෙන්ම 53 මෙන් වරාය සහ දුම්රිය නතර කළ හැකි සටන්කාමී වෘත්තීය සමිති ව්‍යාපාරයක් සහ පාරෙහි රොටි පුච්චා කෑමට සූදානම් ජන පිරිස් ද  සිටියෝය.

එමෙන්ම හර්තාලය කැඳවීම පිනිස ලංකා සමසමාජ පක්ෂය මුල් වී, දේශපාලන මතභේද නොසළකා, කට්ටිවාදී නොවී පිලිප් ගේ විප්ලවකාරී සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ශය වාමාංශික සමගියක් ගොඩ නැගුවේය. හර්තාලය ප්‍රකාශ කිරීම පිනිස ගාලු මුවදොර පිටියට කැඳවූ රැස්වීමේ මූලාසනය බණ්ඩාරනායකට බාර දුන්නේය. පෙඩරල් පක්ෂය ද හර්තාලයට සහාය ප්‍රකාශ කළේය. යාපනයේද නැගිටීම ඇති විය.

අදට ගැලපෙන ඉන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝය.

1953 සමඟ සංසන්දනය කරන විට අද අප සමාජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මහමෙරක් වැනිය.

එක රැයින් අත්‍යවශ්‍ය බඩු මිල සියයට 30කින් ඉහළ නැගුනේ ගිය සතියේය. 70 -77 යුගය පරදවන පෝලිම් රට පුරා දැකිය හැකිය. බූමිතෙල් බෝතලයක් හෝ දෙකක් මිලදී ගැනීමට පැය ගණන්  පෝලිම්වල සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකු වැටී මියයාම අර්බූදය සංකේතවක් කරයි.

ගෑස් සහ ඉන්ධන පෝලිම්හි ආණ්ඩුවට විරුද්ධ කැකෑරෙන වෛරය පසුගිය දින දෙක තුන තුළ පුපුරා යනු දක්නට ලැබුණි.

පුරවැසි පිරිස් රටපුරා විරෝධය පාති

ඇත්තේ හර්තාලයක් ඉක්මවා යා යුතු සමාජ කැරුල්ලට යෝග්‍ය පීඩනයක් සහ කෝපයකි.

එනමුත්  මිය ගිය මිනිසුන් දෙදෙනා මෘත ශරීරාගාරයට යැවු අනෙක් ජනයා යළි යන්නේ දෙතුන් පැයක් පෝලිමේ සිටීමටය. 1953 හර්තාලයේ ගිනි පුපුරු දුටුඅම්බලන්ගොඩ කන්දෙගොඩ ගැහැණු සහ මිනිස්සු අද මහා පිට්ටනියක් වටා හිස් ගෑස් ටැංකි තබා ගෙන එම ගෑස් ටැංකි මෙන්ම හිස් අතින් බලාගෙන  සිටිති.

අරාබි වසන්තයෙහි හෝ මාකොස්ට විරුද්ධව පිලිපීනයේ නැගී සිටි පරිදි හෝ දේශපාලන පක්ෂවලට පිටින් මහා ජනයා ගොනු කළ හැකි සිවිල් සමාජ සංස්කෘතියක් හෝ සිවිල් සමාජ නායකත්වයක්  මෙරට අද නැත.

පසුගිය කාලයෙහි රට කලඹා රාජපක්ෂ ආණ්ඩුව දණ ගැස්වූ වෘත්තීය සමිති ද තවම අරගල භූමියට පැමිණ නැත.

සිවිල් සමාජ ව්‍යාපර සහ දේශපාලන ව්‍යාපාර අතර උග්‍ර විරසකයන්ද තිබේ.

තර්ජන

රාජපක්ෂවරුනට අර්බූදය සහ රට පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් වර්ධනය වෙයි. එම හිඩැස පිරවිය හැකි වෙන්ව ගමන් කරමින් එක්ව පහර දදීමට සූදානම් බලවේග ගොනුවීමක් තවම නොමැත. ඒ අතර වාරයේ සමාජීය විරෝධතා අසංවිධානාත්මකව පැතිර යයි. විරෝධතා වර්ධනය වෙයි. කෝපය බුරබුරා නැගේ.

දුරස්ථ නමුත් නොසළකා නොහැරිය යුත් යුදකරණයේ තර්ජනය

වර්ධනය වන  තත්වයට විසඳුමක් වශයෙන් වඩා මර්දනකාරී පාලනයක් සඳහා වන හිට්ලර්-පූටින් තෝරා ගැනීම  රාජපක්ෂවරුන් මැන බැලීමට කිරීමට ඉඩ තිබේ. මෙය දුරස්ථ හැකියාවකි. බලය අතහැරීමට රාජපක්ෂවරුන් සහ එහි දේශපාලන හවුල දක්වන අකමැත්ත හමුවේ  ආන්තික හැකියාවක් ලෙස වුවත් විධායක – මර්ධනකාරී පාලනයක් ඇතිවීමේ ඉඩ අප නොසළකා නොහැරිය යුතුය.

නැගී එන විරෝධතා ජාතිවාදී රාමුවක් තුළට කොටුකර ගැනීමට විමල්-වාසු- ගම්මන්පිල හවුල රාජපක්ෂවරුන්ගේ අදිසි බලවේගයක් ලෙස  ඉදිරියට පැමිණීමේ ද දුරස්ථ නමුත් ඉඩක් ද තිබේ.

සමහර විට නාමික ජාතික ආණ්ඩුවක් පිහිටුවීම මගින් තවත් කල් ගැනීමට රාජපක්ෂවරුන් උත්සාහ කිරීමටද ඉඩ තිබේ.

නිරීක්ෂන

රාජපක්ෂවරුන් කැමැති වුවත් ඥණසාර-හිට්ලර්වාදී තෝරා ගැනීමට ඉඩක් නැති තරම්ය.

රාජපක්ෂ පාලනය අසාර්ථක වී එහි සුජාත බව නැති වී තිබේ. එය පෙරළා දැමිය හැකි මෙහොතක් එළඹ තිබේ. සමාජ කැලඹීම් වර්ධනය වෙයි. මෙම මොහොත නිකම්ම අතහැරිය හොත් යළි එය අල්ලා ගැනීමට බැරි වන්නට ඉඩ තිබේ.

එය පෙරළා දැමිය හැකි සමාජ දේශපාලන බලවේග පවතින නමුත් එය පෙරලා දැමිය හැක්කේ සඳහා සහ ඉන් පසු කළ යුතු දේ ගැන ඇති හිඩැස පිරවිය යුතුය.

මේ වනාහී සියයට සියයක් එකඟ විය හැකි අය සමග පමණක් වීදියට බැසීමට බලා සිටිය යුතු කාලයක් නොවේ.

තත්වය මෙලෙස දිගටම ආරාජිකත්වයක් කරා  වර්ධනය වුව හොත් වඩා මර්දනකාරී විම හැර අන් විසඳුමක් රාජපක්ෂවරුනට නැති වනු ඇත.

තෝරා ගැනීම්

අප කළ යුත්තේ අවස්ථාව විසින් ඉදිරිපත් කර අභියෝගයට මුහුණ දීම සඳහා තර්ජන පිටු දැකිය හැකි වන පරිදි දුබලතා ඉවත් කිරීමයි.

අද දේශපාලන සහ සිවිල් ව්‍යාපාරයන් මුහුණ දී සිටින දවසේ අභියෝගය එයයි.

එනම් එක් කර ගත හැකි සියලු මිතුරු බලවේග සමගින් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා නොනවතින අරගලයක් මහ පොළව මත ගොඩ නැගීමයි.

නමුත් ඒ සඳහා ලංකාව මුහුණ දී සිටින අර්බුදයේ දේශපාලන මූලයන් වෙනස් කළ හැකි මහා පොදු සාධකයන් සොයා ගත යුතුය.

ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය මෙන්ම කඳුරට, උතුරෙහි සහ නැගෙනහිරෙහි දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් සමඟද එකඟතා ගොඩ නැගීම අවශ්‍ය වනු ඇත.

සියලු විරෝධතා බලවේගයන්ට එක් විය හැකි අවම සටන් පාඨය විය හැක්කේ වහාම  නව මහා මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව එකඟ කරවා ගැනීම විය හැකිය.

විධායක බලතල යළි පාර්ලිමේන්තුව විසින් අත්පත් කර ගැනීම සමහර විට අද දවසේ  පුලුල්තම සහයෝගය දිනා ගත් හැකි සටන් පාඨය විය හැකිය. තනි මිනිසකු සතු විධායක බලතල විසින් කරන ලද අතිමහත් විනාශය හමුවේ තවදුරටත් එම ක්‍රමය පවත්වා ගෙන යාමට කිසිදු ලෙසකින් සාධාරණ හේතුවක් නැත.

එසේ එකඟ විය හැකි නම් මහා මැතිවරණයක් ලබා ගැනීම පිනිස සියලු බලවේග නොනවතින සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂන සංවිධානය කළ හැකිය.

කවර පක්ෂයක් වැඩි බලය ලබා ගත්තද නව පාර්ලිමේන්තුවක ප්‍රථම සහ හදිසි  කාරිය ලෙස ජනාධිපති ධූරයේ විධායක බලතල කප්පාදු කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ  ස්වාධීන කොමිෂන් සභාද  අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුවද ශක්තිමත් කිරීම සදහා  19 වන සංශෝධනයෙන් ඔබ්බ‌ට යන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන  ඒමට සිවිල් සමාජය සහ දේශපාලන පක්ෂ එකඟතාවයක් ඇති කර ගත හැකිය. ව්‍යවස්ථා වෙනස සහ ජනාධිපති විධායක බලතල අහෝසි කිරීම  සම්බන්ධයෙන් 2015 යහපාලන පාවාදීම යලී ඇති නොවීම සහතික කර ගැනීම අත්‍යවශ්‍යය.

විධායක බලතල යළි පාර්ලිමේන්තුව විසින් අත්පත් කර ගැනීම සමහර විට අද දවසේ  පුලුල්තම සහයෝගය දිනා ගත් හැකි සටන් පාඨය විය හැකිය. තනි මිනිසකු සතු විධායක බලතල විසින් කරන ලද අතිමහත් විනාශය හමුවේ තවදුරටත් එම ක්‍රමය පවත්වා ගෙන යාමට කිසිදු ලෙසකින් සාධාරණ හේතුවක් නැත.

මහා මැතිවරණයකින් මහා ජනයා විසින් පත් කර ගන්නා නව පාර්ලිමේන්තුව පවතින අර්බූදයට හදිසි සහ දිගුකාලීන විසදුම් ඉදිරිපත් කිරීම පැවරෙනු ඇත.

ගෝටාගෝහෝම් යන්න සටන් පාඨයකින් ඔබ්බට යන යථාර්තයක් කිරීමට නම් අද සිවිල් සහ දේශපාලන සමාජය විසින් බැරෑරුම් ලෙස සාකච්ජාවට ගත යුතු කරුණු මේ යැයි මගේ අදහසය. මෙම අදහස් ඉදිරිපත් කරන්නේ එවැනි සාකච්ජාවට දායක යනු පිනිස මිස සදා නිම කරන ලද   සූත්‍රයක් ලෙස නොවේ.

21.03.2022

Archive

Latest news

Related news