Friday, April 26, 2024

පාස්කු වින්දිතයන් නොසලකා සාක්ෂි විමර්ශකයන් සිරගතකිරීමේ දේශපාලනය පිටුදකිමු; ශානි අබේසේකරට අත නොතබනු! – රැඩිකල් සෙන්ටර්

2019 අප්‍රේල් 21 දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙරට අහිංසක පුරවැසියන් 267 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු වූ බව අප දනිමු. එකී ප්‍රහාරය සිදුකොට මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත්, එදා පාස්කු ඉරිදා සිදුකළ ඒ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් හෝ විමර්ශනයක් අදටත් සිදුකරන බවක් නොපෙනේ. ඒ නිසාම මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ නමුත් සාධාරණ සැකයක් සමාජය හමුවේ නිර්මාණය වෙමින් තිබේ.

එවන් පසුබිමක වසර තුනකට ආසන්න කාලයක් පාස්කු වින්දිතයන්, තමන්ට, තම කුටුම්භයට, තම සහචරයාට, සිය දූදරුවන්ට මෙන්ම සිය ‍දෙවියන් වහන්සේට මේ පොළොවෙ සාධාරණයක් ඉටුකර දෙන්නැයි ඉල්ලා, හඬා වැටෙමින් නීතියේ දෙවඟන දෙස බලාපොරොතුවේ දෑස් දල්වා සිටින බව අපි දනිමු. පාස්කු වින්දිතයන්ගේ දෑස් තෙමූ කඳුළුවලට සාධාරණයක් ඉටුකරන්න මේ රාජපක්ෂ ආණ්ඩුව තවදුරටත් කටයුතු කරනවා යැයි විශ්වාස කළහැකි තත්ත්වයක නොමැති බව පැහැදිලිය.

ඒ පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්, ඍජු හෝ වක්‍ර ආකාරයෙන් ඊට සහයෝගය, අනුබලය ලබාදුන් ත්‍රස්තයන් නීතියේ රැහැනට හසුකර ගැනීම හෝ සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීම අදටත් පමා වීම හේතුවෙනි.

කෙසේ නමුත් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටුකිරීම සම්බන්ධ කාරණාව නොසලකා හැරීම සහ එකී පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට අදාළ විමර්ශන කටයුතු සිදුකළ ආරක්ෂක අංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ/හෝ සිරගත කිරීමට කටයුතු කිරීම යනු, ආණ්ඩුවේ පැහැදිලි පටු දේශපාලන තීන්දුවක් නොවේ යැයි කීමට තරම් සාධාරණ සාක්ෂියක් නොමැත.’

ඒ අනුව පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරනවා වෙනුවට ප්‍රහාරයේ සෑබෑ වගඋත්තරකරුවන් සොයා විමර්ශන මෙහෙයවූ නිලධාරීන් දඩයම් කිරීම යනු පාස්කු ප්‍රහාරයටත් වඩා ත්‍රස්තය. ම්ලේච්ඡය. කුරිරුය. ඒ නිසාම මෙම අදිසි පටු දේශපාලන භාවිතාව වහාම නතර කළයුතු යැයි අපි බලකර සිටිමු.

ශානි අබේසේකරට අත නොතබනු!

අප දන්නා පරිදි ශානි අබේසේකර යනු නීතියේ අකුරටම සිය රාජකාරිය ඉටු කළ රාජ්‍ය සේවකයෙකි.

ඔහු, ඔහුට පැවරූ අභියෝගාත්මක පරීක්ෂණ වලින් ප්‍රතිඵල ලබා දුන් විශිෂ්ට විමර්ශන නිලධාරියෙකි. කවර ආණ්ඩුවක් යටතේ වුවද ඔහු සිය සේවය අවංකව, නිර්භීතව සහ නීති ප්‍රකාරව ඉටු කළ බව අපක්ෂපාතී සියලු‍ දෙනා දනිති. කෙසේ නමුත් එවැනි රාජ්‍ය නිලධාරියෙකුගේ සේවය ඇගයීමට ලක් කරනු වෙනුවට ඔහු යළි යළිත් සිරගත කර තැබීම, සැලසුම් සහගත ලෙස ස්වභාවික ඝාතනයකට, තල්ලු‍ කිරීමක් බව විපක්ෂනායකවරයා පවසා ඇත.

එය එසේ නම් මෙම කාරණය ඉතාම බරපතළ සහ භයානක තත්ත්වයකි. ඔහුගෙන් පළිගැනීමේ චේතනාව මත විවිධ අවස්ථාවල රඳවා තැබූ බන්ධනාගාර පවා වෙනස් කළ අතර නිසි වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා නොදීමට කටයුතු කළේය.

දැන් ශානි අබේසේකර සිය ආරක්ෂාව සලසා දෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. ඒ අනුව සිය විමර්ශන කටයුතුවලට හමුදාවේ සහ ආණ්ඩුවේ බුද්ධි අංශ ඇතැම් නිලධාරීන් බාධා කළා පමණක් නොව, ප්‍රහාරවලට පෙර ප්‍රහාරකයින් සම්බන්ධ විමර්ශන නොමග යැවූ බවටත් ශානි අබේසේකර සිය පෙත්සම තුළ පෙන්වා දී ඇත.

මේ අතර මහජන විරෝධය හමුවේ රජය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලු‍ වෙළුම් පාර්ලිමේන්තුවට භාර දී ඇත. තම රාජකාරිය ඉටු කිරීමේදී මුහුණපෑමට සිදුවූ නොයෙකුත් බාධාවන් නොවන්නට මීටත් වඩා හොඳ විමර්ශනයක් ලබා දිය හැකිව තිබූ දක්ෂතම නිලධාරියා ශානි අබේසේකර බව එම සම්පූර්ණ වාර්තාව පරිශීලනය කරන ඕනෑම අ‍යෙකුට පැහැදිලි වන බව නිසැකය.

ඇත්ත වශයෙන්ම අත්අඩංගුවට ගත යුත්තේ හෝ නීතිය හමුවට පැමිණවිය යුත්තේ ශානි අබේසේකර නොව ඔහුගේ පරීක්ෂණවලට බාධා කළ පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් නොවන්නේද? ශානි අබේසේකරට එල්ල කරන තාඩන පීඩන මගින් රජයේ සියලු‍ම නීතිගරුක නිලධාරීන් හට සිය ජීවිත අනාරක්ෂිත බව පිළිබඳ බලවත් සංඥාවක් නිකුත් කරයි. මෙවැනි අනිසි බලපෑම් තුළින් සියලු‍ රාජ්‍ය සේවකයන් ආණ්ඩුවේ වහලු‍න් බවට පත් කිරීම මොවුන්ගේ අභිලාශය විය හැකිය.

එයින් ඔවුන් බලාපොරොත්තු වනු ඇත්තේ, අප සියල්ලන්ම වහල්භාවයට පත්කොට බලවත් දේශපාලනඥයන්ගේ අනුග්‍රහය සහ අවසරය මත පමණක් වැඩ කිරීමට හැකිවන වාතාවරණයක් සකස් කිරීම විය හැකිය. මේ තීරණාත්මක මොහොතේ ශානි අබේසේකර මහතා සමඟ එකට සිට ගැනීම අප සැමගේ වගකීමක් වන්නේ එබැවිනි.

දේශපාලනඥයන් මේ රටේ හිමිකරුවන් නොවේ, ඔවුන් හුදෙක් භාරකරුවන්ය. නිත්‍යනුකුලව හා තම හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන කාර්යක්ෂම රාජ්‍ය නිලධාරියෙකුට පීඩා කිරීමෙන් ඔවුන් කරන්නේ එම පරිශුද්ධ වූ රටවැසි විශ්වාසය කඩ කිරීමකි.

එබැවින් මෙවැනි ක්‍රියා වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. ශානි අබේසේකරට සිදුකරන මේ හිංසාව වහාම නතර කළ යුතුයැයි අපි බලකර සිටිමු. පටු දේශපාලන වුවමනාවන් ප‍සෙකලා ඒ වෙනුවට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සහ කුමන්ත්‍රණකරුවන් සෙවීමට ඒ රාජ්‍ය සම්පත් යෙදවීමට කටයුතු කළයුතු යැයි අපි යෝජනා කරමු.

රැඩිකල් සෙන්ටර් වෙනුවෙන්,

ජයනි අබේසේකර   (කැඳවුකාරිනි)

හරේන්ද්‍රන් ක්‍රිෂන්සාමි – කෙෂාල් ජයසිංහ – සී. එස්. කොඩිකාර – ෆිරෝ ෆාරුක්

2022-02-25

Archive

Latest news

Related news