Thursday, November 21, 2024

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනත් කෙටුම්පතකට ජනමත විචාරණයක්ද අවශ්‍යයි; ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත් තීරණයක් – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුලත්ය. 83 වන වගන්තියේ දක්වා ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට අනුකූල නොවන යම් ප්‍රතිපාදනයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකදී ලබා ගන්නා ජනතාවගේ අනුමැතියද අවශ්‍යය. 3 වන වගන්තිය එවැනි විශේෂිත වගන්තියකි.

” සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස සහතික කරන 10 වන වගන්තිය  සහ වද හිංසා වලින් නිදහස සහතික කරන 11 වන වගන්තිය උල්ලංඝනය වන විටද ජනමත විචාරණයක් අවශ්‍යය.

ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන  සහ භුක්ති විඳින ආකාර 4 වන වගන්තියේ පැහැදිලි කර ඇත. පාලන බලතල වලට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල ඇතුළත් වේ. “මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කල යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය; තවද මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය” යනුවෙන් 4(ඈ) වගන්තියේ දක්වා ඇත. 4 වන වගන්තිය 83 වන වගන්තියේ ලැයිස්තුගත කර ඇති ප්‍රතිපාදනයක් නොවේ. එහෙත් 4 වන වගන්තිය 3 වන වගන්තිය සමග කියවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට ඇත.

3 වන වගන්තිය සංශෝධනය කරන හෝ ඊට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනමත විචාරණයකින්ද අනුමත විය යුතුය. 3 වන වගන්තියට පටහැනි ප්‍රතිපාදනයක් සාමාන්‍ය පනතක ඇත්නම් එය සම්මත කිරීමට තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකදී අනුමැතියද අවශ්‍යය. සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස සහතික කරන 10 වන වගන්තිය  සහ වද හිංසා වලින් නිදහස සහතික කරන 11 වන වගන්තිය උල්ලංඝනය වන විටද ජනමත විචාරණයක් අවශ්‍යය.

සාමාන්‍ය පනත් කෙටුම් පතක ඇති ප්‍රතිපාදනයකින් වුවද යම් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වන්නේ නම් එයින් 4(ඈ) වගන්තියද අත්‍යවශයෙන්ම උල්ලංඝනය වී ඒ අනුව 3 වන වගන්තියද උල්ලංඝනය වන හෙයින් එවැනි පනත් කෙටුම් පතක්ද තුනෙන් දෙකක වැඩි චන්දයකින් සම්මත වී ජනමත විචාරණයකදී අනුමත විය යුතු යයි මෙම ලියුම්කරු 1996 වසරේ පල කරන ලද “ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්” නම් ග්‍රන්ථයේ පළමු සංස්කරණයේ තර්ක කළේය.

18වන සංසෝධනයටත් ජනමත විචාරණයක්!

2002 වසරේ ඉදිරිපත් කල 18වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ එක් යෝජිත වෙනසක් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයෙන් නිදහස් කිරීමය. එහෙත් එමගින් 12(1) වගන්තියෙන් සහතික කෙරෙන සමානත්වයේ මූලධර්මය සහ 17 වන වගන්තියෙන් සහතික කෙරෙන මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය උල්ලංඝනය වී ඒ අනුව 3 වන වගන්තියද උල්ලංඝනය වන නිසා ජනමත විචාරණයකින් අනුමත කල යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්-පුද්ගල විනිශ්චය සභාවක් තීරණය කළේය.

ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට 19 වන සංශෝධනයෙන් ඉඩ දෙන ලදී. මෙය නැවත වෙනස් කර ජනාධිපතිවරයාගේ මුක්තිය නිරපේක්ෂ කිරීමට 20 වන සංශෝධන කෙටුම්පතින් උත්සාහයක් දරන ලදී. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ 17 වන වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ජනතාවට ඇති අයිතිය නිරපේක්ෂ බවත් එය 3 වන වගන්තිය යටතේ ජනතාවට ඇති මූලික අයිතීන් වල සෘජු ප්‍රකාශනයක් බවය. ඒ අනුව  ජනාධිපතිවරයාගේ මුක්තිය නිරපේක්ෂ කිරීමට ජනමත විචාරණයකදී අනුමැතිය ලැබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

එහෙත් ඉහත සඳහන් තීන්දු දෙකම ව්‍යවස්ථා සංශෝධන වලට මිස සාමාන්‍ය පනත් කෙටුම් පතකට අදාළ නොවන බවට සහ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයෙන් නිදහස් කිරීමෙන් 3 වන වගන්තියෙන් දක්වා ඇති අධිකරණ බලය කෙසේ වෙතත් උල්ලංඝනය වන බැවින් ජනමත විචාරණයක් ඒ අනුවම අවශ්‍ය බවට හරස් තර්කයක් ඉදිරිපත් කල හැකිව තිබුණි.

වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව: මූලික අයිතිවාසිකම් සහ බලය බෙදීමට ඇති බලපෑම්” මැයින් පුවත්පත් කීපයකට 2021 ජූනි මස ලියූ ලිපියකින් මෙම ලියුම්කරු පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වරාය නගර කෙටුම්පතේ වගන්ති ගණනාවක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බැවින් තුනෙන්-දෙකක බහුතරයකින් සම්මත කල යුතු බව ප්‍රකාශ කලද ඒ සඳහා ජනමත විචාරණයකදී අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ නොකළ බවය.

ලියුම්කරු මෙසේද කියා සිටියේය: “අභියෝගයට ලක්වූ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන බවට නඩු විභාගයේදී නීතිපතිවරයා දුන් සහතිකය අධිකරණය සැලකිල්ලට ගත්තා විය හැක. … එහෙත්, නීතිපතිවරයා දෙන සහතික වලින් පාර්ලිමේන්තුව නොබැඳේ. අදාළ වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට  අධිකරණයේ තීරණයේ ප්‍රකාශිතව සඳහන් නොවන්නේ නම් තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවට බාධාවක් නොමැත. පනත් කෙටුම්පතක ප්‍රතිපාදනයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ හේතුවෙන් එයට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව පවසා එහෙත් ජනමත විචාරණයක අවශ්‍යතාවය පිළිබඳව සඳහනක් නොකිරීමේ තීරණයක භයානක ප්‍රතිපලයක් විය හැක්කේ තුනෙන් දෙකක බහුතරයක් ඇති ආණ්ඩුවකට එම බහුතරය පාවිච්චි කර මූලික අයිතිවාසිකම් මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය ද උල්ලංඝනය කිරීමට හැකි වීමය. යම් ප්‍රතිපාදනයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන හැම අවස්ථාවකම, කලින් සඳහන් අවස්ථා වලදී කලාක් මෙන්, එයින් 3 වන වගන්තියද උල්ලංඝනය වන බවත් ඒ අනුව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවත් ප්‍රකාශ කල යුතු බව ලියුම්කරු ගෞරවයෙන් කියා සිටී.”

විශේෂ භාණ්ඩ සහ සේවා බදු පනත් කෙටුම්පත

විශේෂ භාණ්ඩ සහ සේවා බදු පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයෙන් ඉහත කාරණය සැකයෙන් තොරව නිරවුල්වී ඇත. විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ විනිසුරුතුමන්ලා ගේ තීරණය අනුව පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති සමානත්වතාවය  සහ නීතියේ රැකවරණය සර්ව සාධාරණ වීම සහතික කරන අප ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනිය. එතැනින් නොනැවතුණු ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තිය මෙන්ම 3 වන වගන්තියද උල්ලංඝනය වන බව තීරණය කළේය. එම නිසා පනත් කෙටුම්පත සම්මත වීමට නම් තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බව ප්‍රකාශ කළේය.

උගත් විනිසුරුවන් මෙසේ පැහැදිලි කළහ: “4(ඈ) වගන්තියෙන් පිළිගෙන ඇති පරිදි මූලික අයිතිවාසිකම් ජනතාවගේ පරමාධිපත්‍යයේ සංරචකයකි. (අ) මානවයින් ලෙස ඉපදීමේ පූර්ණ ප්‍රතිලාභ භුක්ති විඳීම (ආ) නිදහස අභ්‍යාස කිරීම (ඇ) ජීවිතය ආරක්ෂා කිරීම සහ හානියෙන් නිදහස් වීම (ඈ) පරමාධිපත්‍යය අභ්‍යාස කිරීමට අවස්ථාව ලබා දීම (ඉ) මානව සංවර්ධනය පහසු කිරීම (ඊ) මානවයින්  අතර සම තත්ත්වය සහ වෙනස්කම් වලට භාජනය නොකිරීම ඇතුළු සමානාත්මතාවය සහතික කිරීම, සහ (උ) ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සාමකාමී සහජීවනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම යන කරුණු ඉටු කිරීමට ජනතාවට ඉඩ පහසුකම් ලැබෙන්නේ මූලික අයිතිවාසිකම් වලින් බැවින් මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍යයේ තීරණාත්මක සංරචකයකි.  ඒ අනුව, පනත් කෙටුම්පතකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට එයින් ජනතාවගේ පරමාධිපත්‍යයද උල්ලංඝනය වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය සමග කියවන 3 වන වගන්තියද උල්ලංඝනය වේ.”

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණයට අනුව සාමාන්‍ය පනත් කෙටුම් පතක් වුවද ඕනෑම මූලික අයිතිවාසිකමකට පටහැනි නම් එය නීති ගත වීමට පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකදී ජනතාව විසින්ද අනුමත කල යුතුය. එහෙයින්, එම තීරණය  ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන වැදගත් විනිශ්චයක් වන්නේය.

Archive

Latest news

Related news