Tuesday, July 16, 2024

ආණ්ඩුව කල්පවසානයේ වහිනවා කියන මුරුගසන් වරුසාවට අහුවෙලා;  ආණ්ඩුව සල්ලි බෙදනවා කියන්නේ ඡන්දයක් ලඟ ලඟ එනවා කියන එකයි -රජිත් කීර්ති

මේ රට අද කල්පාවසානයේ වහිනවා කියන මුරුගසන් වරුසාවට අහුවෙලා වගේ.  මැරුගසන් වැස්සට අහුවුනාම මිනිස්සුන්ට පිස්සු හැදෙනවාලු.  ලඟ ඉන්න මිනිහා පෙන්නේ සතෙක් වගේ ලු.  සාහිත්‍ය කතාවල කියනවා, මුරුගසන් වැස්ස වැටිලා පිස්සු හැදුණට පස්සේ එකිනෙකා මාරාගෙන ඒ රටේ ලෝකයේ සතා සිව්පාවා, ගහ කොළ පවා විනාශ වෙනවා ලූ.

මේ ආණ්ඩුවත් දැන් මුරුගසන් වරුසාවට අහුවෙලා වගේ. විශේෂයෙන්ම කෘෂිකර්ම කේෂ්ත්‍රයට අදාල සියළුම දෙනා මුරුගසන් වැස්සට අහුවෙලා පිස්සුවැටිලා වගේ වැඩ කරන්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.    

සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය අද නාරාහේන්පිට දී පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් තෙන්නකෝන් මහතා පැවසූවේ  ‘‘කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ පිස්සන් කොටුවක්.  ඒකේ ඉන්න ඇමතිලා, ලේකම් ලා දන්නේ කෘෂිකර්ම ප්‍රශ්නයට උත්තර සොයන මිනිස්සු නිලධාරි එළවන්නයි, රස්සාව නැති කරන්නයි විතරයි. රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ෆෙල් කිව්වා ගමන්, ජනාධිපති සුසිල් ගේ ඇමතිකම ගැලෙව්වා. 

රසායන පොහොර වෙනුවට කාබනික පෙහොර ආදේශනය කරන්න කිව්වා. දැන් වැව්වල රොන්මඩ, කසල තේ, කිරි මැටි, වැලි පස් කලවං කරලා පොහොර කියලා විකුණනවා. 

පළිබෝධ නාශක කියන්නේ වානිජ්‍ය කෘෂිකර්මයට අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය වර්ග යි.  ලංකාවේ කාබනික පලිබෝධක නාශක කියලා නිල පිළිගැනීමක් තියෙන්නේ එකම එකකට විතරයි.  වාණිජ්‍ය වගාවේ කෘමි හානි වලක්වන්න කාබනික උපක්‍රමයක් නෑ.  කාබනික වල් නාශක කියලා ජාතියක් ලංකාවේ ලියාපදිංචි කරලා නෑ.  කාබනික දිලීර නාශක කියලා ජාතියක් ලංකාවේ ලියාපදිංචි කරලා නෑ. 

රට පුරාම ගොයම් වගාව බලාගෙන ඉදිද්දී වල් නාශක නැතිව විනාශ වෙනවා.  කාබනික වල් නාශක නෑ කියලා, කවුරුවත් තවම ජනාධිපති ට, කෘෂිකර්ම ඇමතිට කියලා නෑ. 

සෑම එළවළු, පළතුරු, මල් වගාවක්ම කෘමි හානියකට ලක් වෙනවා.  කාබනික කෘමිනාශක කියලා ජාතියක් ලංකාවේ ලියාපදිංචි කරලා නෑ කියලා ජනාධිපති දන්නෙත් නෑ. ඇමති දන්නේත් නෑ.   රටේම භෝගවගා ටික පණුවෝ, කුඩුස්සෝ, පිපියෝ, කාලා විනාශ කරනවා.  මහවැලි කලාපයම දැන් දුඹුරු පැල කීඩෑ උවදුරට ලක්වීමේ අවදානමක් තියෙනවා. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අත්පොත්වල තියෙනවා දුඹුරු පැල කීඩෑ උවදුර නිසා උපරිම වශයෙන් වගා අස්වැන්නෙන් 80% ක් දක්වා විනාශ වෙනවා කියලා.  මහවැලි එච්, සී, කලාපවලත් නැගෙනහිර පලාතතේ වගාව දුඹුරු පැල කීඩෑ උවදුරට ලක් වුනොත් බත් කාලා ඉවරයි.  කන්න බතල, කිරි ඇල හදාගන්න වෙයි. 

දිලීර නාශක නැති නිසා තමයි අද එළවළු පළතුරු මිල අහස උසට ගිහින් තියෙන්නේ.  උඩරට එළවළු හැදෙන නුවරඑළිය, වැලිමඩ, බදුල්ල, හපුතලේ, හාලිඇළ පැතිවල ගිහින් බලන්න.  හැදෙන බෝංචි කරල වත්තේ කුණුවෙනවා. අල වර්ග හැදෙන්නේ නැත්තේ දිලීර රෝග නිසා.  මුරුගසන් වැස්සට තෙමිච්ච දේශපාලනඥයෝ, නිලධාරි දන්නේ නෑ කාබනික දිලීර නාශක කියලා ජාතිකයක් ලංකාවේ ලියාපදිංචි කරලා නෑ කියලා. 

ගොවිතැන් කරනවා කියන්නේ විද්‍යාවක්.  දැන් ඒ කෘෂි විද්‍යාව පාලනය කරන්නේ කල්ප විනාශ වැස්සට අහුවෙලා පිස්සු හැදුණු කණ්ඩායමක්. 

ආය අලුතෙන් රටට සාගතයක් එන්න දෙයක් නෑ. දැනටම සාගතය ඇවිත් ඉවරයි. දැන් රු. පන් දහස ගානේ දෙන්න යනවා. රු. පන්දහසක් කියන්නේ මොකක්ද?  එළවළු කිලෝ 10 ක ගාන.  මාළු කිලෝ පහක ගාන.  හතර දෙනෙක් ඉන්න පවුලකට දවසකට හාල් කිලෝ  1 ½ ක් අවශ්‍යයි.  මාසෙකට හාල් කිලෝ 45 යි.  අද තියෙන මිලට හාල් විතරක් වත් ගන්න බෑ. 

මේ ආණ්ඩුව කරන්නේ සල්ලි අච්චු ගහලා බෙදන එක විතරයි.  සල්ලි අච්චු ගැහීම ගැන ව්‍යවහාරික සංකල්පය තමයි, එක රුපියලක් අච්චු ගැහුවාම රු. 8 ක් හුවමාරුවට එකතුවෙනවා කියන එක.  මේ ආණ්ඩුව බලයට එද්දී, රටේ රුපියල් අර්බුදයක් තිබුණේ නෑ. 

2021, ගිය අවුරුද්දට විතරයක් රු. බිලියන 278 ක් අච්චු ගහලා තියෙනවා.

2020 ජනවාරි සිට මේ දක්වා මාස 24 ට රු. බිලියන  1,342 ක් අච්චු ගහලා තියෙනවා.   

සල්ලි අච්චු ගැහුවාම එකේ බලපෑම උද්ධමනයට, රටේ ආර්ථිකයට දැනෙන්නේ මාස 7-10 ක් අතර කාලයක් යනවා.  අද මේ බඩු මිල ඉහළ යන්නේ පසුගිය මහ මැතිවරණය කාළේ බෙදපු රු. 5000 කොළ වලින් ඇති කරපු උද්ධමනය මිසක් ගිය අවුරුද්දේ අච්චු ගහපු සල්ලිවලින් ඇති කරපු උද්ධමනය නෙවෙයි.

ඊයේ ආණ්ඩුව කෝටි 22,900 ක සහන පැකේජ් එකක් නිවේදනය කළා. අය වැයේ නෑ මේ සල්ලි එන ක්‍රමයක් ගැන.  ආදායම උපයන්නේ නැතිව සල්ලි බෙදනවා කියන්නේ ඒ සල්ලිත් අච්චු ගහන්න ඕනි කියන එකයි. ආණ්ඩුව සල්ලි බෙදන්න හදනවා කියන්නේ ඡන්දයක් ලඟ ලඟ එනවා කියන එකයි. 

(රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයාය.)

Archive

Latest news

Related news