Thursday, April 25, 2024

විධායක ජනපති ක්‍රමය අහෝසි කැරෙන, සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවන්හි විධායක ජනාධිපති ක්‍රමය අහොසි කිරීමටත් දෙවන මන්ත්‍රණ සභාවක් ඇති කිරීමටත් පළාත මූලික ඒකකය ලෙස ඇතිව බලය බෙදා හැරිමටත් යෝජනා කර තිබේ.

එම යෝජනා පහත පළ වේ.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම, රාජ්‍යයේ ස්වරූපය, පරමාධිපත්‍යය

නිදහස්, ස්වෛරී,ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වාධීන ජනරජයක් වන ශ්‍රී ලංකාව පහත සඳහන් මූලධර්ම මත  ගොඩ නැගී ඇත.

    • මානව ගෞරවය,සමාජ සාධාරණත්වය,සමානත්වතාව සහ මානව හිමිකම් සහ නන් වැදෑරුම නිදහස

    • වාර්ගිකත්වයෙන් තොරවීම සහ ලිංගික සමානත්වතාව

    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය සහ නීතියේ මහිමය

    • නිතිපතා පවත්වන මැතිවරණ සහ බහු-පක්ෂ ක්‍රමය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය

    • වගවීම,ප්‍රතිචාරාත්මකවීම සහ පාරදෘශ්‍යභාවය

ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම සහ පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක්* වනු ඇත.

මෙම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යය යන්නෙන් අදහස් වන්නේ නොබෙදූ සහ බෙදිය නොහැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්චින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාළ වන තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර පරමාධිපත්‍යය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුලත් වන්නේය.

ජනතාවගේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය භාවිතා කල යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති ආකාරයටය.

*සුදුසු දෙමළ යෙදුම දෙමළ පිටපතේ යොදනු ඇත.

  1. ව්‍යවස්ථාදායකය

ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් එනම් පාර්ලිමේන්තුවෙන් සහ දෙවන මන්ත්‍රණ සභාවෙන් (මෙයට සුදුසු නමක් සොයා ගත යුතුය.)සමන්විත වේ.

පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංගයක් සම්මත වුවහොත් හෝ විසර්ජන පනත් කෙටුම් පත (අය වැය ලේඛනය) පරාජය වුවහොත් හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය වුවහොත් හෝ, පිහිටුවන නව ආණ්ඩුව සති දෙකක් ඇතුලත විශ්වාශය පල කරන යෝජනාවකින් ජයගතහොත්මිස පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසිරුවා හරිය යුත්තේය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුයැයි විපක්ෂ නායකවරයාගේ  සහ පාර්ලිමේන්තුවේ තුන්වන විශාල පක්ෂයේ නායකයාගේ එකඟත්වය ඇතුව අගමැතිවරයා විසින් සභාගත කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේය.(2/3 ක වැඩි ඡන්දයක් ලබා ගැනීම ඉතා අපහසු නිසා මෙය යෝජනා කෙරේ.)

ඉහත කී අවස්ථාවලදී හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැක.

පක්ෂ මාරුවට එරෙහි විධි විධාන:

වත්මන් ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරයෙකුට තම පක්ෂයේ සාමාජිකත්වය අහිමි වුවහොත් තම ආසනයද අහිමිවේ. එවැනි මන්ත්‍රීවරයෙකුට තමා පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළහැක.

එහෙත් බොහෝ මන්ත්‍රීවරු කරන්නේ දිසා අධිකරණයට ගොස් තමන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීම තහනම් කර ගැනීමය. මෙයින් පක්ෂ මාරුවට එරෙහි විධිවිධානය නිෂ්පල වේ. මෙම තත්ත්වය වෙනස් කිරීමට 19 වන සංශෝධනයෙන් යෝජනා කරන  ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය හැර වෙන කිසි අධිකරණයකට එවැනි විනය ක්‍රියාමාර්ගයක් පිලිබඳ බලයක් නැති බවට වගන්තියක් ඇතුල් කිරීමය. එහෙත් එවකට විපක්ෂය එයට විරුද්ධ වූයෙන් එය කාරක සභා අවස්ථාවේ ඉල්ලා අස් කරගන්නා ලදී.

එම විධිවිධානය ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුය.

දෙවන මන්ත්‍රණ සභාව

බල හවුල්කාරිත්වය සඳහා වූ මෙවලමක් ලෙස බොහෝ රටවල් දෙවන මන්ත්‍රී මණ්ඩලයක් යොදා ගෙන ඇත. බලය බෙදාහැරීම ඇති සැම රටකම පහේ එවැන්නක් ඇත. පළාත්වල නියෝජිතයින්ගෙන් සමන්විත දෙවැනි මන්ත්‍රී මණ්ඩලයකින් ජාතික ව්‍යවස්ථාදායකයේ තමන්ටද පැහැදිලි භූමිකාවක් ඇත යන හැඟීම පළාත් තුල ජනිත කරනු ඇත. පාර්ලිමේන්තුව තුල තිබිය හැකි විසන්තුලනයන් මග  හැරවීමට මෙන්ම කඩිමුඩියේ නීති පැනවීමෙන් ඇතිවන පලවිපාක සමනය කිරීමටද පළාත්වලට අහිතකර ලෙස බලපාන නීති නැවත සලකා බැලීමකට ලක් කිරීමටද එතුලින් හැකි වනු ඇත.

දෙවන මන්ත්‍රණ සභාව සාමාජිකයින් 45 කින් යුක්ත විය යුතුය. එක පලාතකින් පස් දෙනා බැගින් අදාළ පළාත් සභාව විසින් “පැවරිය හැකි තනි ඡන්ද” ක්‍රමය අනුව පත් කර එවනු ලැබේ.

විකල්ප 1: දෙවන මන්ත්‍රණ සභාවේ  සාමාජිකයින් පොදු හෝ වෘත්තීය ජීවිතයේ දස්කම් පෑ, කීර්තිමත් හා අවංක භාවයෙන් යුත් පුද්ගලයින් විය යුතුය.

විකල්ප 2: පත්කර එවන සාමාජිකයින් පළාත් සභා මන්ත්‍රීවරුන් විය යුතුය. පළාත් ඇමැතිවරුද පත්කර එවිය හැක.

සාමාන්‍ය නීති නිශේධනය කිරීමට දෙවන මන්ත්‍රණ සභාවට බලයක් නොමැත. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුල් කරන සියලු පනත් කෙටුම්පත් පිළිබඳ දෙවන මන්ත්‍රණ සභාවේ මතය දෙවනවර කියවීමට  පෙර ලබා ගැනීම සඳහා එම මන්ත්‍රණ සභාවට යොමු කල යුතුය.

කෙසේ වෙතත්, පළාත් සභා ලැයිස්තුවේ අඩංගු විෂයයක් හෝ කාරණයක් පිලිබඳ ජාතික ප්‍රතිපත්ති හෝ ප්‍රමිති සැදීම සඳහා වූ පනත් කෙටුම් පතක් දෙවන මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්ම්ත කල යුතුය.

දෙවන මන්ත්‍රී මණ්ඩලය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් නියම කරනු ලබන අධීක්ෂණ හා අනිකුත් කාර්යයන් ඉටු කල හැකිවේ.

සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ම පාර්ලිමේන්තුව සහ දෙවන මන්ත්‍රී මණ්ඩලය විසින් 2/3 ක වැඩි චන්දයෙන් සම්මත කල යුතුය.

  1. විධායකය

ජනාධිපතිවරයා ඒකාබද්ධව රැස්වෙන පාර්ලිමේන්තුව සහ දෙවන මන්ත්‍රී මණ්ඩලය විසින් තෝරා පත් කරනු ලැබේ. එසේම පත් කෙරෙන උප-ජනාධිපතිවරයෙකු සිටින අතර ඔහු/ඇය ජනාධිපතිවරයා අයත්වන ජනවර්ගයට අයත් නොවෙන අයෙකු විය යුතුය.

ජනාධිපතිවරයා විධායකයේ නාමික ප්‍රධානියා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සඳහන් කර අවස්ථාවලදී හැර අන් සියලු අවස්ථාවලදී අග්‍රාමාත්‍යවරයා මගින් තමාට අමාත්‍ය මණ්ඩලය විසින් දෙන උපදෙස් අනුව ජනාධිපතිවරයා ක්‍රියාකල යුතුය.

ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිලිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය.

අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේය.

ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය. එහෙත්, අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංගයක් සම්මත වුවහොත් හෝ විසර්ජන පනත් කෙටුම් පත (අය වැය ලේඛනය) පරාජය වුවහොත් හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය වුවහොත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ ලෙස සැලකේ.

අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ජාතික රාජ්‍ය සේවා කොමිසම විසින් පත් කරනු ඇත.

  1. බලය බෙදාහැරීම

අනුපූරකතා මූලධර්මය, එනම්, යම් කාර්යයක් වඩා කාර්යක්ෂමව පහල මට්ටමක් විසින් කල හැකි නම් එය එම මට්ටමට පැවරීම, අනුව උපරිම ලෙස බලය බෙදා හැරිය යුතුය. පළාත් පාලනය ආණ්ඩුකරණයේ ස්ථරයක්  ලෙස පිළිගත යුතුය. ආණ්ඩුකරණයේ ස්ථර තුන අතර විෂයයන් සහ කාර්යයන් වෙන් කිරීම අනුපූරකතා මූල ධර්මයේ මග පෙන්වීම අනුව වියයුතුය. එසේ වෙන්කිරීම පැහැදිලි සහ නිශ්චිතව වියයුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව ඒවා අභිබවා නොයා යුතුය.

පළාත බලය බෙදීමේ ප්‍රාථමික ඒකකය වියයුතුය.

“පළාත් සභාවක නිල කාලය පස් වසරකි. සියලු පළාත් සභා සඳහා මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණ මෙන් පළාත් සභා මැතිවරණද නිතිපතා පැවැත්වෙන බව සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කල යුතුය.

පළාත් සභාවේදී පළාත් පරිපාලනය කෙරෙහි විශ්වාස භංගයක් සම්මත වුවහොත් හෝ විසර්ජන පනත් කෙටුම් පත (අය වැය ලේඛනය) පරාජය වුවහොත් හෝ පළාත් පරිපාලනයේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය වුවහොත් හෝ, පිහිටුවන නව පරිපාලනය සති දෙකක් ඇතුලත විශ්වාශය පල කරන යෝජනාවකින් ජයගතහොත්මිස පළාත් සභාව  විසිරුවා හැරිය යුත්තේය. එතැන් සිට අනිකුත් පළාත් සභා සංස්ථාපනය කිරීම සඳහා පවත්වන මැතිවරණ සමග අදාළ පළාත් සභාවේ මැතිවරණය පවත්වන තෙක් පළාත් පරිපාලනය ආණ්ඩුකාරවරයා භාරයේ පවතිනු ඇත.”

පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් පිලිබඳ පාර්ලිමේන්තු නීති මගින් එම විෂයයන් පරිපාලනය කේන්ද්‍රයට පවරා ගැනීමේ ප්‍රතිපල නොවිය යුතුය.

පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් පිලිබඳ ජාතික ප්‍රතිපත්ති සෑදීමේදී මධ්‍යම රජය පළාත් සභා සමග සහභාගිත්ව ක්‍රියාමාර්ගයක් අනුගමනය කල යුතුය. මධ්‍යම රජය විසින් පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් පිලිබඳ ජාතික ප්‍රතිපත්ති තීරණය කල හැකි අවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්විය යුතුය.

පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් පිලිබඳ ජාතික ප්‍රතිපත්ති මගින් පළාත් සභා ප්‍රඥාප්ති අභිබවා යාමක් නොවේ. එහෙත් බලය පවරන ලද විෂයයන් පිලිබඳ කේන්ද්‍රය නීති හැදීම කලයුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට එම ජාතික ප්‍රතිපත්ති නීතිගත කල විට, අදාළ ප්‍රඥප්ති එම කේන්ද්‍රීය නීතිවලට යටත්ව කියවිය යුතුය. එවැනි නීති දෙවන මන්ත්‍රී මණ්ඩලයෙන් අනුමත විය යුතුය.

පළාත් සභා විෂයයක් පිලිබඳ ජාතික ප්‍රතිපත්ති සෑදීමෙන් එම බලතල පිලිබඳ විධායක සහ පරිපාලන බලතල කේන්ද්‍රයට පවරා ගැනීමේ ප්‍රතිපලය නොවිය යුතුය. එම විෂයයන් පිලිබඳ විධායක සහ පරිපාලන බලතල පළාත් සභා විසින් දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

සංවෘත ලැයිස්තුවේ ඇති විෂයයන් පිලිබඳ කෘත්‍යයන් ක්‍රියාත්මක කිරීම පළාත් සභාවලට පැවරීමට පාර්ලිමේන්තුවට බලය තිබිය ඇත්තේය.

එසේම, පාර්ලිමේන්තුව හෝ පළාත් සභා තම විෂය පථයට අයත් කෘත්‍යයන් ක්‍රියාත්මක කිරීම නීති/ප්‍රඥප්ති මගින් පළාත් පාලන ආයතනවලට පැවරීම කල හැකි වන්නේය.

පලාතක ආණ්ඩුකාරවරයා සිය පත්වීමට පෙර වසර තුනක කාලය තුල දේශපාලනයේ ක්‍රියාශීලීව නොසිටි අයෙකු විය යුතුය. එසේම, තම ධූර කාලය තුල දේශපාලනයේ යෙදිය නොයුතුය.

පළාතේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රධාන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිවජාතික රාජ්‍ය සේවා කොමිසම විසින් පත් කරනු ලැබේ.

පළාත් අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අදාළ පළාත් අමාත්‍යවරයා සමග සාකච්චා කරමින් පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් පත් කරනු ලැබේ.

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ  පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම එක් එක් පලාතට පිහිටුවන ස්වාධීන පළාත් රාජ්‍ය සේවා කොමිසමක් විසින් කරනු ඇත.

ස්වාධීන පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් අදාළ පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා සහ වීපක්ෂ නායකවරයා විසින් එක්ව කරන නාම යෝජනා අනුව ආණ්ඩුකාරවරයා විසින් කරනු ඇත. ප්‍රධාන අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර එකඟත්වයක් නොමැති අවස්ථාවක ඔවුන් දෙදෙනා විමසා ආණ්ඩුක්‍රම සභාව විසින් එම නිර්දේශයන් කරනු ඇත.

පොදු වැදගත්කමක් ඇති කරුණු සාකච්චා කිරීමටත් අන්තර්-පළාත් සහයෝගීතාව සහ කේන්ද්‍රය සහ පළාත් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත්, අග්‍රාමාත්‍යවරයා සහ සියලු ප්‍රධාන අමාත්‍යවරුන් ගෙන් සමන්විත ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සම්මේලනයක් තිබිය යුතුය. එම සම්මේලනය නිතිපතා රැස්විය යුතුය. එම සම්මේලනයේ රැස්වීම් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය යුතුය.

ප්‍රජා සභා: රාජ්‍ය පාලනයේ විවිධ මට්ටම්වලදී සහ විවිධ භූගෝලීය ප්‍රදේශවලදී එම ප්‍රදේශවල සුළුතර ප්‍රජාවන් වන කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා වන බව සහතික කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන සැලැස්විය යුතුය.

  1. බෙදුම්වාදයට එරෙහි ආරක්ෂා විධිවිධාන

පළාත් පරිපාලනයක් විසින් සන්නද්ධ කැරලි ගැසීමක් හෝ අරගලයක් ප්‍රවර්ධනය කරන්නා වූ තත්වයක් පැන නැගී ඇත්නම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීමක් තුලින් හෝ, ජනරජයේ භෞමික අඛණ්ඩතාව හෝ පරමාධිපත්‍යයට පැහැදිලි සහ විද්‍යාමාන අනතුරක් ඇති කෙරෙන්නේ නම් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, ප්‍රකාශනයක් මගින් –

(අ) පළාත් පරිපාලනයේ සියලු හෝ යම් කර්තව්‍යයන් සහ පළාතේ ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය හෝ යම් ආයතනයක් හෝ අධිකාරියක් වෙත පවරා ඇති හෝ විසින් ක්‍රියාත්මක කල හැකි බලතල සියල්ල හෝ ඉන් සමහරක් ජනාධිපතිවරයා වෙත පවරාගත හැකිය; සහ

(ආ) මෙම ඡේදයේ (අ) අනු ඡේදය යටතේ බලතල ඵලදායීව ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය වන විටදී පළාත් සභාව විසුරුවා හරිය හැකිය.

(ඇ) එම ප්‍රකාශනය කිරීම සඳහා හේතු ප්‍රකාශනයේ ඇතුලත් විය යුතුය,

එවැනි ප්‍රකාශනයක් පාර්ලිමේන්තුවේ අනුමැතියට සහ අධිකරණ සමාලෝචනයට යටත් විය යුතුය.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

20 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවන අතර එහි බලතල 19 වන සංශෝධනය යටතේ එයට තිබූ බලතලවලට අඩු නොවිය යුතුය.

අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අන් සාමාජිකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවිය යුතුය.

20 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද ජාතික විගණන කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම නැවත පිහිටවනු ලැබේ. ප්‍රසම්පාදන කටයුතු සඳහා රජයේ ආයතනවලට උපදෙස් සහ සහාය දීමට ආයතනයක් නීතිය මගින් පිහිටුවිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පමණක් සාමාජිකයින් පත්කළ යුතු කොමිෂන් සභා ලැයිස්තුවට තොරතුරු ලබාගැනීමේ අයිතිය කොමිෂන් සභාව ඇතුලත් කල යුතුය.

විද්‍යුත් හෝ වෙනත් මාධ්‍ය, දත්ත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, මහජන උපයෝගිතා, මුදල් හා මූල්‍ය සේවා, වෙළඳ පොලේ තරඟසහ විදේශ වෙළඳාම පිලිබඳ පිහිටුවන සියලු නියාමන ආයතනවල සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කල යුතුය.

ස්ථිර සීමා නිර්ණ කොමිසමක් අවශ්‍ය නැත. එහෙත් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සඳහා සීමා නිර්ණ කාර්යයන් කිරීම සඳහා කොමිසමක්, කමිටුවක් හෝ පුද්ගලයෙක් පත්කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පමණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා පත් කල යුතු නිලධාරීන් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධානියා ඇතුලත් විය යුතුය.

  1. අධිකරණය

19 වන සංශෝධනය යටතේ මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනා අධිකරණයට කරන පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කල යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනා අධිකරණයට විනිසුරුවරුන් නම් කිරීමේදී ජනාධිපතිවරයා අග්‍රවිනිශ්චයකාරවරයාගේ, අධිකරණ අමාත්‍යවරයාගේ, නීතිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් විමසා අග්‍රවිනිශ්චයකාරතුමා විසින් පත් කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් තිදෙනකු ගෙන් යුක්ත කමිටුවක අදහස් විමසිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරන විනිශ්චයකරුවන් සත් දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් තිබිය යුතුය. අධිකරණ ක්ෂේත්‍රය, නීති වෘත්තීය හෝ නීති අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුල කීර්තියක් ලබා ඇති ආණ්ඩුක්‍රම නීතිය පිලිබඳ විශේෂ දැනුමක් ඇති පුද්ගලයින් අතුරෙන් එම විනිශ්චයකරුවන් පත් කල යුතුය. ඔවුන්ගේ නිල කාලය වසර පහක් වන අතර නැවත පත් කිරීමට ඔවුහු සුදුසුකම් නොලබනු ඇත.

විනිසුරුවරුන් සත්දෙනාම අධිකරණයේ විනිශ්චායරූඪ විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලයට යටත්වන යම් කාරණයක් කිසියම් අධිකරණයක මතු වූ විට එම කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු කල යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලය පහත සඳහන් පරිදි වේ:

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම. කිසියම් කරුණක් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ විෂය පථයට ඇතුලත් වේද යන්න තීරණය කිරීමේ බලයද මෙයට ඇතුලත්ය.

(ආ) පාර්ලිමේන්තු නීති සහ පළාත් සභා ප්‍රඥප්තිවල ව්‍යවස්ථානුකූලභාවය පිලිබඳ අධිකරණ සමාලෝචනය

(ඇ) මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර සහ පළාත් සභා අතර ඇති වන ගැටළු

(ඈ) පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම්

(ඉ) තම අධිකරණය විසින් දෙන ලද තීන්දු සමාලෝචනය කිරීම.

අභියාචනාධිකරණය සෑම පළාතකම රැස්වෙනු ඇත. එයට මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් පිලිබඳ  අධිකරණ බලයක් ඇත්තේය. අභියාචනාධිකරණයේ අවසර ඇතිව හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ අවසරය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණයට එයින් අභියාචනයක් කල හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ,ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරන් ඉවත් කිරීම:

ආණ්ඩුක්‍රමව්‍යවස්ථා අධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවක අඩංගු විෂම පැවැත්ම හෝ අබලතාවය පිලිබඳ චෝදනා විභාග කිරීම සඳහා එම අධිකරණවලින් විශ්‍රාම ගත් විනිසුරුන් තිදෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇත. එවැනි යෝජනාවක් සම්මත කිරීමේ කාර්ය පටිපාටිය, චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාවය විමර්ශනය සහ ඔප්පු කිරීම සහ එම විනිසුරුවරයාට පෞද්ගලිකවම හෝ නියෝජිතයෙකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය ද ඇතුළු සියලු කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් විධි විධාන සැලැස්විය යුත්තේය.

  1. නීතිපති සහ රජයේ චෝදක(Public Prosecutor)

නීතිපති කාර්යාලය ස්වාධීන ආයතනයක් විය යුතුය.

අපරාධ නඩු පැවරීමේ කාර්යය සඳහා ස්වාධීන රජයේ චෝදක කාර්යාලයක් නීතිය මගින් පිහිටුවිය යුතුය.

නීතිපතිවරයා සහ රජයේ චෝදක පත්කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

  1. මූලික අයිතිවාසිකම්

ජාත්‍යන්තරව පිළිගෙන ඇති අයිතීන් ඇතුලත් කරමින් මූලික අයිතිවාසිකම් පරිච්චේදය දියුණු කල යුතුය. ජීවිතයට ඇති අයිතිය පිළිගත යුතුය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වල පරාසය පුළුල් කරන අතර සමාජ සහ ආර්ථික අයිතිවාසිකම්,සංස්කෘතික අයිතිවාසිකම්, ස්ත්‍රීන්, ළමුන්, වියපත් තැනැත්තන් සහ දුබලතාවයන් ඇති තැනැත්තන්ගේ අයිතිවාසිකම් මෙන්ම පරිසරය පිලිබඳ අයිතිවාසිකම් අධිකරණය විසින් ක්‍රියාත්මක කර ගත හැකි අයිතිවාසිකම් ලෙස පිළිගත යුතුය.

2016 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මූලික අයිතිවාසිකම් උප-කමිටුව විසින් යෝජනා කරන ලද නව මූලික අයිතිවාසිකම් පරිච්චේදය මේ සඳහා පාදක කර ගත හැක.

මහජන සුභසිද්ධිය සඳහා නඩු පැවරීම ප්‍රකාශිතවම පිළිගත යුතුය. මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට කාල සීමාවක් නොතිබිය යුතු අතර ඒ අනුව සාධාරණ කාලයක් තුල ගොනු කරන ඉල්ලුම්පත් භාරගනු ඇත.

පවතින නීති සියල්ල, මූලික අයිතිවාසිකම් ඇතුළු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව කියවිය යුතුය.

නීති සහ ප්‍රඥාප්තිවල ව්‍යවස්ථානුකූල භාවය ඒවා සම්මත වූ පසු අධිකරණ විමසුමට භාජනය කල හැක. ඒ අනුව පහත සඳහන් නියෝග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට තනි සහ අනන්‍ය අධිකරණ බලය ඇත්තේය:

(අ) යම් නීතියක්, ප්‍රඥාප්තියක් හෝ එහි ඇති ඕනෑම විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම විධිවිධානයකට අනනුකූල වන්නේ නම් එම අනනුකූලතාවයේ ප්‍රමාණයට එය වලංගු නොවන බව ප්‍රකාශ කිරීම; සහ

(ආ) (i) වලංගු නොවන බවට කරන ප්‍රකාශයේ අතීතයට බලපෑම් ස්වභාවය සීමා කිරීමේ නියෝගයක්; සහ

(ii) අභියෝගයට ලක්වූ නීතිය හෝ ප්‍රඥාප්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට නොගැලපීම තවදුරටත් සිදු නොවන තත්වයට ගෙන ඒමට  පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට  යම් කාල සීමාවක් දෙන කොන්දේසිය යටතේ  වලංගු නොවීමේ ප්‍රකාශය එවන් කාල සීමාවක් සඳහා අත්හිටවීමේ නියෝගයක්

ඇතුළුව සාධාරණ සහ යුක්තිසහගත වන කවර හෝ නියෝගයක් නිකුත් කිරීම.

  1. භාෂා

සිංහල සහ දෙමල ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වේ. ඉංග්‍රීසි සන්ධාන භාෂාව වේ.

Archive

Latest news

Related news