Thursday, April 25, 2024

යුදගනවි ගිවිසුම: කමෝන් ජේවීපී! ( දි අයිලන්ඩ් කතු වැකිය)

ආණ්ඩුව මාස ගණනක් වසන් කළ ප්‍රශ්න ගත New Fortress ගිවිසුමේ පිටපතක් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අඳුරු ගනුදෙනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ කැබිනට් මණ්ඩලයේ ද පුළුල් විරෝධතා, නීතිමය සටන් සහ විසංවාදයක් අවුලුවා ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙළිදරව් කරන ලද ලේඛනයට අනුව, ගිවිසුම ඇත්තේ රජය සහ NFE Sri Lanka Power Holding LLC නම් පෞද්ගලික සමාගමක් අතරය.

ගාමිණී ලොකුගේ විදුලිබල ඇමතිකාරයා ඊනියා New Fortress ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ නමුත් එම පොරොන්දුව ඉටු කළේ නැත. ඇත්ත වශයෙන්ම, ඔහු එසේ කරනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කළේ ද නැත, මන්ද ඔහුගේ දේශපාලන ලොක්කන් ගිවිසුම හෙළිදරව් කිරීමට අකැමැති වූ බැවිනි. ගරු දිසානායක මන්ත්‍රීවරයා ඊයේ සභාවට ප්‍රකාශ කළේ ලොකුගේ ඇමතිකාරයා එතැන් සිට පාර්ලිමේන්තුවේ දක්නටවත් නොලැබුණු බවයි.

ආණ්‌ඩුව අගෝස්තු මාසේ සුළු කැබිනට්‌ සංශෝධනයක්‌ කර විදුලිබල අමාත්‍යාංශය ලොකුගේ යටතට පත් කළ විට සිදු වන දෙය ගැන නොදැන සිටි කෙනෙකු නැත. එහි ලංසු තැබීමට සුහදශීලී ඇමතිවරයෙකු අවශ්‍ය විය. වාසනාවකට මෙන්, එහි රහස් සැලැසුම් අසාර්ථක ඒවා වූ බැවින් රහස් ගනුදෙනුව පිළිබඳ තොරතුරු මහජනතාවට කාන්දු විය.

ලීක් කළේ කව්ද වැඩක් නෑ

පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් වීම් සහ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩ කාන්දුවීම්වලින් පෙනෙන පරිදි, මේ යුගයේ කිසිවෙකුට තොරතුරු වසන් කළ හැකි ක්‍රමයක් නොමැති බව රජය, [විශේෂයෙන්ම අඳ බාල ජනාධිපතිකාරයා] තේරුම් ගත යුතුය.

ගිවිසුමේ පිටපතක් ජනතා විමුක්ති පෙරමුණට කාන්දු කළේ කවුරුන් ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් අරඹනවා වෙනුවට, ගැටළුවක්ව පවතින කැත ගනුදෙනුවෙන් මතු වන ජනතා ප්‍රශ්නවලට පිළිතුරු රජය විසින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආණ්ඩුව බියට පත් පැස්බරෙකු මෙන්

ගරු දිසානායක මන්ත්‍රීවරයාට අනුව, රජය මහජනතාව පමණක් නොව කැබිනට් මණ්ඩලය ද නොමග යවා ඇත. එක්සත් ජනපදයේ New Fortress සමග ගිවිසුමක් ගසා ගැනීම උදෙසා කැබිනට් අනුමැතිය ලබා ගත් නමුත් වෙනත් සමාගමක් සමග ගිවිසුම අත්සන් කිරීම ගැන ජවිපෙ නායකයා පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ. ආණ්ඩුව බියට පත් පැස්බරෙකු මෙන් හැසිරීම නවතා, සැඟවීමට කිසිවක් නැති නම්, සිදු වී ඇති දේ පැහැදිලි කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

ක්‍රියාත්මක වුවහොත් රටට විපතක් වන කූට ගනුදෙනුවට අදාල රහස් ගිවිසුම හෙළිදරව් කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණට ජනතා ප්‍රශංසාව හිමි විය යුතුය.

මේ අතර, 2002 වසරේ එවක එක්සත් ජාතික පෙරමුණු රජය, පාර්ලිමේන්තුව නොදැනුවත්ව, LTTE සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන විට, එදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස වර්තමානයේ බලයේ සිටින අය මහා ඝෝෂාවක් කළහ. ඔවුන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා කළේ, එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර පාර්ශ්වයේ නියමය පරිදි ඇති කර ගත් ‘සාම ගිවිසුම’ ව්‍යවස්ථාදායකයට වසන් කිරීම ගැනය. ‘සටන් විරාමය’ රටට ව්‍යසනකාරී බව ඔප්පු වූ අතර, ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්ෂය එය ප්‍රයෝජනයට ගනිමින් නැවත බලයට ඒමට සමත් විය.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන සටන් විරාමය හෙළා දකිමින්, එවැනි ගනුදෙනු ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස එදා ඉල්ලා සිටි එම ‘දේශප්‍රේමීහු’ අද එක්සත් ජනපද සමාගමක් සමග රහසිගත ගිවිසුමකට එළැඹීම ගැන දැඩි ජනතා විවේචනකට ලක්ව සිටිති. ඒ අතරේ, කාගෙ කාගේත් ඩීල් පාර්ලිමේන්තුවෙන් වසන් කිරීම ගැන වික්‍රමසිංහ ඔවුන්ට බැණ වදී..!

මේ කැත පුරුද්ද අවසන් කළ යුතුය

රාජ්‍යයේ සහ අනාගත පරම්පරාවේ අවශ්‍යතාවලට බලපාන ගිවිසුම් සඳහා ජාතික ව්‍යවස්ථාදායකයේ එකඟතාව ලබා ගැනීම සඳහා ආණ්ඩුවලට බල කරන නීති තිබිය යුතුය. ආණ්ඩුවේ සමහර නායකයන් තම අභිමතය පරිදි විදේශීය ආණ්ඩු හෝ සමාගම් සමග ගනුදෙනු කිරීමේ කැත පුරුද්ද අවසන් කළ යුතුය. දශක ගණනාවක් තිස්සේ අප දැක ඇති පරිදි, කඩිමුඩියේ ගහන ඕනෑම ගිවිසුමක් අතිදූෂිත ගනුදෙනුවක්ය.

උපාය මාර්ගික රාජ්‍ය වත්කම් ආදියට අදාල ගිවිසුම් අවසන් කිරීමට පෙර ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, නීතිපති ඇතුළු විශේෂඥයන් ලවා පරීක්ෂා කිරීම අනිවාර්ය කිරීම සඳහා නව නීති ගෙන එන ලෙස විපක්ෂයට බල කරමු. රහසි ගත ගිවිසුම්වලට එරෙහිව වරින් වර විරෝධතා ඝෝෂා කිරීම්වලින් එතරම් ඵලක් නැත.

හිඟන්නන් ද ඇතුළු මහජනතාවගේ සහ රාජ්‍ය වත්කම් අමු අමුවේ සොරකම් කරමින්, තම සාක්කු පුරවා ගැනීම සඳහා දූෂිත, බලලෝභී, කුලහීන දේශපාලකයන්ට ඉඩකඩ නොලැබෙන අන්දමින් නීතිමය ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම නොපමාව කළ යුතුය.

-2021 දෙසැම්බර් 11 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, ‘Three cheers for JVP!’ නම් කතුවැකිය සිංහලට පරිවර්තනය කළේ, – ආනන්ද ( LankaeNews)

Archive

Latest news

Related news