Tuesday, April 16, 2024

පැහැර ගැනීම් සහ ඝාතනය කිරීම් පිළිබඳ අපරාධ නඩුවක සැකකරුවකු වයඹ ආණ්ඩුකාරකමට!

පැහැරගෙන යාම සහ අතුරුදහන් කිරීම ඇතුලු බරපතල වැරදි ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවකු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් ආණ්ඩුකාරවරයකු ලෙස පත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ප්ලීට් Admiral of the Fleet වසන්ත කරන්නාගොඩ මෙළෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කර ඇත්තේ ජනධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

මෙම කරන්නාගොඩ 2008 සහ 2009 යන වර්ශය වලදී කොළඹ තදාසන්න පෙදෙස් වලින් නාවික හමුදාවේ කල්ලියක් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවෙහි සැකකරුවකු වෙයි.

මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොනු කරන ලද  වාර්තාවලට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කරන ලද ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇත්තේ තරුණයන් 11 දෙනා ඝාතනය කිරීම හිටපු නාවික හමුදාපතිවරයා දැනුවත් සිටි බවයි. ඔවුන් අතර හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජේ. රණසිංහ, කරන්නාගොඩගේ හමුදා ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සහ හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ අද්මිරාල් ආනන්ද ගුරුගේ වන බව  ආණ්ඩුවේ ඔබ්සෝවර් පුවත්පත වාර්තා කර තිබුණි.

තමන් යටතේ ඇති හමුදා කඳවුරක අහිංසක තරුණයින් 11 දෙනෙකු රඳවා ගෙන කප්පම් ඉල්ලමින් සිටින බව නිශ්චිතව දැන සිටියදී එම තරුණයින් යුද්ධය දඩමීමා කරගෙන  අතුරුදහන් කිරීමට ඉඩ දී සිටීම බරපතල යුද අපරාධයකි.

තමා නිර්දෝශී නම් මෙම නඩු විභාගයට මුහුණ දී නිදහස් වනු වෙනුවට  වසන්ත කරන්නාගොඩ එම නඩුව පැවරීමට විරුද්ධව උසාවි ගියේය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ නීතිපති දෙපාර්ථමේන්තුව එම නඩුවෙන් වසන්ත කරන්නාගොඩ නිදහස් කරන බව පසුගිය අගෝස්තුවෙහිදී  අධිකරණයට දැනුම් දුන්නේය..

වසන්ත කරන්නාගොඩ යටතෙහි සිටි නාවික හමුදා පිරිස් විසින් කප්පම් ගැනීම පිනිස එළෙස පැහර ගෙන අතුරුදහන් කරවන ලද බවට චේදනා කැරෙන තරුණයින් 11 දෙනා එල්ටීටීඊ සංවිධානයට කිසිදු අයුරකින් සම්බන්ධ අය නොවීය.

එම දරුවන්ගේ මව්වරු යුක්තිය පතා අධිකරණය දෙස බලා සිටියදී එහි ප්‍රධාන සැකකරුවකු දැන් වයඹ පළාතේ විධායක බලැති ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ.

ජිනීවාහිදී සහ නිව්යෝර්ක්හි දී මෙරට මානව හිමිකම් ගරු කරන බවටත් සංහිදියාව සහ සාමදානය ඇති කරන බවටත් පොරොන්දු දෙන  රාජපක්ෂ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම කරන්නේ එම පිළිවෙතට සහමුලින්ම වෙනස් ක්‍රියාදාමයක් බව මානාව හිමිකම් අංශ පෙන්වා දෙති.

Archive

Latest news

Related news