Saturday, April 20, 2024

ව්‍යාජ විනිමය අනුපාතිකයක් මගින් ශ්‍රී ලාංකික විගාමික ශ්‍රමික ප්‍රජාව ගසා කෑම නවත්වනු! –  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විදෙස්ගත ජාලය (INSD)

රාජ්‍ය පාලිත, යථාර්ථවාදී නොවන ව්‍යාජ විනිමය අනුපාතිකයන් පවත්ව ගැනීම මගින් විගාමික ශ්‍රමික ප්‍රජාව ගසා කෑම නතර කරන සේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විදෙස්ගත ජාලය (INSD) ආණ්ඩුවට බල කර කියා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්සත් ජනපද ඩොලරයකට ගෙවනු ලබන්නේ විවෘත වෙළද පොලෙහි  පවත්නා අනුපාතයට වඩා රුපියල් 50කට මුදලකි. විවෘත වෙළද පොලෙහි රුපියල් 255ක් පමණ වන එ.ජ. ඩොලරයකට ශ්‍රී ලංකාණ්ඩුව ගෙවන්නේ රුපියල් 202ක් පමණි.

මෙම තත්වය යටතේ එ.ජ. ඩොලර් දහසක් නිල බැංකු හරහා සිය ඥතීන් වෙත යවන ලාංකිකයකුට ලැබෙන්නේ රුපියල් 50,000 අඩුවෙනි. මේ වනාහි අතිශය දරුණු ගසා කෑමකි.

දූෂණයෙන් සහ වංචාවෙන් අගතැන් පත් ලංකාවේ දේශපාලන පංතිය මෙලෙස ගසාකන මුදල්වැය කරන්නේ ඔවුන්ගේ සුඛ විහරණය තහවුරු කර ගැනීම පිනිස මිස ජනතාවගේ යහපත සඳහා නොවේ.

මෙම ව්‍යාජ විනිමය අනුපාතිකය නිසා සිය කායික හෝ බුද්ධිමය ශ්‍රමය වැය කර විදේශයන්හිදී උපයා ගන්නා මුදල් සිය රට යැවීමේදී මේ නිසා ශ්‍රී ලාංකික විගාමික ශ්‍රමික ප්‍රජාව බරපතල මුල්‍ය පාඩුවකට මුහුණ දී සිටී.

තමන් උපයා ගන්නා මුදල් තමන් කැමති පරිදි උපරිම අනුපාතයක් යටතේ සිය රට යැවීම පිනිස මෙම තත්වය යටතේ විගාමික ශ්‍රමික ප්‍රජාවට නිල නොවන මුදල් හුවමාරු ක්‍රම භාවිත කිරීමට සිදු වී තිබේ.

එය ඕනෑම පුරවැසියකු සතු අයිතියක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විදෙස්ගත ජාලය කියා සිටින්නේ වගකීමෙන් යුතුවය.

පසුගිය දෙසැම්බර් 04දා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ එලෙස නොනිල ක්‍රම මගින් සිය රට මුදල් එවීම තහනම් කරන බවත් එලෙස මුදල් ලබන සහ හුවමාරු කරන අයට දඬුවම් කරන බවත් එම බැංකු ගිනුම් තහනම් කරන බවත් ය.

මේ වනාහී රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අමානුෂික පියවරයන්හි තවත් සැහැසි වර්ධනයකි.

ස්වකීය රාජ්‍ය පාලන අසාර්ථකත්වය හමුවේ මහජනයා මත උග්‍ර ආර්ථික පීඩාවන් පටවමින් සිටින රාජපක්ෂවරු මෙම තර්ජනය එල්ල කරන්නේ දශ ලක්ෂය ඉක්මවූ ලාංකික විගාමික ප්‍රජාවටය.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම විවෘත වෙළද පොළ විසින් තීරණය කෙරෙන්නේ ව්‍යාජ  විදේශ විනිමය අනුපාතිකය මත නොව සැබෑ අනුපාතිකය මතය.

මෙම අනීතික පියවර මගින් රාජපක්ෂවරු විගාමික ප්‍රජාවගෙන් උදුරා ගන්න‌ට යන මුදල කෝටි ප්‍රකෝටි ගණනාවකි.

ලංකාණඩුවේ මෙම අනීතික පියවර හෙළා දකින ලෙසත් ඊට විරුද්ධ වන ලෙසත් තමන් කැමැති පරිදි සිය ආදායම සිය රට යැවීමට විගාමික ප්‍රජාව සතු අයිතිය ආරක්ෂා කිරීමට පෙරට එන ලෙසත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විදෙස්ගත ජාලය රටෙහි සියලු ප්‍රජාතන්ත්‍රවාද බලවේග කෙරෙන් ඉල්ලා සිටී.

( ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විදෙස්ගත ජාලය යනු යුරෝපයෙහි වාසය කරන වසර 30ක්ට වැඩි කාලයක් ක්‍රියාත්මක ලාංකිකයින්ගේ එකමුතුවකි.)

රංජිත් හේනායකආරච්චි
සේනක වත්තේගෙදර
සිවසාමි සිවරාජන්
ස්ට්‍රට්ගාට්, ජර්මනිය/06.12.2021

Archive

Latest news

Related news