Thursday, March 28, 2024

අසාද් සාලි නඩුව සහ ත්‍රස්ත පනත අවභාවිත කිරීම; මෙවැනි අවනඩු අනන්තය. – ජාවිඩ් යූසුෆ්

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ (PTA) විධිවිධාන සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රට තුළ කතිකාවක් ඇති වී ඇති අවස්ථාවක, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ පවතින අන්තරායන්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම, අධිචෝදනා ගොනු කිරීම සහ නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කිරීමෙන් ඕනෑම සැකකරුවෙකු අධිකරණ පරීක්ෂණයකට භාජනය නොකර දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට හැකිවීම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ දැඩි විවේචනයට ලක්ව ඇති ලක්ෂණයකි.

සැකකරු හෝ සැකකාරිය ඇප ඉල්ලීම වැළැක්වීමට විමර්ශකයන්ට අවශ්‍ය නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ඉඩ ලබා දීම මගින් පහසුවෙන් නීතිය අපයෝජනය කිරීමට ඉඩ සලසයි. මෙය බොහෝ විට කැරෙන්නේ අලස පරීක්‍ෂණ  වසන් කිරීමට  මෙන්ම දේශපාලන සහ වෙනත් බාහිර හේතූන් මත බව අත්දැකීමෙන් පෙනේ.

මෑතක සිට පොලිසිය අධිකරණයට ගොනු කරන බී වාර්තාවන්හි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමඟ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත සම්බන්ධ කරන අතර එමඟින් සැකකරු හෝ සැකකාරියට  ඇප ලබා ගැනීමේ අවස්ථා සම්පුර්ණයෙන්ම වාගේ නැති කරයි.

ඉන්පසුව ඔවුන්ගේ අනෙකුත් බහුවිධ රාජකාරිවලින් පිරී ඇති පොලිසිය පරීක්ෂණ සඳහා බොහෝ කාලයක් ගත කරයි. මෙවැනි නඩු වල ප්‍රවේශය “මුලින් අත්අඩංගුවට ගන්න, පසුව විමර්ශනය කරන්න” යන්න බව පෙනේ.

එවැනි තත්වයන් තුළ සැකකරුවෙකුගේ පුද්ගලික නිදහස අහිමි කිරීම ඔහුට පමණක් නොව ද්‍රව්‍යමය සහ චිත්තවේගීය සහයෝගය සඳහා ඔහු හෝ ඇය මත යැපෙන ඔහුගේ පවුලේ අයට සහ යැපෙන්නන්ට ද බලපායි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය උදාසීන වේගයකින් ක්‍රියාත්මක වන අතරතුර අත්අඩංගුවේ පසු වන එවන් ‘අමතක වූ’ මිනිසුන් අනන්තවත් ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම සහ අපයෝජනය කිරීම නිසා සිදු වන අනතුරු සහ අසාධාරණයන් කිහිපයක් අසාද් සාලි නඩුවෙන් මතු කරයි.

අසාද් සාලි නඩුවේ දී ප්‍රශ්න සජීවීව හා නිරන්තරයෙන් මහජනතාවගේ අවධානයට ලක් වූයේ සැකකරුගේ ඉහළ ප්‍රසිද්ධිය නිසාය.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ පසුවන, එතරම් ප්‍රසිද්ධ නැති සාමාන්‍ය පුරවැසියන් බොහෝ දෙනෙක් සිටිති.

ඒවා ලිපිගොනුවල හෝ බී වාර්තාවල සංඛ්‍යාලේඛන පමණක් වන අතර විමර්ශන ගොළුබෙල්ලෙකුගේ වේගයකින් ගමන් කරන අතර එමඟින් ඔවුන්ව දින නියමයක් නොමැතිව අත්අඩංගුවේ පසුවන තත්වයට පහත හෙළා තිබේ.

අසාද් සාලි 2021 මාර්තු 9 වන දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන ලදී.

නීතිපති කියූ බොරු

අත්අඩංගුවට ගැනීම සිදු කරන අවස්ථාවේ රජයේ ප්‍රධාන පෙළේ ප්‍රකාශකයින් පැවසුවේ මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ ප්‍රතිමාවලට සිදු කළ හානි වලට සාලි මහතා සම්බන්ධ බවටත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවටත් සාක්ෂි ලැබී ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කළ අවස්ථාවේදී මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණේ නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගන්නා තුරු යුක්තිය වෙනුවෙන් අතුරු පියවර කිහිපයක් ගත හැකිය.

විමර්ශනය පරීක්ෂා කිරීමේදී පැහැදිලිවම, මෙම ප්‍රහාර දෙකට සම්බන්ධ කිසිදු සාක්ෂියක් නීතිපතිවරයා විසින් සොයා ගෙන නොතිබූ අතර එම නිසා මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ගොනු නොකළේය.

මේ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ICCPR යටතේ සාලි මහතා අත්අඩංගුවට ගෙන මාස අටක් අත්අඩංගුවේ තබා ගැනීමේ මුල් පදනම අසත්‍ය බවට සනාථ විය.

කෙසේ වෙතත් සාලි මහතාගේ නිදහස ව්‍යාජ පදනමක් මත අහිමි කිරීමට අමතරව ඔහුගේ කීර්ති නාමයට සිදුවූ හානිය අපමණ වූ අතර ඔහු මෙම සිද්ධීන් දෙකට සම්බන්ධ බවට අඟවමින් සිදු කළ මාධ්‍ය ප්‍රහාරයන්  එතරම් අවබෝධයක් නැති ජනතාවගේ සිත් තුළ රැඳී තිබීමට ඉඩ තිබේ.

ජනමාධ්‍ය මගින් නඩු ඇසීම

2021 ඔක්තෝබර් 10 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ පැවැති නඩු කටයුතු උපුටා දක්වමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව යුක්තිය සරදමක් බවට පත්ව ඇත්දැයි යන ප්‍රශ්නය මම මතු කළෙමි. අසාද් සාලි මහතාට එරෙහි අධිචෝදනා පත්‍රයේ කේන්ද්‍රස්ථානය වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු දැක්වූ අදහස් සහ මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංස්කරණය කරන ලද පිටපතේ අන්තර්ගතය අතර දැඩි පරස්පරතාවයක් ඇති බවට අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබාදී තිබුණි. සාලි මහතාට එරෙහි අධිචෝදනා පත්‍රය පාදක කරගෙන තිබුණේ සංස්කරණය කළ පිටපත මතය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර තිබුණේ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ සම්පූර්ණ පිටපත ප්‍රසිද්ධ කළේ නම් සැකකරු ජනතාව අතර සාමය ගොඩනඟා එකම ජාතියක් ලෙස නැගී සිටීමේ අදහසක් ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වනු ඇති බවයි.

මෙම තීරුවෙන් පෙන්වා දුන්නේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සොයාගැනීම් තහවුරු කළ හොත් අසාද් සාලිට එරෙහි පැමිණිල්ලේ නඩුව තහවුරු කිරීම කළ නොහැකි කාර්යයක් බවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව සාලි මහතාට එරෙහි අධිචෝදනා සමාලෝචනය කර නිසි ක්‍රියාමාර්ග ගැනීම නීතිපතිවරයාට පැවරෙන වගකීමක් බවද මම ඉල්ලා ඒම ලිපියෙහි ඉල්ලා සිටියෙමි.

නීතිපතිවරයාගේ අවනීතිය

අවාසනාවකට නීතිපතිවරයා එසේ නොකළ නමුත් දිගින් දිගටම සාක්ෂි මෙහෙයවීය. පැමිණිල්ලේ නඩුව අවසානයේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා සාලි මහතා විත්ති පාර්ශ්වය කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතළ අසාධාරණයක් සිදුවෙමින් පවතින අතර කඩිනමින් පිළියම් යෙදිය යුතු කාලය පැමිණ තිබේ. ත්‍ර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගන්නා තුරු යුක්තිය වෙනුවෙන් අතුරු පියවර කිහිපයක් ගත හැකිය.

පළමුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම නතර කිරීමට රීතියක් පැනවිය යුතුය.

දෙවනුව, උසස් පොලිස් නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ICCPR හි විධිවිධාන භාවිතා කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම කරුණු දැඩි ලෙස පරීක්ෂා කර කිසිදු පුරවැසියෙකුට අසාධාරණයක් නොවන බවට සහතික විය යුතුය.

([email protected])

සන්ඩේ ටයිම්ස් පුවත්පතින් උපුටා ගෙන පරිවර්ථනය කරන ලදී.

Archive

Latest news

Related news