Saturday, April 20, 2024

වව්නතිව්, මාවනැල්ල, වනාතවිල්ලුව හරහා පාස්කු ප්‍රහාරය  සහ සරත් වීරසේකර (01) – සුනන්ද දේශප්‍රිය

පාර්ලිමේන්තුවෙහි දී පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඇති වූ වාද විවාදයන්හි දී මහජන ආරක්ෂාව බාර ඇමති සරත් වීරසේකර, පා.ම. හරීන් ප්‍රනාන්දු සහ පා.ම. මනුෂ නානායක්කාරට පිළිතුරු වශයෙන් මෙසේ කීවේය.

“ වනාත විල්ලුව, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, වව්නතිව් පොලිස් නිලධාරී ඝාතනය කිරීම …..මේ කටයුතු නිසි ලෙස අධ්‍යනය කලා නම් නිසි පියවර ගත්තා නම් (සහරන්ගේ) ජාලය අකර්මන්‍ය කර ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා” ( හැන්සාඩ් 11.11.21 කොළම 2321)

එහිදී ඔහු තවදුරටත් මෙසේ කීවේය:

“වනාත විල්ලුව ප්‍රදේශයේ තිබුණ පුපුරණ ද්‍රව්‍ය කතන්දරය එල්ටීටීඊ එකට බැර කළේ ශානි අබේසේකර. එතුමා තමයි එදා සීඅයිඩී එකේ ප්‍රධානියා. එහෙම නැතිව අපි කව්රුවත් නොවෙයි. එතුමා ඒක කළේ බුද්ධි අංශයේ තිබෙන තොරතුරු සම්පූර්ණයෙන්ම වහන්න.”

මෙම සිදුවීම් සම්බන්ධයෙන් නිසි පියවර නොගැනුණේ සහ නොහැකි වූයේ ඇයිද යන්න අවසානයක් දකින්නට නැති ප්‍රශ්න බවට පත්ව තිබේ.

මෙම කරුණු සොයා බලා නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ඇමති සරත් වීරසේකර වරද පැටවූයේ එකම එක පොලිස් නිලධාරියකු වෙතය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මතය.

සරත් වීරසේකරගේ තහනම් වචනය

පෙනෙන විදිහට සරත් වීරසේකර ප්‍රකාශ නොකළ යුතු තහනම් වචනයක් තිබේ. ඔහු කිසි විටෙක, පාස්කු ප්‍රහාරයන් සම්බන්ධයෙන් කේන්ද්‍රීය චරිතය වූ එම උසස් පොලිස් නිලධාරියාගේ නම සඳහන් කරන්නේ නැත.

එනම් එවකට රජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි දැන් උසස් වීමක් ලැබ මධ්‍යම පලාත බාර නියෝජ්‍ය පොලිස්පති වන නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගේ නමය.

මාවනැල්ල සිදුවීම දෙස බලමු.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු වූ සී.ඩබ්. වික්‍රමසේකර විසින් පොලිස්පති වෙක 2019 අග භාගයේදී ඉදිරිපත් කරන ලද වාර්තාවක මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් වේ.

මාවනැල්ල අවට පිහිටා තිබූ බුදු පිළිම වලට හානි කරන ලද්දේ 2018 දෙසැමිබර් 23-26 දින අතර තුරය. මෙම අපරාධ  විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පොලිස් පරීක්ෂක ජේ. මාරසිංහ යටතෙහි කණඩායමක් අනුයුක්ත කර තිබුණි. එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන්ගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීමේදී  අවසන් වරට පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ කරන දුරකථන සබඳතා පවත්වා තිබූ බව හෙළි විය.

වනාතවිල්ලුව පුහුණු කදවුර සොයා ගත්තේ කව්ද?

වනාත විල්ලුව පුහුණු කඳවුර සොයා ගත්තේ කෙසේ ද යන්න සහ කවර අංශයක් විසින් ද යන්න කරා දැන් අපට ළඟා විය හැක.

පුත්තලම ප්‍රදේශයට ගන්නා ලද එම දුරකථන ඇමැතුම හරහා කරන ලද රහසිගත විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මාසයක් යාමටත් ප්‍රථම එනම් 2019 ජනවාරි 16දා වනාත විල්ලුව පුහුණු කඳවුර සොයා ගැනීමට පොලිස් පරික්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම සමත් විය. ඒ කරදිපුවල් හි ලැක්ටෝස් වත්ත නම් අක්කර 80ක පොල් ඉඩමක් කරා රහසිගතව ළඟ වීම මගිනි.

මෙම සොයා ගැනීම කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම ද උඩ බව සහකාර පොලිස් අධිකාරිවරයකු වූ සී.ඩබ්. වික්‍රමසේකර පොලිස්පතිට යැවූ ලිපියේ දැක්වේ.

සහරාන් ඇතුළු කණ්ඩායමෙහි නම් ගම්ද. පවත්වන ලද පුහුණු කඳවුරු ගැන ද මරා ගෙන මැරෙන සහ ප්‍රහාරක කණ්ඩායම් යනුවෙන්  සන්නද්ධ කණ්ඩායම් දෙකක් පුහුණු කර තිබූ බව ද ප්‍රථම වරට සොයා ගනු ලැබූයේ ලැක්ටොස් වත්තෙහි දී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කඳවුර සොයා ගැනීමෙන් පසු  නිලන්ත ජයවර්ධන යටතේ තිබූ රාජ්‍ය බුද්ධි සේවය ද පරීක්ෂණයක් පැවැත්වීය.

එපමණක් නොව යුද හමුදා බුද්ධි අංශය ද  ලුතිනන් කර්නල් අනුරුද්ධ කරුණාරත්න යටතේ කණ්ඩායමක්  එම පොල්වත්තට යවා පරීක්ෂණයක් කරන ලදී.

ලැක්ටෝස් වත්ත ගැන සිරිසේන හමුව

මෙම පරීක්ෂණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ජනාධිපති සිරිසේන හමු වී ලැක්ටේස් වත්තෙහි පුහුණූ කඳවුර, ආයුධ ගබඩා කර තිබීම, සහ සහරාන් කණ්ඩායමෙහි සම්බන්ධය ඉතා බරපතළ කරුණක් බැවින් ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරන සේ ඉල්ලා සිටියෝය. එයට දිනයක් ලබ දීමට සිරිසේන පොරොන්දු වූ නමුත් එය කිසි දිනෙක සිදු වූයේ නැත.

මෙම තොරතුරු ජනාධිපති සිරිසේනගේ රැස්වීම් කාල සටහන සහ නිවසේ පොලිස් මුර පොළෙහි සටහන් පොත පරීක්ෂා කර තහවුරු කර ගත හැකිය.

“පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය පරීක්ෂණයක් නොකළේය. රට තුළ ප්‍රහාරයක් කිරීමට සහරාන්ගේ හැකියාව පිළිබඳ මමද දැන සිටියෙමි” – නිලන්ත ජයවර්ධන

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී වූ  නිලන්ත ජයර්ධනද එවැනිම නිගමනයකට පැමිණි සිටි බව පෙනේ.

සිය පරීක්ෂණයේ නිගමනය ගැන සඳහන් කරමින්, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවෙහි 2020 අගොස්තු 14වන දින නිලන්ත ජයවර්ධන කියා සිටියේ මෙසේය:

“2019 ජනවාරියේ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය වැටලීමෙන් පසු රට තුළ ප්‍රහාරයක් කිරීමට සහරාන්ගේ භෞතික හැකියාව පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය දැන සිටියේය.

සහරාන්ගේ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය සතුව කිසිදු වාර්තාවක් නොමැත. පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය පරීක්ෂණයක් නොකළේය. රට තුළ ප්‍රහාරයක් කිරීමට සහරාන්ගේ හැකියාව පිළිබඳ මමද දැන සිටියෙමි.” (නිව්ස් පස්ට්)

තමා සහරාන්ගේ අනෙකුත් පුපුරණ දුව්‍ය ගැන තමා නොදන්නා බව නිලන්ත ජයවර්ධන කියා ඇති නමුත් 2019 ජනවාරි 30 වන දින මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ලැක්ටෝස් වත්තෙහි තිබී අල්ලා ගන්න ලද පුපුරණ ද්‍රව්‍ය ඇතුළු නඩු භාණ්ඩ 75ක් පමණ බාර දෙන ලදී.  රාජ්‍ය බුද්ධී සේවයේ ප්‍රධානියා එම තොරතුරු නොදැන සිටියේ යැයි යන්න පිළිගැනීම දුෂ්කරය.

ඒ කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන සහරාන් කණ්ඩායමේ ප්‍රහාරක හැකියාව දැන සිටියේය.

ඉන් මාස දෙක තුනකට පසු එනම් 2019 අප්‍රේල් 04වන දින සහරාන් ඇතුලු පිරිසක්  ප්‍රහාරයක යෙදීමට සූදානම් බවට විදේශ බුද්ධි තොරතුරක් ලැබුණේ,  සහරාන් ඇතුළු පිරිසට රට තුල  ප්‍රහාරයක් එල්ල කළ හැකි බව 2019 ජනවාරිය වන විට දැන සිටි බව අධිකරණය හමුවේ පිළිගත් නිලන්ත ජයවර්ධනටය.

මෙම සාධක දෙක එක් කළ විට අතිශය භයානක චිත්‍රයක් නොදකින බුද්ධි සේවා ප්‍රධානියකු සිටිය හැකිද?

එසේ නමුත්  මෙම තොරතුර, ඔහු කියන පරිදි, රටෙහි ආරක්ෂක ඇමැතිවරයා සහ සේනාධිනායකයා වන ජනාධිපති සිරිසේනට දැනුම් දුන්නේ නැත.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට විරුද්ධ දැන් විභාග වෙමින් පවතින නඩුවෙහි පසුගිය නොවැම්බර් 29වන දින  සාක්ෂි දෙමින් නිලන්ත ජයවර්ධන කියා සිටියේ තමන් ජනාධිපති මෛත්‍රීපාල, පොලිස්පති, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය යන කිසිවකුට නිශ්චිත බුද්ධි තොරතුරක් දැනුම් නොදුන් බවය.

ලැක්ටෝස් වත්තහෙි සොයා ගැනීම් වලින් පසු ජනාධිපති සිරිසේන හමු වී මෙය භයානක තත්වයක සක්ෂියක් බව කියා සිටි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නට නිලන්ත ජයවර්ධන එම තොරතුර දැනුම් දුන්නේ ප්‍රහාරය එල්ල වූ 2019 අප්‍රේල් 21 දින උදෑසනය.

මෙම හැසිරීම අපරාධ සහායක චෝදනාව ලැබීමට ඕනෑවටත් වඩා ප්‍රමණවත්ය.

පැහැදිලි අපරාධ සහායකයකු වන  රාජ්‍ය බුද්ධි සේවයේ මෙම හිටපු ප්‍රධානියා සරත් වීරසේකර සහ අපකීර්තිමත් සංජේ රාජරත්නම්ගේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම ආරක්ෂා කරන්නේ මන්ද? ඔහු චූදිතයකු නොකර රජයේ සාක්ෂිකරුවකු කර ඇත්තේ මන්ද?

හුදෙක් සුරේශ් සලේ ගැන ප්‍රකාශයක් කළැයි මේ වන විට පැය 12ත් පුරා සිරිල් ගාමිණී පියතුමාගෙන් ප්‍රශ්න කර ඇති රහස් පොලිසිය නිලන්ත ජයවර්ධනගෙන් නිකමටවත් ප්‍රශ්න කර නැත.

පසුගිය නොවැම්බර් 23දා පාර්ලිමේන්තුවෙහි කතා කරමින් විපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවර ලක්ෂ්මන් කිරිඇල්ල මෙසේ කීවේය:

“හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන  විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණයට එම බලය ඇත. ඇත්තටම ඔහු ප්‍රධාන සැකකරු විය යුතුයි. ඉදිරියේදී එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ තොරතුරු ඔහුට ලැබුණේ දින දහයකටත් පෙරය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපතිවරයාට තමන් එම තොරතුරු ලබා නොදුන් බව ඔහු පවසා තිබේ. අපි ඔහුගේ ප්‍රකාශය පිළිගන්නවා යැයි සිතමු. එවිට ඔහු දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන අනුව වරදක් කර ඇත. නමුත් අද ඔහු නිදහස් ය. තම දුරකථනය විමර්ශකයන්ට භාර දෙන ලෙස නිලන්ත ජයවර්ධනට කී විට ඔහු එහි ගබඩා කර තිබූ සියලු තොරතුරු මකා දැමුවේය. ඒ මකා දැමීමෙන් පෙනෙන්නේ සැඟවීමට යමක් තිබූ බවයි. එය සාක්ෂි යටපත් කිරීමකි. ඔහු සැකකරුවෙකු ලෙස නම් කිරීමට එම වරද පමණක් ප්‍රමාණවත් විය.”

පුදුමයකට මෙන් ප්‍රධාන සැකකරු විය යුතුව තිබූ නිලන්ත ජයවර්ධන ගැන, ජාතික ආරක්ෂක ඇමැති සරත් වීරසේකර කටක් අරින්නේ නැත.

(වව්නතිව් පොලිස් මුරපොළට එල්ල වූ ප්‍රහාරයේ ඇතුළත කතාව දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.)

Archive

Latest news

Related news