Friday, March 29, 2024

පාස්කු ප්‍රහාරය, ජනාධිපති රාජපක්ෂගේ තර්ජනය සහ ප්‍රලාප – සුනන්ද දේශප්‍රිය

එල්ලෙන කැළනි පාලම  විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ට බරපතල තර්ජනයක් කළේය.

ඔහු කීවේ මෙයයි:

“පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර  තියෙනවා. ඉදිරි කටයුතු සඳහා වාර්තාව පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තියෙනවා.

”හැබැයි කඩිනමින්ම කරන්න ඕන නම්, අපිට පුළුවන් පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනල්ලා එහෙම කරලා තියෙනවා. මීට ඉස්සරවෙලා, වගකියන අයගෙ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න.

“ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්න පුළුවන් අවශ්‍ය නම්, ඒක නම් ඉල්ලන්නෙ අපි ලෑස්ති ඒක කරන්න.

“ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා  ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වෙන්න.”

ජනාධිපති රාජපක්ෂගේ මේ කතාව පිරී ඇත්තේ සනාථ කළ නොහැකි ප්‍රලාප වලිනි.

ලොකුම ප්‍රලාපය

“ඉදිරි කටයුතු සඳහා වාර්තාව පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තියෙනවා.” යන්න ලොකුම බොරුවය.

පාර්ලිමේන්තුවට ලබා දී ඇත්තේ පිටු 500ක් පමණ වන පළමු පරිච්ඡේදය පමණි. විපක්ෂ දේශපාලන පක්ෂ මෙන්ම කතෝලික සභාවද දිගින් දිගටම ඉල්ලා සිටින්නේ සම්පූර්ණ වාර්තාවම ප්‍රසිද්ධ කරන ලෙසයි.

දෙවැනි ප්‍රලාපය

ඊළග බොරුව වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට  නිර්දේශයක් කර ඇති බව කීමය.

වාර්තාවෙහි කිසිම තැනක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ඇමැති මණ්ඩලය හෝ පාස්කු ප්‍රහාරයට වග කිවයුතු බවට දක්වා නැත. රනිල් වික්‍රමසිංහට නඩු පැවැරීමට සළකා බලන සේ හෝ කොමිෂන් වාර්තාව නිර්දේශ කර නැත.

සිරිසේන දංගෙඩියට

වාර්තාව අනුව කටයුතු කරන්නේ නම් රාජපක්ෂට මුලින්ම සිදු වන්නේ හිටපු ජනාධිපති සිරිසේනට දඩුවම් කිරීමටය.

වාර්තාව මෙසේ කියයි:

“දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ  ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යූතුය.”

ඊළඟට දඩුවම් කළ යුත්තේ ගෝඨාභය රජය විසින් ආරක්ෂා කරනු ලබන සහ උසස් වීමක් ලබා දී ඇති රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනටය.

රයිගමයයි ගම්පලයයි

කොමිෂන් සභාව එකිනෙකා ගැන  සිරිසේන සහ නිලන්ත ජයවර්ධන දුන් සාක්ෂි පිළිගෙන නැත.

නිලන්ත ජයවර්ධන සහ ජනාධිපති සිරිසේන අතර වූ සමීප සබඳතා අනුව සම්භාවිත සමතුලිතතාවය මත ප්‍රහාරය පිළිබඳව ලද විදේශීය බුද්ධි තොරතුරු සිරිසේන දැන සිටිය යුතු යැයි කොමිෂන් සභාව නිගමනය කරයි. මුලින්ම එම තොරතුර ලද 2019 අප්‍රේල් 04දා සහ සිරිසේන විදේශ ගත වූ 18වනදා අතර නිලන්ත ජයවර්ධන විසින්  සිරිසේනට දෙන ලද දුරකථන ඇමතුම් ප්‍රමාණය ද ඊට හේතුවක් ලෙස කොමිෂන් සභාව සැළකිල්ලට ගනී.

නිලන්ත ජයවර්ධන කොමිෂන් සභාව හමුයේ කරන ලද ව්‍යාජ ප්‍රකාශ ගණනාවක් ගැන ද වාර්තාව සඳහන් කරයි. එකක් නම් තමන් ජනාධිපතිවරයාට කෙලින්ම බුද්ධි තොරතුරු නොසැපයූ බවට නිලන්ත ජයවර්ධන විසින් කරන ලද ප්‍රකාශයයි. කොමිසම කියන්නේ ඔහු විසින් යවන ලද එවැනි වාර්තා කිහිපයක් සොයා ගැනීමට තමන් සමත් වූ බවයි. තවත් අවස්ථාවක ඔහු වෙනස් කරන ලද පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමක් කළ බවද එය සඳහන් කරයි.

 නිලන්ත ජයවර්ධනට අපරාධ නඩු! 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  නිලන්ත ජයවර්ධනට සාපරාධී වගකීමක් ඇති බව පෙන්වා දෙන කොමිසම ඔහුට අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සලකා බැලිය යුතු බව නිර්දේශ කරයි.

කොමිෂන් සභා වාර්තාව අනුව නීතිපතිවරයා පියවර ගන්නේ නම් නිලන්ත ජයවර්ධන සැකකරුවකු වෙනුවට සාක්ෂි කරුවකු වී සිටින්නේ කෙසේද?

පාස්කු ප්‍රහාරය ගැන අඥණ තර්ක

ජනාධිපති රාජපක්ෂ තවත් සිය තර්ජනයෙහි දී  අඥාන තර්කයක් ගෙන එයි. එනම් පසුගිය අණ්ඩුව රාජ්‍ය ඔත්තු සේවා අඩපණ කරන ලද නිසා පාස්කු ප්‍රහාරය සිදුවූ බවයි.

නමුත් ඇත්ත  නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ නිසි ඔත්තු විස්තරාත්මකව ලැබී තිබිය දී බවයි.

නිලන්ත ජයවර්ධන මාර්තු 26දා බුද්ධි වාර්තාවක් මගින් “ සහරාන් සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනා වන සදීක් සහ සාහිඩ් දිගටම සැඟවී සිටිය හොත් ප්‍රහාරයක් එල්ල වීමේ අනතුර ඇති බව” දක්වා ඇතයි කොමිෂන් වාර්තාව සඳහන් කරයි.

ඉන් හුදෙක් දවස් 11කට පසු සහරාන්ගේ නම ද ප්‍රහාරකයකු ලෙස සඳහන් වූ ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුර ඔහුට  දැන ගන්නට ලැබුණේය. එනමුත් ඔහු ඒ බව හමුදාපතිවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ වහාම දැන් වූයේ නැත.

ඉදින් පාස්කු ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ අඩපණ වීම යැයි කීම හුදු ප්‍රලාපයක් නොවේද? නිලන්ත ජයවර්ධන යනු ගෝඨාභය රැක ගැනීමට සාක්ෂි දුන් බව පිළිගෙන ඇති අයෙකි.

ඥණසාර ගැන පිටු ගාණක්

තවත් ප්‍රලාපයක් දෙස බලමු:

කොමිෂන් සභා ඉදිරි කටයුතු සඳහා වාර්තාව නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතයි කියන ගෝඨාභය රාජපක්ෂගේ කියමන කොපමණ බොරුවක්ද යන්න පෙන්වන්නේ චීවරධාරී ගලබොඩඅත්තේ ඥණසාර සම්පන්ධයෙන් සලකා බලන විටය.

දැන් මෙම චීවරධාරි ඥනසාර ජනාධිපති රාජපක්ෂගේ එක් රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ ප්‍රධානියාය.

කොමිෂන් සභා වාර්තාවේ නැති කරුණූ අනුව විපක්ෂ දේශපාලනඥයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තර්ජනය කරන ගෝඨාභය රාජපක්ෂ එම වාර්තාවෙහි එන මෙම නිර්දේශ ගැන කියන්නේ කුමක්ද?

ප්‍රසිද්ධ කරන ලද වර්තාවෙහි සිංහල පරිවර්ථනයෙහි   475 පිටුවෙහි සඳහන් වන්නේ මෙසේය:

“2019 අප්‍රේල් සිදුවීම සඳහා මූලිකවම හේතු වන්නේ වහබි දෘෂ්ඨිවාදය සහ තවුහිද් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය වැනි කණ්ඩායම්ද ජාත්‍යන්තරව  අයිසිස් කණ්ඩායමේ ක්‍රියාකාරකම් සහ බොදුබල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙම සිදුවීම සඳහා දායක වූ බව කොමිෂන් සභාව නිගමනය කරයි.”

බොදුබල සේනාව යනු ඥණසාරගේ සංවිධානය බව ගෝඨාභය රාජපක්ෂ හොදින්ම දනී. මන්ද යත් එහි අධ්‍යපාන පීඨය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ඔහු නිසාය.

එම නිරීක්ෂනය මත වාර්තාව සිය පස්වන නිර්දේශය මෙසේ ඉදිරිපත් කරයි:

“2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජත්‍යන්තර සම්මුතිය ප්‍රකාරව ගලබොඩඅත්තේ ඥණසාර හිමියන්ට අපරාධ නඩු පැවරිය හැකිද යන්න සළකා බැලීම සඳහා නීතිපතිවරයා 2013 පෙබරවාරි 17වන දින මහරගම සහ 2014 ජූනි මාසයේ පොහොය දිනට පසු දින අලුත්ගම යන නගරවල කළ කතාවන් සළකා බලන මෙන් පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.”

බොදු බල සේනාවේ වැඩ කිඩ

වාර්තාවෙහි 521 පිටුවෙහි මෙසේ සඳහන් වෙයි:

“2012 සිට 2015 දක්වා කාලය තුළ බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් බෞද්ධ අන්තවාදයේ උත්සන්න වීමක් සිදුවිය. බොදු බල සේනා සංවිධානයේ සමහර ක්‍රියා පොදුවේ සමස්ත මුස්ලිම් ප්‍රජාවම ඉලක්ක කර ගත්හ.”

ජනාධිපති රාජපක්ෂ  ඊයේ ( 24) කරන ලද තර්ජනය අනුව කොමිෂන් සභා වාර්තාව අනුව කටයුතු කරන්නේ නම් ඥණසාර ජනාධිපති කාර්ය සාධක බලකායක ප්‍රධානියා වී සිටින්නේ කෙසේද?

සිරසේනගේ බෙල්ල කපන්න 2/3ක් කොහෙන්ද?

ඊටත් වඩා විහිළුව නම් කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරිමට තමන්ට පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බලයක් තිබෙන බව කියා සිටීමයි. ඔහු විසින් දඩුවම් දිය යුතු පුද්ගලයකු ලෙස දක්වා ඇති හිටපු ජනාධිපති සිරිසේනගේ පක්ෂයට ආණ්ඩුවේ ආසන 14ක් ඇති බව ගෝඨාභය දන්නේ නැත්ද?

එසේත් නැත්නම් ජනප්‍රවාදයේ එන සිරිසඟබෝ රජු මෙන් මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හිස ගසා දැමීමට සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ සහාය ලබා දෙනු ඇතැයි ගෝඨාභය කල්පනා කරන්නේ ද?

එම ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ රවුෆ් හකීම්ගේ හෝ රිෂාඩ් බදුර්දීන්ගේ හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එම පක්ෂවල මංත්‍රීවරුන් ජන්දය දෙනු ඇතැයි ගෝඨාභය කලපනා කරන්නේද?

රාජ්‍ය බුද්ධි අංශ අඩපණ කළේ යැයි පසුගිය රජයට චෝදනා කරන ගෝඨාභයම කියන පරිදි කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් ඉහළම පෙළේ පොලිස් නිලධාරීන් රොත්තකටම නඩු වැටිය යුතුය. තවත් එවැනි පිරිසකට විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

එවිට අඩපණ වන්නේ කුමක්ද? නීතිය ක්‍රියාත්මක කරන විට අපරාධකරුවන් නිල ඇදුම් ලාගෙන සිටින්නේ ද යන්න සැලකෙන්නේ නැත.

පාර්ලිමේන්තු මංත්‍රී වෙල්ගම කී කතාව ඇත්ත බව තේරෙන්නේ මෙවැනි පිස්සු හුටං වර්ගයේ තර්ජන ජනාධිපති දේශන වශයෙන් ඇසෙන විටය.

ගෝඨාභය රාජපක්ෂගේ තර්ජනය ක්‍රියාත්මක කළ හැක්කේ බිය ගැන්වීම නීතිය බවට පත් රටක පමණි. එය හිතන තරම් ලෙහෙසි නැත.

Archive

Latest news

Related news