Friday, March 29, 2024

කින්නියා සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන්ට පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකි.

කින්නියා සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන්ට පහර දීම තරයේ හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීම නිසා සිදු වූ අනතුර වාර්තා කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් තිදෙනෙකුට එම ස්ථානයේ රැදීසිටි කිසියම් පිරිසක් පහර දී තිබේ.

ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු අබ්දුල් සලාම් මොහොම්මදු යාසිම්ට පහර දුන් පිරිස ඔහුගේ වාර්තාකරණ දත්ත ඇතුළත් ස්මාර්ට් ජංගම දුරකථනය පැහැර ගෙන තිබෙන අතර ඔහු මේ සම්බන්ධව අංක CIB (1) 10/291 යටතේ කින්නියා පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

මාධ්‍යවේදී යාසිම්ට පහර දෙන අවස්ථාවේ ශක්ති නිව්ස් ෆස්ට් වාර්තාකරු එච්. එම් හලාල්ඩීන්ට සහ තිනකරන් මාධ්‍යවේදී ඒ. එල්. එම් රෆයිඩීන්ටද පහර දී වාර්තාකරණය අවහිර කර පලවා හැර ඇත.

කින්නියා හී සිදු වූ සිදුවීම ඉතා සංවේදී සහ සමාජමය වශයෙන් වගවීම ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් නිසාම ඊට අදාල සියලු සත්‍ය හා නිවැරදි තොරතුරු වාර්තා කිරීමට ජනමාධ්‍යයට ඇති අයිතිය කිසිදු පාර්ශවයක් විසින් ප්‍රශ්න කිරීමට හෝ අවහිර කිරීමට ලක් නොවිය යුතුය. එබැවින් මෙම පහර දීම සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය කාර්යයන්ට බාධා කිරීම සිදු කළේ කුමන පාර්ශවයක් වුවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය බරපතල සිදුවීමක් ලෙස සළකා හෙළා දකියි.

දිවයිනේ ඕනෑම පළාතක පවත්නා නීතිය යථා පරිදි ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම වන අතර සිදුවීම පිළිබඳ වහා පරීක්ෂණ සිදු කරන ලෙසත්, වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට බල කරයි.

ලසන්ත ද සිල්වා
කැඳවුම්කරු

හනා ඉබ්‍රහිම්
ලේකම්

2021.11.24/මාධ්‍ය නිවේදනය

Archive

Latest news

Related news