Saturday, April 20, 2024

පොලිසියේ දී මිය ගිය චන්ද්‍රන් විතුසන්ගේ සිරුරේ නැතැයි කී වධහිංසා ළකුනු දෙවන මරණ පරීක්ෂණය වාර්තා කරයි.

22 හැවිරිදි චන්ද්‍රන් විතුසන්ගේ රහස් පොලීසිය විසින් අත්අඩංඟුවට ගත්තේ පසුගිය ජූනි 2 වැනි බදාදා රාත්‍රී 10.30 ට පමණය.

අත්අඩංඟුවට ගැනීමට පැමිණි බුද්ධි අංශ නිලධාරීන් විසින් නිවෙසින් පිටතට ගත් වහාම ඔහුට පහර දෙනු ඔහුගේ සහෝදරිය දැක තිබුණි.

ඔහුගේ මාමා කියා සිටියේ මංචු දමා ගසක බැඳ සිය ඥාති පුත්‍රයාට පහර දෙනු තමන් දුටු බවත් එම පහරදීම් වැළැක්වීමට ගිය තමන් ද තල්ලු කර දැමු බවයි.

රාත්‍රියෙහි  විතුසන් බැලීමට නොපැමිණෙන ලෙස පොලිසිය පවුලේ අයට දැන් වූවේය.

පසුදා අලුයම  ඔහු මිය ගොස් ඇතැයි පොලිසිය ඔහුගේ මවට කතා කර කීවේය. එදිනම ඔහුගේ මළ සිරුර ද නිවෙසට බාර දෙන ලදී.

මඩකළපුව පොලීසියේ විශේෂ මරණ පරීක්ෂක විසින් පවත්වන ලද මරණ පරීක්ෂණ වාර්තාවට අනුව විතුසන් මිය ගොස් තිබුණේ අයිස් නම් මත් ද්‍රව්‍ය වැඩිපුර ශරීර ගතවීම නිසාය.

නමුත් විතූසන්ට පහර දී ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබුණේ නැත.

ඒ අනුව ඔහුගේ මළ සිරුරු භූමිදානය කරන ලද්දේ පොලිස් නිලධාරීන් ඉදිරිපිටය.

ඔහු මිය ගියේ පොලිස් පහරදීම් නිසා බවට පවුලේ අයද පවුලේ නීතිඥයෝද චෝදනා කළහ.

ඔහුගේ මරණය මිනීමැරුමක් බව ගම්වැසියෝ විශ්වාස කළහ.

සිය සහෝදරයාට පහර දෙනු දෑසින් දුටු ඔහුගේ සහෝදරියද ගම්වැසියෝද මරණ පරීක්ෂණ වාර්තාව පිළිගත්තේ නැත. ඔවුහු තවත් මරණ පරීක්ෂණයක් ඉල්ලා අධිකරණයට ගියහ.

මඩකළපු මහේස්ත්‍රාත් අධිකරණය මළ සිරුර ගොඩ ගෙන පරීක්ෂණයක් කිරීමට නියෝග කරන ලදී.

ඒ අනුව ජූනි 21 දා මඩකලපුව විනිසුරු ඒ.සී.රිස්වාන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාරගේ මඟ පෙන්වීම යටතේ  චන්ද්‍රන් විතුසන්ගේ දේහය ගොඩ ගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා පේරාදෙණිය වෙත රැගෙන යන ලදී.‍

එම වාර්තාව දැන් නිකුත් වී තිබේ.

මෙම මස12දා නිකුත් කරන ලද එම දෙවන මරණ පරීක්ෂණ වාර්තාවට අනුව වන්ද්‍රන් විතුසන්ගේ සිරුරෙහි පහර දීම් සහ වධහිංසා පමුණූවන ලද ලකුණූ තිබේ.

පවුලේ අය  නිර්භයව විතුසන් වෙනුවෙන් පෙනී නොසිටියේ නම් ඔහුගේ මරණය හුදෙක් කුඩු මරණයක් ලෙස යටපත් වන්නට තිබුණි.

මෙම අපරාධය වසං කිරීමට මඩකළපු රෝහලේ විශේෂ අධිකරණ මරණ පරීක්ෂකවරයා කටයුතු කර ඇති බව පැහැදිලි යැයි  නීති අංශ ප්‍රකාශ කරති.

එනමුත් මෙම අපරාධයට නිසි දඩුවම් ලැබෙනු ඇතැයි සිතීම උගහට බවත් වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකා පොලිසියේ සාමන්‍ය දෙයක් බවට පත්ව ඇති බවත් එම නීති අංශ කියා සිටිති.

පසුගියදා මහමඟ දී රියදුරකුට පහර දී සහ පොලිසි ස්ථානයට ගෙන ගොස් දරුණු වධහිංසා පමුණුවන ලද බවට චෝදනා ලද  ඩී.අයි.ජී. රන්මල් කොඩිතුවක්කු තවම යහතින් පොලිස් සේවයේ රාජකාරි කරන බවද නීති අංශ පෙන්වා දෙති.

( ශ්‍රි ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news