Friday, April 19, 2024

තවත් පොලිස් ලොක්කෙක් නීති කඩයි: ඩීඅයිජී දේශබන්දු ක්‍රිකට් මණ්ඩලයෙන් මසකට ලක්ෂ එකහමාර ගානේ අරං!

ලංකාවටම නීතිය උගන්වන තරමේ පොලිස් ප්‍රධානියකු වන දේශබන්දු  තෙන්නකෝන් සිය වැටුපට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයෙන් මසකට රුපියල් 150,000 බැගින් වැටුපත් ලබමින් සිටින බව හෙළිදරව් වී තිබේ.

තවත් පොලිස් ලොක්කකු වූ රන්මල් කෙඩිතුවක්කුගේ දුෂෟඨත්වයේ කෙළ පැමිණි ප්‍රචණ්ඩ හැසිරීම වාර්තා වී තවම මසක්වක් ගත වී නැත.

ඔහු කොළඹ අගනුවර ඇතුළු මුළු බස්නාහිර පළාතම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා වන අතර ජාතික ආරක්ෂාව සම්බන්ධ ඇමැති සරත් වීරසේකරගේ සමීපතමයකු බව පැවසේ.

මේ බව හෙළිදරව් කරන ලද්දේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී හරීන් ප්‍රනාන්දු විසිනි. ඔහු  මේ බව පසුගිය පසුගිය 11දා පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේ  වැටුප් වාර්තා ද සමගිනි.

ඔහු මෙම අමතර වටුප ලබා ගෙන ඇත්තේ  “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක උපදේශකවරයාගේ උපදේශක” වශයෙනි.

එම තනතුරට ඔහු බඳවා ගන්නා ලද්දේ කුමන පටිපාටියක් අනුවදැයි දැන ගන්නට නැත.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු නිලධාරියෙකු ලෙස ජනාධිපති විමර්ශන කොමිසම (PCOI) විසින් දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබුණි.

එනමුදු පාස්කු ප්‍රහාරය එල්ල කරන විට කොළඹ උතුරේ ආරක්ෂාව භාරව සිටි තෙන්නකෝන්ට දඩුවම් කරනු වෙනුවට බස්නාහිර පළාතම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රාජපක්ෂ උසස් වීමක් ලබා දුන්නේය.

ඉන්පසු ඔහු තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් කැන්දා ගෙන මහනුවර මහනා හිමිවරු හමු වී කොමිසමෙහි එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන ලෙස පොලිස් කොමිසමට දන්වන්නැයි ඉල්ලා සිටියේය.

පොලිස් කොමිසසට බැලපෑමක් කරන සේ කරන ලද ඉල්ලීමම දඩුවම් ලැබිය යුතු වරදක් වන නමුත් ඒ වෙනුවට ඔහුට ලැබී ඇත්තේ  දහසින් බැඳි පියළිය.

ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ලක්ෂ පනස්දාහේ වැටුපට අමතරව  ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක් සහ රුපියල් 5,000 ක මුදලක් ද දේශබන්දුට මාසිකව ලබා දී තිබේ.

ඔහුට මෙම තනතුර දී ඇත්තේ 2021 අගෝස්තු මාසයේ සිට වසර දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක වන කොන්ත්‍රාත්තුවක් උඩය.

මෙරට පෞද්ගලික ඉපයීම් සඳහා අවසර ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ට පමණකි.  පොලිසියෙහි සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජික සාමාජිකාවනට වෙනත් රැකියා කිරීමට අවසර නැත.

එසේ තිබියදි තමා රජයේ සේවකයෙකු බව දැන ,දැනම නිතියානුකූලව රැකියාවෙන් ඉවත් නොවි තවත් පුද්ගලික ආයතනයක් වු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුරක රැකියාවක් කිරීම,ආයතන සංග්‍රහයට අනුව බරපතල විෂමාචාර ක්‍රියාවක් බව ද වාර්තා වේ

තවද  තම දරුවාට අමතර පංතියේ මුදල් ගෙවීමට ත්‍රිවිල් රථයක් එලවු අහිංසක පොලිස් නිලධාරින් ගණනාවකටම රැකියාව අහිමි කර ඇතැයි ද සමාජ මාධ්‍ය ප්‍රකාශ කරයි.

එනයින් පැහැදිළිවම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන දේශබන්දු කර ඇත්තේ නීතිය කෙළෙසීමකි.

මීළඟ පොලිස්පති වන්නේ මෙම දේශබන්දු තෙන්නකෝන් යැයි පොලිස් සේවාව තුල ආරංචි පැතිර තිබේ.

(ශ්‍රී ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news