Sunday, November 24, 2024

ජීවන් ත්‍යාගරාජාට සහ නිමල් පුංචිහේවාට අමතක වූ මැතිවරණ නඩුව! 

ඡායාරූපය‍: මැතිවරණ කොමිසමෙන් ත්‍යාගරාජාගේ පත්වීමට තෑගි!

මැතිවරණ කොමිසමට ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද කොමසාරිස්වරයකු වූ ජීවන් ත්‍යාගරාජා එතනින් ඇද උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරයා ලෙස  එම රාජපක්ෂ විසින්ම පත් කරන ලද්දේ පසුගිය ඔක්තෝබර් 11දාය.

මෙම දේශපාලන පත් කිරීම සමරා මැතිවරණ කොමිසම උත්සවයක් ද පවත්වා ජීවන් ත්‍යාගරාජාට සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.

මැතිවරණ කොමිසමට පත් කරනු ලබන කොමසාරිස්වරුන් සහ කොමසාරිස්වරියන් ඔවුන්ගේ කාලය අවසන් වන තුරු ඉන් ඉවත් නොකළ යුත්තේ ඔවුනට බිය නැතිව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සළසනු පිණිසය.

මැතිවරණ දෙපාර්තමේන්තුවට බැදෙන සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු හෝ කොමසාරිස්වරියක හෝ කැමැත්තෙන් ඉවත් වී ගිය හොත් මිස එම දෙපාර්තමේන්තුවෙන් මාරු කිරීමට අවසරයක් නැත්තේද එනිසාය.

ජීවන් ත්‍යාගරාජා නම් ජනාධිපති කාර්‍යාලයෙන් ලද එක් පණිවිඩයකින් කැමැත්තෙන්ම ඉල්ලා අස් වූ බව කියනු ලැබේ.

උතුරු පලාතේ ආණ්ඩුකාරවරිය වූ  පී.එස්.එම්. චාල්ස් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක්  වූ අතර දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි නැටවීමට හැකි කාන්තාවක් නොවූවාය.

ඇය වෙනුවට මැතිවරණ කොමිසමේ සමාජික ත්‍යාගරාජා පත් කරන ලද්දේ නිල වශයෙන් ඇයට දැනුම් දීමක් හෝ නොකරය.

ප්‍රශ්ණය එයම නොවේ. මැතිවරණ කොමිසමේ සමාජිකයකු වූ ත්‍යාගරාජා මැතිවරණ කොමිසමද වග උත්තරතරුවකු කරමින් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නොසළකා මෙම තනතුර බාර ගැනීමයි.

එම නඩු තීන්දුව SC FR No. 35/2016 වේ.

එම නඩුව පවරන ලද්දේ පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීමට විරුද්ධව 2016 වසරෙහි දී ය.

එම නඩුවෙහි දී  මහජන නියෝජිතයින් වෙනුවට  රජයේ නිලධාරීන් විසින් එම පළාත් පාලන ආයතන පාලනය කිරීම වැරදි බවට ඉතා පැහැදිළිව තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

එම තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ මහජනයාගේ ජන්ද බලය කල් දැමීමට කිසිවකුට අයිතියක් නැති බවයි.

ඒම නඩුවෙහි වග උත්තරකරුවකු කර සිටි පලාත් පාලන ඇමැති පයිසර් මුස්තාපා මුලදීම ඉවත් කර ගෙන තිබුණි. එසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  ඇමැතිවරයා මෙහි තීරණාත්මක භූමිකාවක් රඟ පාන බව කියා ඔහුගෙන්  මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසන ලදී. ඔහු සිය නිදහසට කරුණු ඉදිරිපත් නොකළේය.

එම තීන්දුවෙහි මෙසේ සඳහන් විය:

“මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම සාධාරණ හේතු නැත.  කල් දැමීම දිගටම පවත්වා ගෙන යාමට නීතියේ ප්‍රතිපාදන ද නැත.

පළාත් පාලන ආයතන ස්ථාවර කාලයක් (වසර 4) සඳහා තේරී පත් වේ. පුරවැසියන් එම කාලසීමාව අවසානයේ නව සාමාජික සාමාජිකාවන් තෝරා ගැනීමට අපේක්ෂා කරයි. එම අයිතිය ප්‍රතික්ෂේප නොකළ යුතුයි.

තම අභිමතය පරිදි නියෝජිතයන් පත් කිරීමේ අයිතිය ඡන්දදායකයින්ට අහිමි කර ඇති අතර  ඒම ආයතන කළමනාකරණය කරනු ලබන්නේ රජයේ සේවකයන් වන පළාත් සභා ලේකම්වරුන් විසිනි.

මැතිවරණ කල් දැමීම මගින් පුරවැසියන්ගේ ඡන්ද බලය අහිමි කිරීම ඔවුන්ගේ මූලික මානව හිමිකම් කඩ කිරීමකි.”

මෙම නඩු තීන්දුව කියා සිටියේ පුරවැසියන්ගේ ඡන්ද බලය අහිමි කර ඇත්තේ මැතිවරණ කොමිසම විසින් නොව විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් බවයි.

දැන් ප්‍රශ්ණය මෙයයි. මැතිවරණ කල් දැමීම මහා ජනයාගේ මූලික අයිතීන් කඩ කිරීමක් යැයිද සහ මැතිවරණ කල් දමා එම ආයතන රජයේ සේවකයින් විසින් පාලනය කිරීම වරදක් යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබියදී, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් එම නෙහොබිනා තනතුර බාර ගැනීම කොතරම් වරදක් ද යන්නයි.

මැතිවරණ කොමිසමේ සමාජිකයකු කර ඇත්තේ අපචාරයකි. දුරාචාරයකි.

මෙය හරියට කපුවා දේවාලයේ රීම හා සමානය. නැත්නම් වැටත් නියරත් ගොයම් කෑමකි.

මන්ද යත් මේ වන විට උතුරු පළාත් සභාව විසුරුවා හැර වසර දෙකක් වන නිසාය. උතුරු ජනතාවගේ ජන්ද අයිතිය දෙවසරක්ම දැන් පයට පාගි දමා ඇති නිසාය. ( රටෙහි අනෙක් පළාත් සභා ද මේ වන විට වසර එක හමාරක සිට තෙවසරක් තරම් කාලයක් පාලනය වන්නේ ආණ්ඩුකාරයින් මගිනි)

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පළාත් සභාවලටද එළෙසම ආදේශ වෙයි.

දැන් මැතිවරණ පැවැත්වීම බාර කොමිසමේ සාමාජිකයකුව සිටි  ජීවන් ත්‍යාගරාජා කරන්නේ හරියටම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොකළ යුතු බවට දක්වන ලද ක්‍රියාවකි.

එනම් උතුරු ජනතාවගේ ජන්ද බලය අහිමි කිරීම වක්‍ර ලෙස සාධාරණය කිරීමයි.

මෙම තීන්දුව ලැබුණූ සමයෙහි මැතිවරණ කොමිසමේ නීති නිලධාරියාව සිටි දැන් රාජපක්ෂ විසින් එහි ප්‍රධානියා බවට පත් කර ඇති නිමල් පුංචිහේවා එම ක්‍රියාව අගයමින් උත්වයක්ද සංවිධානය කර තිළිණයක්ද ලබා දීම මගින් කියන්නේ ද ත්‍යාගරාජාගේ සදාචාර විරෝධී ක්‍රියාව තමන්ද අනුමත කරන බවද?

ත්‍යගරාජා  දේශපාලන ඇබිත්තයකු බව නොදන්නා අයකු නැත. එසේ නමුත් කළක් මානව හිමිකම් ක්‍රියාධරයකු වූත් මැතිවරණ කොමිසම එම නඩුවට මුහුණ දුන් අවධියෙහි නීති උපදෙස් ලබා දීම බාරව සිටි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගේ මේ භූමිකාව අප තේරුම් ගන්නේ කෙසේද?

නීතියේ ආධිපත්‍ය රාජපක්ෂ ආධිපත්‍ය බවට පත්ව ඇති බවද?

තවද ජනාධිපතිට අවශ්‍ය පරිදි මැතිවරණ කොමිසමේ සාමාජිකයකුට ඉල්ලා අස්වන තැනට වැඩ සැලසීමත් ඉන් අනතුරුව තම කැමැත්ත පරිදි වෙනත් අයතු එකැනට පත් කිරීමත් මගින් පෙන්වන්නේ ස්වාධීන කොමිෂන් සභාවන්ට පත්ව ඇති වින්නැහියයි.

මෙම නව පත් කිරීම සඳහා නිමිකව හෝ පාර්ලිමේන්තු කමිටුවෙහි අනුමැතිය ගත්තේද නැත්ද යන්න අප දන්නේ ද නැත.

ඊළඟට බලය ලැබෙතැයි අන්ද මන්ද වී සිටින විපක්ෂ නායක හෝ මේ ගැන වචනයක්වත් කියා නැත.

ඇතුගල විසිනි.

Archive

Latest news

Related news