තරුණයින් 11 දෙනෙකු  පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින්  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ  ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට  නීතිපතිවරයා  ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු  කල රිට් පෙත්සම විභාගයට නොගෙනම  නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද  ( 10) තීන්දු කළ බව මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයකු ට එරෙහිව අධිචෝදනා  ඉදිරිපත්  කිරීමේ හෝ නොකිරීමේ  අභිමතානුසාරී බලය නීතිපතිවරයා සතුවන බැවින්   අධිකරණය ඊට  මැදිහත් නොවන බව  එහිදී  නියෝගය ඉදිරිපත් කරමින්  අභියාචනාධිකරණ විනිසුරු  සෝභිත රාජකරුණා මහතා සඳහන් කර තිබේ.

තවද හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත  කරන්නාගොඩට එරෙහි  අධිචෝදනා  පවත්වාගෙන  නොයාමට හේතු වූ කරුණු ඇතුළත්ව නීතිපතිවරයා ඉදිරිපත් කල  රහසිගත    වාර්තා දෙකක්   අධිකරණය  සලකා බැලූ අතර    ඔහුට එරෙහිව  අපරාධ චෝදනා පවත්වාගෙන යාමට තරම්  සාධාරණ  හේතු   නැති බව එහි  සදහන් වන බව  ප්‍රකාශ කරන ලදී.

මෙම රහස්‍ය වාර්තා ප්‍රසිද්ධ කර නැති බැවින් ඒවායේ අඩංඟ කරුණු මහ ජනයාට හෝ විනිදිත පාර්ශවයට හෝ දැන ගැනීමට නැත.

අදාළ නියෝගය නිකුත් කිරීම සඳහා  පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවනු ලැබ තිබුණි.

මෙම පෙත්සම විභාගයටගැනීමට තරම්  නඩු නිමිත්තක්  ඉදිරිපත් කිරීමට  පෙත්සම්කාර  පාර්ශවය  සමත් වී නැති  බව ද එහිදී  සඳහන් කර තිබේ.

පෙක්සමිකාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද, මෙයට පෙර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද බී වාර්තා වල සදහන් වූයේ තරුණයින් 11 දෙනා ගන් සයිට් කඳවුරේ රඳවා සිටි බව සන්ත  කරන්නාගොඩ දැන සිටි බවයි.

මෙම තරුණයින් රඳවා සිට ිබව දැන සිටි නමුත් ඔවුන්ගේ ජීවිත බේරා දීමට ඔහු පියවර නොගත් බව පෙක්සම්කරැවෝ කියා සිටියහ.

මෙම නඩුව අන්තර් ජාතික වැදගත්කමක් උසුලයි. මන්ද යත් මෙම තරුණයින් 11 දෙනා පැහැරගෙන අතුරුදහන් කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධානයට ද ලකිව ඇති නිසාය. අහස් වාර්තා මත සැකකරුවන් නිදිහස් කිරීම නීතියේ ආධිපත්‍යයෙහි විවෘත බව පිළිබද ප්‍රශ්ණයක් විය හැකි බව නීති අංශ පවසති.

සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී  පෙරේරා,  ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර්  වීරසිංහ,  දොන් මර්වින් ප්‍රේමලාල්  වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම  පෙත්සම්  කරුවෝ  වූහ..

නීතිපතිවරයා  සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්  වසන්ත  කරන්නාගොඩ මහතා ට එරෙහිව ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට   නීතිපති වරයා ගත් එම තීරණය  අසාධාරණ,  අත්තනෝමතික  නීතිවිරෝධී  තීරණයක් වන බැවින්  එය  අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස  නීතිපතිවරයා ට බල කරන  රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිට තිබුණි.

පෙත්සම්කරුවන්  වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, සහ නීතීඥ අචලා සෙනෙවිරත්න  පෙනී සිටියහ.

වගඋත්තරකාර  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා  සහ නීතීඥ  සුගත් කලදේරා  පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක  සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

( ලංකාදීප වාර්තාවක් ද ඇසුරිණි)