Saturday, April 20, 2024

නීතිපති පරාදයි; මව්වරු දිනුම්: කරන්නාගොඩ එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

ඡායාරූපය: පසුගිය සිකුරාදා, ඊයේ සහ අද අධිකරණය ඉදිරිපට නීතිපතිට විරුද්ධ උද්ඝෝෂනයේ යෙදුන මව්වරු ඇතුලු පිරිස. මෙම උද්ඝෝෂන සංවිධානය කරන ලද්දේ  අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසිනි.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) ප්‍රතික්ෂේප කළේ ය.

ඔහුට එරෙහි අධිචෝදනා තවදුරටත් ඉදිරියටත් පවත්වා ගෙන යාමක් හෝ සාක්ෂි මෙහෙයවීමක් නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින් අධිචෝදනා පවත්වාගෙන නොයෑමට අවසර ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ලොහාන් අබේවික්‍රම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමෙන් පසුව යම් විත්තිකරුවෙකුට එරෙහිව පවතින අධිචෝදනා ඉල්ලා අස් කර ගන්නේ නම් නීතිපතිවරයා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට හෝ ඔහුගේ අත්සන සහිතව ලිඛිතව ඉල්ලීම කළ යුතු බව අධිකරණය අවධාරණය කළේ ය.

විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ, තම අධිකරණය හමුවේ වාචිකව කරන එවැනි ඉල්ලීමකට අවසර ලබා දිය නොහැකි බව පෙන්වා දෙමිනි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකරු වන්නේ වසන්ත කරන්නාගොඩ මහතායි.

මේ අතර අතුරුදන්වූ තරුණයින් 11 දෙනාගේ ඥාතීහු අද (02) උදෑසන නීතිපතිවරයා මුණ ගැසීමට අලුත්කඩේ නීතිපති දෙපාර්තුමේන්තුව වෙත පැමිණියහ.

එම අවස්ථාවෙදී පොලීසිය ඔවුන්ව වැළැක්වීමත් සමග මෙම පිරිස එම දේපාර්තුමේන්තුවේ පිවිසුම් මාර්ගයේ රැඳී විරෝධතාවක නිරත විය.

NewsFirst.

Archive

Latest news

Related news