Friday, April 19, 2024

පාස්කු ප්‍රහාරය: නිලන්ත ජයවර්ධන ඉන්න ඕන සාක්ෂි කූඩුවේ නොවෙයි, විත්ති කූඩුවේ – කාදිනල් මැල්කම් රංජිත්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන  2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කර තිබීම  පිළිගත නොහැකි බවත්, කළ යුත්තේ  ඔහුට එරෙහිව පාස්කු ප්‍රහාරය වෙනුවෙන් නඩු  පැවරීම බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්  ප්‍රකාශ කරයි.

පසුගිය දා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්  නීතිඥ හරිගුප්ත රෝහණධීර  කියා සිටියේ නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාර පිළිබඳ නඩුවේ රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් කරන බවයි.

මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි මෙහෙය වූයේ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන බව ප්‍රකාශ කළ කාදිනල්වරයා එම ප්‍රහාරය පිළිබඳ සත්‍ය වසං කිරීමට  ක්‍රියා කර ඇතැයි නිලන්ත ජයවර්ධනට චෝදනා කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ 24 දින මාධ්‍ය අමතා කතා කරමිනි.

මඩකලපුව වව්නතිව් ප්‍රහාරය පාස්කු ප්‍රහාරයේ නායක සහරාන් හෂීම්ගේ ජාතික තව්හිද් ජමාත් (NTJ) කණ්ඩායම විසින් කර ඇති බව දැන දැනම එය එල්.ටී.ටී.ඊ. සංවිධානයට මත පැවරීමට  නිලන්ත ජයවර්ධන හිතාමතාම  උත්සාහ කළ බවත් කාදිනල්වරයා පවසයි.

මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු ඝාතනය කර ඔවුන්ගේ ගිනිඅවි පැහැර ගන්නා ලද්දේ 2018 නොවැම්බර් 30 දිනය.

නිලන්ත ජයවර්ධන යටතේ තිබූ රාජ්‍ය බුද්ධි සේවය පමණක් නොව යුද හමුදා බුද්ධි අංශ විසින්ද වාර්තා දෙකක්ම මගින් කියා තිබුණේ එම ප්‍රහාරය එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු විසින් කරන ලද බවයි.

ඒ බව සනාථ කිරීම පිනිස පොලීසිය සැකකාර දෙමළ ජාතිකයාගේ කබායක් අසළ බොක්කුවක් යට දමා, පොලිස් බල්ලන් ඔහුගේ නිවසට යැවීමටද ක්‍රියා කර තිබුණි.

වැසි සහිත තෙදිනකට පසු හමු ළුූ බව කියූ එම කබාය තෙමී නොතිබුණ අතර  පොලිස් සුනඛයාට ඉව ඔස්සේ ගමන් කළ හැකි වූයේ ඒ්  නිසාය.

‌එම දිනවලම මෙම ප්‍රහාරය එල්ටීටීඊයට සම්බන්ධ නැති බවට එවකට ආරක්ෂක ලේකම් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට රහස් පොලීසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නට කියා තිබුණි. ඒ බවට රවි සෙනවිරත්න විසින් සිය රාජකාරි දින පොතෙහි සටහනක් යොදා තිබේ. තවද මෙයට මාස ගණනාවකට පෙර මව්බිම පුවත්පතද එම පුවත පළ කර තිබුණි.

රාජ්‍ය බුද්ධි සේවය කී කිතාව ජනමාධ්‍ය හරහා ද තහවුරු කරවන ලද්දේ මෙළෙසය.

නිලන්ත ජයවර්ධන එම ප්‍රහාරය පිළිබද ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරන ලද්දේ ඇයිද යන්න හෝ ගෝඨාභය රාජපක්ෂ ඒ පිළිබඳව ඇත්ත දැන සිටියේ කෙසේද යන්න අදටත් අභිරහසකි.

පාස්කු ප්‍රහාරය පිළිබද නිලන්ත ජයවර්ධන ලද සහ ගන්නා ලද දුර කතන ඇමැතුම් සහ කෙටි පණිවිජ ඇතුළත් වූ ඔහුගේ ජංගම දුර කථනයේ දත්ත යළි සොයා ගැනීමට බැරි වන සේ මකා දැමීම ද බරපතල අභිරහසක්ව පවතී.

පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙහි නිර්දේශ නොසළකා ආණ්ඩුව ක්‍රියා කරන බව ද කාදිනල්  මැල්කම් රංජිත් ප්‍රකාශ කරයි.

එමඑම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව නිලන්ත ජයවර්ධනයට නඩු පැවරිය යුතු බව නිර්දේශ කර තිබේ.

මේ අතර ආණ්ඩුවෙන් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බැවින් පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කව්රුන්දැයි සෙවීමට තමන්ට අන්තර් ජාතික ප්‍රජාව වෙත යෑමට බල කෙරී ඇතැයි  ද කාදිනල්වරයා පවසයි.

මේ අරභයා තමන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත යවන ලද ලිපියට  ප්‍රතිචාර දක්වමින් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය පසිඳලීමට  දරන උත්සාහයට සහයෝගීතාව පළ කර ඇති බව ද කාදිනල්වරයා එම මාධ්‍ය හමුවෙහිදීම ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් 19 වැනි දින තම අත් අකුරින්  ඉතාලි බසින් ලියා එවා ඇති ලිපිය තමා ඉංග්‍රිසි බසට පරිවර්ථනය කළ බව කී කාදිනල්වරයා එහි කොටස් කිහිපයක් ද කියවී්‍ය.

“ආදරණීය සහෝදරය (Dear Brother) ,

කාදිනල් Bagnasco විසින් පසුගිය අගෝස්තු 24 වන දින ඔබගේ ලිපිය මා වෙත භාර දුනනේය‍. එහි ඔබ  2019 අප්‍රේල් 21 වන දින යථාර්ථය පිළිබඳව මහජනතාවට පැහැදිලි බවක් නොමැතිව පවතින බව අශෝබන තත්වය ඔබ මට පැහැදිලි කර ඇත. එසේම පසුගිය දින කිහිපයේදී එම කරුණුම සඳහන් කරන ලද නන්සියාචරයෙන් ද (එනම් වතිකානුවෙහි රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙය) පණිවිඩයක් පැමිණ තිබේ.

අගරදගුරු තුමනි, මේ තත්ත්වය මා දුකට පත් කරයි. වැඩි වැඩියෙන් යාච්ඤා කිරීමටත්, ඔබ සුදුසු යැයි සලකන ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටීමටත් මම පොරොන්දු වෙමි. මම හෙට රාජ්‍ය ලේකම්තුමා සමඟ ඒ ගැන කතා කරන්නෙමි.

එදා කිතුනුවන්ගෙන් පළිගැනීමක් වළක්වන්නට තරම් ඔබ ධෛර්යවත් වූ ආකාරයත්, ඔබ අතර ඇති මිත්‍රත්වය ඔවුන් දැක බලා ගැනීම සඳහා ඉස්ලාමීය ප්‍රජාවේ ඉමාම් සමඟ ඔවුන් හමුවීමට ගිය ආකාරයත් මට මතකය. එඬේරෙකුගේ (එනම් අනෙකා කෙරෙහි කරැනාවන්ත විමේ)  ඒ ආදර්ශය මට අමතක නොවේ.

කරුණාකර මා කෙරෙහි විශ්වාසය තබා මෙතැන් සිට කළ යුතු හොඳම දේ සඳහන් කරන්න. ”

ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණය දේශපාලන අවමනා මත කඩා කප්පල්කරන බවත් එබැවින් ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලය කරා තමන් මෙම ප්‍රශ්නය වතිකානුව හරහා ගෙන යන බවත් මෙයට පෙර කාදිනල් මැල්කම් රංජිත් ප්‍රකාශ කර තිබුණි.

Archive

Latest news

Related news