Saturday, April 27, 2024

ත්‍රිකුණාමලය සහ මට්ටක්කුලිය බුද්ධි අංශ නිලධාරීන්ට දෙවිදියක සැලකිලි මහ මොළකරු නිසාද?

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ගන් සයිට් ගුහාවෙහි රඳවා තබා අතුරුදහන් කරන ලද තරුණයින් 11 දෙනා අත්අඩංඟුවට ගත් බවට චෝදනා ලැබූයේ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ය.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ යුද හමුදා බුද්ධි නිලධාරීන්ය.

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේද යුද හමුදා බුද්ධි නිලධාරීන්ය.

නඩරාජා රවිරාජ් ගාතනය සම්බන්ධයෙන් ද චෝදනා ලැබුවේ බුද්ධි නිලධාරීන්ය.

පසුගිය රජය අවධියෙහි මෙම බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංඟුවට ගත් කළ ජනාධිපති සිරිසේනගේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දක්වා වු බොහෝ දේශපාලනඥයින්ගේ පාන්ඩු කම්බල ශෛලාසන රත් විය.

“ කිසිදු රණ විරුවකු සිරගත කරන්නට ඉඩ දෙන්නේ නැත” යැයි සිරිසේන තප්පු ලෑවේය. ඔහු පිටුපසින් කී නොකී සංඝයාද මහසෝනුන්ද අමරසේකරලාද මහා ඝෝෂාවක් නැංවූහ.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මූලික තේමාවක් වූයේ බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කර ගැනීමය.

ජනාධිපති ගෝඨාභයගේ පළි ගැනීමේ කොමිසම එම බුද්ධි නිලධාරීන් නිදොස් කොට නිදහස් කර, පරීක්ෂණ  පැවැත් වූ රහස් පොලිස් නිලධාරීන් දංගෙඩියට දැක්ක වීමට  යෝජනා කළහ.

දැන් නීතිපති එම පියවර එකින් එක ක්‍රියාවට නමින් සිටී.

එසේ නමුත් දැන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 14 දෙනෙකුම මිනීමැරුමක් සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගෙන තිබේ. එම මිනී මැරුම ත්‍රිකුනාමල ගන්සයිට් අතුරුදහන් කරවීම් හා සමාානය.

මෙම සිදුවීම් දෙකෙහිම කිසිදු දේශපාලන හෝ යුද්ධමය සම්බන්දයක් නැත. අවස්ථා දෙකෙහිදී ම පැහැර ගන්නා ලද්දේ හමුදා වාහන  මගිනි.

ත්‍රිකුණාමල ඝාතන කරන ලද්දේ කප්පම් ගැනීමටය. තොටළග අරුණ ක්‍රීඩා සමාජයේ නායකයා සහ 37 හැවිරිදි තිදරු පියකු වු  අකිල සම්පත් රත්නසිරි පැහැර ගෙන ඝාතනය කරන ලද්දේ  පෙම් සබඳතාවයක් මුල් කොට ගෙනය.

ඝාතනය කරන ලද අකිල සම්පත්

මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ ගැමුණුහේවා බලකායේ මෝදර කදවුරට අනුයුක්ත බුද්ධි නිලධාරියෙකු වන කෝප්‍රල්වරයෙකු සමඟ සබඳතාවක් පැවත්වා ඇතැයි පොලීසිය වාර්තා කළේය.

අගෝස්තු මස 16 වන දා පැහැර ගැනුන අකිල සම්පත් ගේ් මළ සිරුර දින හතරකට පසුව අගෝස්තු මස 20 වැනි දා මෝදර කාකදූපතට ගොඩ ගැසුවේය. පොලිසියට අනුව එය ඉදිමී ගොඩට පැමිණියේ ඝාතනය සඳහා දෙන ලද උපදෙස් හරියටම ක්‍රියාත්මක නොකළ නිසාය. මුහුදට දැමිමට පෙර මළ සිරුරේ බඩ කපන ලෙස දෙන ලද උපදෙස ක්‍රියාත්මක කිරීමට ඝාතකයින්ට වේලාව මදි විය. බඩ කැපුවේ නම් සිරුර මුහුද පත්ලෙහි සදාකාලික අභිරහසක් සේ රැඳෙන්නට තිබුණි.

මමළ සිරුර මුහුදට දැමිමට පෙර බඩ කැපීම  නිල ඝාතකයින්ගේ ක්‍රමය බව කියනු ලැබේ.

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙන් අතුරුදහන් වූ තරුණයින් ඝාතනය කර බඩවල් කපා මහ මුහුදට දැමූයේ දැයි අයකු ප්‍රශ්න කරන්නේ ද මෙම භාවිතය නිසාය.

මෙම ඝාතනය සම්බන්ධයෙන්  මට්ටක්කුලිය යුද හමුදා ගැමුණුහේවා බලකායේ කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න ඇතුලු නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකු  රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

පොලීසිය කියන්න්නේ මෙම තොටලඟ ඝාතනය ලුතිනන් කර්නල්වරයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය. තමා උතුරු නැගෙනහිර ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදුකර ඇති හෙයින් බන්ධනාගාරය තුළදී සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඔහු රණ විරුවෙකි.

හරියටම ගන් සයිට් අතුරුදහන් කරවීම් පරීක්ෂණය වැනිය.

ත්‍රිකුණාමල ඝාතනයන්හිදී චූදිතයින් කී පරිදිම මෙම ඝාතනයට තමන් සම්බන්ධ නැතැයි මෙම බුද්ධි අංශ සහ නාවික හමුදා පිරිස් කියති.

දැන් අපේ මූලික ප්‍රශ්ණයට එමු. එනම් එදා යුද හමුදා සහ බුද්ධි අංශ සාමාජිකයින් සිරගත කිරීමට එරෙහිව මාරාන්තික උද්ඝෝෂන දියත් කළ ඥණසාරලාගේ සිට රාජපක්ෂලා දක්වා මට්ටක්කුලිය යුද හා බුද්ධි නිලධාරීන් වෙනුවෙන් පාරට බැස නැත්තේ ඇයිද යන්නයි.

අද (21) දින ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන තවත් බුද්ධි අංශ නිලධාරියකු විසින් කරන ලද අපරාධයක් වේ. එය ද කිසිදු රාජපක්ෂ කෙනෙකුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයට නොදැනෙනවා ඇත.

මට්ටක්කුළිය ඝාතනය හැර මෙහි සඳහන් අන් සියලු ම ඝාතනයන්හිදී පොලිස් පරීක්ෂණ අනුව එම ඝාතනයන් පසුපස මහ මොළකරුවකු සිටින බව පෙනෙන්නට විය.

එම ඝාතනයන් හොදින් සිතා මතා සංවිධානය කරන ලද එවා විය. එකළ අන්තවාදී සංඝයාද කී නොකී දේශපාලකයෝද හමුදා නායකයෝද එම අත්අඩංඟුවට ගැනීම් වලට විරුද්ධ වූයේ මහ මොළකරු රැක ගැනීමට මිස යුද සහ බුද්ධි අංශ නිලධාරින් රැක ගැනීමට නොවේද යන ප්‍රශ්ණය දැන් අප ඉදිරියේ තිබේ.

තීරණය ඔබ සතුය.

සේ.පියවරධන

Archive

Latest news

Related news