Friday, May 17, 2024

අඟුණුකොලපැලැස්ස: අරක්කු බෝතලයකට මැරවර  ජේල් ගාඩ් ප්‍රහාරයක්! (යාවත් කාලීන කරන ලදී)

කුඩා ගෙස්ට්හවුස් එකක හිමිකරුවන් වූ අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ යන දෙදෙනාට පසුගිය සතියේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර නියාමකයින් විසින් බරපතල ලෙස පහර දී තිබේ.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මේ බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත කියා සිටියේ ය.

ඔහුට අනුව, දාමරික දකුණු ඉන්දියානු සිනමා පටයක් සිහියට නගන සිදුවීම මෙසේ ය:

“අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ පවත්වා ගෙන යන කුඩා ගෙස්ට්හවුසිය මත්පැන් පානය කිරීමට පැමිණෙන බන්ධනාගාර නිලධාරීන් අතර ජනප්‍රිය ය. පසුගිය සතියේදී බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙක් එහි ගොස් අරක්කු බෝතලයක් නොමිලයේ ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. ඔවුන් දෙදෙනා නොමිලයේ අරක්කු දීම ප්‍රතික්ෂේප කර ඇත.

එම අවස්ථාවෙහිදී   බන්ධනාගාර නිලධාරීහු ගෙස්ට් හවුසියේ සේවකයෙකුගේ ස්කූටරයක යතුර බලහතකාරයෙන් රැගෙන ඒ ස්කූටරයෙන්ම යන්නට ගොස් තිබේ.

ඔවුන් එළෙස ස්කූටරය පැහැර ගත්තේ රාජපක්ෂ සහ කුමාරසිංහ බන්ධනාගාර නිලධාරීන් පසු පසින් ගෙන්වා ගැනීමටය.

අඟුණුකොලපැලැස්ස නගරයේ දී ඔවුහු මුහුණට මුහුණ හමු වූහ. එවිට ස්කූටරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා සහ බන්ධනාගාර නිලධාරින් අතර සුළු ආරවුලක් ඇති විය.

බන්ධනාගාර නිලධාරිහු නගරයේ පොලිසියට ඔවුන් දෙදනාට විරුද්ධව පැමිණිල්ලක් කළෝය.  පොලීසිය වහාම ගෙස්ට්හවුස් හිමියන් අත් අඩංඟුවට ගෙන විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කළේය.

ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළ විනිසුරුවරයා ගෙස්ට්හවුස් හිමියන්ට විශේෂ ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස ප්‍රකාශ කරන ලදී. එසේ නමුත් ඔවුන් දෙදෙනාට සිර ගෙදරදී සිටියදී බන්ධනාගාර නියාමකයෝ පිරිසක් වධ හිංසා පමුණුවමින් අනුකම්පා විරහිතව පහර දුන්හ.

මෙම පහරදීම කොතරම් දරුණූ වී ද යත් රාජපක්ෂගේ තත්ත්වය බරපතල බවට පත් විය. ඔහුට දැඩි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී තිබේ.

කුමාරසිංහගේ තත්වය ස්ථාවර වන බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ පොලිසිය මේ සම්බන්ධයෙන් මේ තාක් කිසිදු පියවරක් ගෙන නැත.”

ශ්‍රී ලංකාවේ සැමට එක නීතියක් යන්න යථාර්තයක් බවට පත් කරන බව ජනාධිපති රාජපක්ෂ උජාරුවෙන් ප්‍රකාශ කලේ දින කිහිපයකට පෙරය.

නමුත් තවමත් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය තබා මරණ බවට තර්ජනය කළ දාමරිකයා ඔහුගේ ඇමැති මණ්ඩලයේ සාමාජිකයෙකි.

එවැනි තත්වයක් යටතේ බන්ධනාගාර නියාමකයින් නීතිය අතට ගෙන මෙළෙස ක්‍රියා කිරීම පුදුමයට කරුණක් නොවන බව මානව හිමිකම් නීතිඥවරියක ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත ප්‍රකාශ කළාය.

මේ අතර ලංකා ඊ නිව්ස් මේ සම්බන්දයෙන් දීර්ඝ වාර්තාවක් පළ කර තිබේ:

බන්ධනාගාර රැඳවියන් දෙදෙනකුට මාරාන්තික පහරදීම් සිදු කර ඉතාමත් දරුණු වධ හිංසාවට ලක් කළ බවට අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පෙන්වා දෙන්නේ පහරකෑමට ලක්වුවන් දෙදෙනා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර සිටියත් පහරදීම සිදු කළ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ අඟුණකොළපැලැස්ස නගරයේ පදිංචි ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ දෙදෙනාය.

බන්ධනාගාරයේදී කළ අමානුෂික පහර දිම හේතුවෙන් දුලන්ත රාජපක්ෂ මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙනි.

ඔක්තෝබර් 12 වැනි අඟහරුවාදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා සඳහන් කළේ බීමත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතදී ඇතිකරගත් ගැටුමක ප්‍රතිළුලයක් ලෙස බන්ධනාගාරය තුලදී මෙම පහරදීම සිදු කර ඇති බවයි.

ඔහු පවසන පරිදි ඉකුත් 8 වැනිදා අලුයම් කාලයේදී බීමත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අඟුණකොලපැලැස්ස පිහිටි අවන්හලකට ගොස් නොමිලේ මත්පැන් ඉල්ලා තිබේ.

එම අවහන්හලේ හිමිකරු වන්නේ වධහිංසාවට ලක්වූ අයකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහයි.

මුදල් නොමැතිව මත් පැන් ලබා දීම අවන්හලේ සේවකයා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව බීමත් බන්ධනාගාර නිලධාරීන් සේවකයාට පහර දී ඔහුට අයත් යතුරු පැදියක යතුර රැගෙන ගොස් තිබේ.

පසුදා උදෑසන එම බන්ධනාගාර නිලධාරීන් පිරිස සහ අවන්හලේ පිරිස අතර අඟුණකොලපෑලැස්ස නගරයේදී ගැටුමක් සිදුව ඇත.

සුදේශ් නන්දිමාල් සිල්වා පවසන්නේ එම ගැටුමේදී දෙපාර්ශවයේම පිරිස් පහරකෑමට ලක් ව ඇති බවයි.

ගැටුමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් අවන්හලේ පිරිසට එරෙහිව කර තිබෙන පැමිණිල්ලක් අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ යන දෙදෙනා ඔක්තෝබර් 9 වැනිදා පොලීසියට කැඳවා තිබේ.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කර තිබේ. එහිදි අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනා ඔක්තෝබර් 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

රැඳවියන් මෘගයන් අතටම බාර දීලා..
මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්නගෙන් විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි සහ නීතිඥ ප්‍රදීප් රාජපක්ෂ එහිදී ඉල්ලා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් තම සේවා දායකයන් දෙදෙනාට චෝදනා ඉදිරිපත් කොට ඇති බැවින් බන්ධනාගාර ගත කිරීමේදී ඔවුන් ගේ ආරක්ෂාව සලසන ලෙසයි.

නීතිඥ වරුන්ගේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය සැකකරුවන් දෙදෙනාට ආරක්ෂාව සලසන ලෙසට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.

සැකකරුවන් ගේ ආරක්ෂාව සඳහා ඔවුන් මාතර බන්ධනාගාරයේ රදවා තබන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ නමුත් එදින මෙම රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගෙන ගොස් පහර දී ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසන්නේ එහිදී සැකකරුවන් දෙදෙනා අමානුෂික ලෙස පහරදීමට ලක් කර තිබෙන බවයි.

“මාරාන්තික පහරදීම් වලට මේ ගොල්ලන්ව ලක් කරනවා. ඉතාමත් දරුණු වධ හිංසන වලට ලක් කරලා මේ දෙදෙනාව මේ වෙනකොට ඉතාමත්ම මරණාසන්න තත්වයට පත් වෙලා රෝහල් ගත කරලා ඉන්නවා. ”

ඔහු වැඩි දුරටත් සදහන් කළේ දුලන්ත රාජපක්ෂ මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අමිල කුමාරසිංහ මාතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අමිලට සහ දුලන්තට ඇප..
රැඳවියන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම මෝසමක් මඟින් යළි නඩුව ඔක්තෝබර් 11 වෙනිදා කැඳවා බන්ධනාගාරය තුලදී සිදුවු පහරදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.

එසේම ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම පරීක්ෂණ අඟුණකොළපැලැස්ස බන්ධණාගාරයෙන් ඉවත් කරන ලෙසයි.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් එම පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළ බව වැඩි දුරටත් වාර්තා වේ.

Archive

Latest news

Related news