Friday, May 17, 2024

යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත හිමිකම් අපයෝජන කුණාටූවකට උපත දෙනු ඇත – බැසිල් ප්‍රනාන්දු

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා (ආණ්ඩුව විසින් ගැසට් කර ඇති) යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත බරපතල අපයෝජන සඳහා අවකාශයක් විවෘත කරනු ඇත.

සාරාංශයක් වශයෙන් පනත් කෙටුම්පත මඟින් යෝජනා කරන්නේ සැකකරුවෙකු/සැකකාරියක හෝ චුදිතයෙකු අධිකරණයෙහි පෞද්ගලික පෙපෙ සිටීම ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට ඉඩ සැලසීමයි. නඩු විභාගය තුළදී පවා චූදිතයෙකුගේ පෞද්ගලික පැමිණීම බැහැර කිරීමේ අයිතිය ඇතුළුව එම මූලධර්මය මහාධිකරණ විනිසුරුවරුන් වෙත ද ලැබේ.

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ සැකකරුවන් සම්බන්ධයෙන් මෙසේ විය හැක්කේ මන්දැයි  නිතර නිතර සිදු වූ අපයෝජනයන් පිළිබඳ වාර්තා වී ඇති සමහර අවස්ථා සිහිපත් කිරීමෙන් අපට පෙන්වා දිය හැකිය.

පොලිස් විජ්ජා කිහිපයක්

ලලිත් රාජපක්ෂ (SCFR 267/2002) නමැති තරුණයෙකුට කඳාන පොලිස් ස්ථානයේදී දරුණු ලෙස වධ හිංසා පමුණුවනු ලැබූ අතර ඒ හේතුවෙන් ඔහු සිහිසුන් කොමා තත්වයට පත් විය. ඔහුගේ සීයා සහ එකළ ප්‍රදේශයෙහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීම නිසා ඔහු රාගම රෝහලට යවන ලදුව, එම තුවාලයන්හි බරපතලකම අවබෝධ වූ ඔහු වහාම කොළඹ මහ රෝහල වෙත යොමු කළේය. සති දෙකක් ඔහු එම සිහිසුන් තත්වයේම පසු විය. සැකකරු රෝහලට යැවීමෙන් පසු පොලිසිය වැඩබලන මහේස්ත්‍රාත්වරයෙකු හමු විය. මහේස්ත්‍රාත්වරයාගේ පරීක්‍ෂණය සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට නොහැකි වූ හෙයින් සැකකරු පොලිස් වාහනය තුළ සිටින බව මවා පාමින් සැකකරු සති දෙකක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබා ගන්නා ලදී.

මෙම කරුණ පසුව සැකකරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ අයදුම්පතක වාර්තා කර තිබුණි. ඒ පිළිබඳව පරීක්‍ෂා කළ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම වැඩබලන මහේස්ත්‍රාත්වරයා තවදුරටත් කටයුතු කිරීම වැළැක්වීමට නියෝග කළේය.

තවත් අවස්ථාවක (චමිල බණ්ඩාර එච්සී 231/2005 මහනුවර නඩුව) අංකුඹුර පොලිසිය මඟින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන කදම්බයක එල්ලා දරුණු ලෙස පහර දුන්නේය. මෙම අවස්ථාවේදී පොලිසිය වෙනත් පුද්ගලයෙකු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර විත්තිකරුගේ කිසිදු තුවාලයක් නොමැති බවට සහතිකයක් ලබා ගත්තේය. මෙම වෛද්‍ය වාර්තාව රැගෙන මහේස්ත්‍රාත්වරයෙකු වෙත ගිය පොලිසිය සැකකරු ඉදිරිපත් නොකර ඔහුව රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝගයක් ලබා ගත්තේය. පසුව මෙම කරුණ බොහෝ තැන්හිදී මතු කරන ලදුව  පසුව 1994 අංක 22 දරණ වධහිංසා පැමිණවීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කෙරුණි. එහිදී අධිකරණය විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වෛද්‍යවරයා ප්‍රහ්ණ කිරීමට කිරීමට පවරන ලදී. තමා ඉදිරිපිටට පුද්ගලයෙකු ඉදිරිපත් කළ බව වෛද්‍යවරයා පැවසුවද ඇත්ත වශයෙන්ම එම සැකකරුම තමා ඉදිරියට ගෙන ආ බව ඔහුට තහවුරු කිරීමට නොහැකි විය.

බොහෝ අවස්ථාවලදී වධ හිංසාවට ලක් වූ බව කියන අය පැමිණිලි කර ඇත්තේ ඔවුන් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ගෙන යාමට පෙර පොලිසියේ දී සිදු වූ වධ හිංසා හෝ අයුතු ලෙස සැලකීම ගැන පැමිණිලි කළහොත් නැවත පොලිසියට ගෙන එන සහ නැවත වධ හිංසා පමුණුවනු බවට දැඩි ලෙස බිය ගැන්වූ බවයි.

එසේම සැකකරු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් නොකර හෝ වෛද්‍යවරුන් ලවා රෝගීන් පරීක්‍ෂා නොකර වෛද්‍යවරුන්ගෙන් පොලිසිය වෛද්‍ය වාර්තා ලබා ගත් බවට වධ හිංසාවට ලක්වූ බව කියන අය නිතරම පැමිණිලි කරන පැමිණිල්ලකි.

එක් ප්‍රසිද්ධ නඩුවක, ශ්‍රියානි සිල්වාට එරෙහිව ඉද්දමල්ගොඩ (SCFR 471/2000), දරුණු ලෙස පහර කෑමට ලක් වූ තරුණයෙකු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලදුව ඔහුගේ සිරුරේ  කිසිදු තුවාලයක් නොමැති බවට සහතිකයක් නිකුත් කෙරිණි. වාර්තාව පදනම් කරගෙන මහේස්ත්‍රාත්වරයා විත්තිකරු පරීක්‍ෂා නොකරම රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. එදිනම රාත්‍රියේදී විත්තිකරු බන්ධනාගාරය තුළදී මිය ගියේය.

මේ ආකාරයේ අවස්ථා සිය ගණනකින් උපුටා දැක්විය හැකිය. යෝජිත සංශෝධනයේ ඇති විධි විධානයේ බලපෑම පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක ආයතන විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇත්තේ ඒ නිසාය.

ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීම සාමාන්‍ය දෙයක් වන අතර මෙම කරුණ දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද තහවුරු වී ඇත. මෙම යෝජිත සංශෝධනය යටතේ සැකකරු අධිකරණයට නොපැමිනවීම සඳහා අදාළ පොලිස් ස්ථානයක භාර නිලධාරියෙකුට ඉල්ලීමක් කළ හැකිය. මෙය නිසැකවම පොලිස් ස්ථාන තුළ වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම වැඩි කිරීමට හේතු වන බව නිසැකය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ද වධහිංසා පැමිණවීම මෙන්ම පොලිස් ස්ථාන තුළදී සිදු කරන ලද ඝාතන ගැන සටහන් කර තිබේ.

සැකකරුවකුගේ පෞද්ගලික පැමිණීම අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා හේතු වශයෙන් දක්වා හැකි එක් හේතුවක් නම් විත්තිකරු/විත්තිකාරියගේ ජීවිතයට තර්ජනයක් හෝ තර්ජනයක් තිබිය හැකි බවය.

සැකකරු.සැකකාරිය පෞද්ගලිකව අධිකරණය හමුවට පැමිණීම නඩුවක් විභාග කරන නිලධාරීන් දුෂ්කරතාවයකට හෝ අපහසුතාවයකට පත් විය හැකි යැයි හැඟෙන විට එවැනි ප්‍රකාශයක් පොලිස් ස්ථානයක් භාර නිලධාරියෙකුට පහසුවෙන් කළ හැකිය.

ඒ හා සමානවම අධිකරණය හමුවට සැකකරුවක/සැකකාරියක ඉදිරිපත් නොකිරීම සඳහා සංසෝධන පනත් කෙටුම්පතෙහි දී ඇති තවත් හේතු මෙසේය.

සැකකරු/සැකකාරිය හෝ විත්තිකරු/විත්තිකාරිය විසින් සිදු කරන ලදැයි කියන “වරදට මහජන ප්‍රතිචාරයක්” ඇතිවීම මගින් සාමය කඩවීමක් සිදු වීමට  ඇති ඉඩ;  සැකකරු හෝ විත්තිකරු රැඳවුම් භාරයෙන් පලා යාමට ඉඩ තිබීම; නැතහොත් බලහත්කාරයෙන් ඔහු රැඳවුම් භාරයෙන් පැහැර ගැනීම; සැකකරු හෝ විත්තිකරු විසින් අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීමේ හැකියාව.

මෙවැනි අවස්ථා ඇතයි අසත්‍ය වාර්‍තා පොලිසියට පහසුවෙන් ඉදිරිපත් කළ හැකිය.

සැකකරුවෙකු අත්අඩංගුවේ සිටියදී ඔහුට/ඇයට වීඩියෝ හෝ එවැනි ක්‍රම මඟින් පෙනී සිටිය හැකි බවට සංසෝධන කෙටුම්පතෙහි එන විධිවිධානය නිසා වැඩි වෙනසක් සිදු නොවේ; මන්ද යත් අත්අඩංඟුවෙහි දී පළිගැනීම් වලට තුඩු දිය හැකි බැවින් සිය තත්වය ගැන සත්‍ය ප්‍රකාශයක් කිරීමට ඔහුට/ඇයට නිදහසක් රදවා සිටින ස්ථානයෙහි දී  තිබිය නොහැකි ය.

විවෘත උසාවියකට පුද්ගලයෙකු ගෙන ඒමේ අදහසම තමාට හෝ නීතීඥවරයා මාර්ගයෙන් ඔහුට/ඇයට වධ හිංසා පැමිණවීම, අයුතු ලෙස සැලකීම හෝ ඔහුට/ඇයට වැදගත් වන වෙනත් කරුණක් පිළිබඳව හෙළිදරව්වක් කිරීමට ඉඩ සලසා දීමයි.

සැකකරුවන්/සැකකාරියන් අධිකරණ නිලධාරියෙකු ඉදිරිපිටට ඉදිරිපත් කිරීම අපරාධ චෝදනා ලැබූ පුද්ගලයින් උදෙසා සාධාරණ ලෙස කටයුතු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ කරන ලද අරගල තුළින් පූජනීය තත්ත්වයක් ලබා ඇති අයිතියකි. සැකකරුවෙකු/සැකකාරියක හෝ චූදිතයෙකුගේ අපරාධය සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන තුරු නිර්දෝෂීය යන සංකල්පය සමඟ බැඳී පවතී.

“සැකකරු/සැකකාරිය හෝ විත්තිකරු/විත්තිකාරිය විසින් සිදු කරන ලදැයි කියන වරදට මහජන ප්‍රතික්‍රියාව” මගින් සාමය උල්ලංඝනය වීමට හේතු විය හැකි බවට සඳහන් කිරීම  පුද්ගලයෙකු උසාවියට ​​ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා ඉතා මනෝමූල නිර්ණායකයක් ආදේශ කිරීමකි.

කිසියම් අපරාධයක් නිසා මහජන විරෝධයක් ඇති වීද යන්න තීරණය කළ යුත්තේ කවුද? පුද්ගලයෙකු උසාවියට ​​ගෙන ඒම වැළැක්වීම සඳහා මැර කණ්ඩායම් හෝ කවර හෝ උනන්දුවක් ඇති පාර්ශවයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඇති කිරීමට සංවිධානාත්මක උත්සාහයන්ට  මෙයින් මඟ නො පෑදෙනු ඇතිද?

ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසය පුරාම විවිධ ආකාරයේ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එවැනි සියලු පුද්ගලයින් සඳහා ආරක්ෂාව සැපයීමට අධිකරණය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමත් වී ඇත.

යුක්තිය හා සම්බන්ධ කරුණු සඳහා උසාවි වෙත ගෙන එන පුද්ගලයින්ට ආරක්‍ෂාව සැපයීම රජයේ යුතුකම වන යෝජිත සංශෝධනයේ එක් මූලික අඩුපාඩුවක් වෙත මෙම කරුණ අප ගෙන යයි.

යෝජිත නීතිය සැකකරුවන්ට එවැනි ආරක්‍ෂාවක් ලබා දීමට රජයට නොහැකි බව හෝ සූදානම් නැති  බව පිළිගැනීමකි. අධිකරණය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා රජයට ආරක්‍ෂාව ලබා දිය නොහැකි නම් එහි ප්‍රතිඵලය වනුයේ යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලියම අස්ථාවර වීමයි.

මෙම යෝජිත සංශෝධනය මඟින් හේබියස් කෝපස් සම්බන්ධ රීට් පදනම් කරගත් මූලධර්ම තර්ජනයට ලක් කරයි. එමඟින් චූදිතයින්ට තම පුද්ගලයාගේ ආරක්‍ෂාව සඳහා මූලික අයිතිවාසිකම අහිමි වන අතර යුක්තිය පසිඳලමින් ඒවාට පිළියම් යෙදීම ද අවහිර සිදු කෙරේ.

ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු කිරීමේ කුප්‍රකට අකීර්තියක් ඇති රටකි. යෝජිත සංශෝධනය මඟින් එවැනි අතුරුදහන්වීම් සඳහා පහසුකම් සැලසීමේ වාතාවරණයක් ද ඇති කළ හැකිය.

විවෘත අධිකරණ වල නඩු විභාග කිරීමේ මූලධර්මය කෙළෙසීම

මෙම යෝජිත සංශෝධනයේ තවත් මූලික අඩුපාඩුවක් නම් විවෘත අධිකරණ වල නඩු විභාග කිරීමේ මූලධර්මය උල්ලංඝනය වීමයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 14 වැනි වගන්තියට අනුව, නිදහස්, සාධාරණ හා ප්‍රසිද්ධ නඩු විභාගයක් සඳහා සියලු චූදිතයින්ට අයිතියක් ඇත. මේ අනුව යෝජිත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් ද උල්ලංඝනය කරයි.

යෝජිත සංශෝධනය විශේෂයෙන්ම දේශපාලන විරුද්ධවාදීන්, මාධ්‍යවේදීන් සහ රැස්වීමේ හා සංගම් කිරීමේ අයිතිය භාවිතා කරන අනෙක් අයට එරෙහිව භාවිතා කළ හැකිය. එවැනි පුද්ගලයින් නිහඬ කිරීමට සහ මහජනයාට ඔවුන්ගේ අදහස් හා ඉදිරි දර්ශන දැන ගැනීම වැළැක්වීමේ මාධ්‍යයක් ලෙස මෙය භාවිතා කළ හැකිය.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එල්ල කැරෙන දැවැන්ත ප්‍රහාරයක්

මේ අනුව, මෙම සංසෝධනය/නීතිය ක්‍රියාත්මක වුව හොත්, පොදු අවකාශය සීමා වී පුද්ගලයන්ගේ පමණක් නොව සමස්ත සමාජයේ ම මූලික ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ භූමිකාව දැඩි ලෙස සීමා වනු ඇත. අපේක්‍ෂා කළත් නැතත් යෝජිත සංශෝධනය, සාධාරණ නඩු විභාගයට ඇති අයිතිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එල්ල කැරෙන දැවැන්ත ප්‍රහාරයක් වනු ඇත.

බැසිල් ප්‍රනාන්දු විසින් ඉංග්‍රිසි බසින් පළ කරන ලද ලිපියක සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි

කෙටුම්පත් පනත ඉංග්‍රීසි බසින් Code of criminal procedure A 117-2021_E

Archive

Latest news

Related news