Thursday, March 28, 2024

ගුරුවර-ගුරුවරියන්ගේ නැගිටීම සමාජ වෙනසක ආරම්භයක් – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා

ගුරුවරුන්ට නැවත නැවත පත්වන රජයන් ගෙන් ලැබෙන සැලකිල්ල, උනන්දුව සහ අවධානය අඩුවෙලා තිබෙනවා. ඒ නිසා තමයි ඔබතුමාලාට තිබෙන මෙම වැටුප් විෂමතාවය විවිධ රජයන් අවුරුදු 24 ක් තිස්සේ අමතක කරල තිබෙන්නේ. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට මේ රටේ තිබුණ පිළිගැනීම නැතිවෙලා. මුලින්ම මේ සැලකීම අඩු වුනේ කොහොමද යන්න පිලිබඳ විග්‍රහයක් කිරීම අවශ්‍යයයි. මෙම පිළිගැනීම නැතිවීම සම්බන්ධව පුවත්පත් හා යම්යම් අය ඇඟිල්ල දික් කරන්නේ ගුරුවරයාට හෝ විදුහල්පතිවරයාට. ඔවුන් කියනවා “වර්තමානයේ සිටින විදුහල්පතිවරුන්, වර්තමානයේ සිටින ගුරුවරුන් ඔවුන්ගේ ගෞරවය නැති කරගත්තා” කියලා. මෙය වැරදි සංකල්පයක්. ඒ වැරදි සංකල්පය ඕනෑකමින් මාධ්‍ය හා දේශපාලකයන් විසින් ජනගත කරනවා. එහි උච්ඡතම අවස්ථාව තමයි ඔබතුමන්ලාගේ උද්ඝෝෂණ කාලයේ දේශපාලඥයෙක් “මේ කාලකණ්නි ගුරුවරු” යැයි කල ප්‍රකාශය.

නිදහස් අධ්‍යාපනයේ පියා ගුරුවරයෙක්

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් එක්තරා කාලයක් දක්වා මේ ලංකාවේ හිටපු වැදගත් වෘත්තිකයන් පිරිසක්. ඒ වගේම වැදගත් සමාජමය කාර්යභාරයක් ඉටුකරපු කොටසක්. 1977 වර්ෂයෙන් පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදුවුනා. ඉන් පසුව තමයි ගුරුවරයාට සමාජයේ තිබෙන පිළිගැනීම, ගුරුවරයාගේ ආර්ථික ශක්තිය, ගුරුවරයා බැබළීම අඩුවුනේ. ඊට ප්‍රථම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලංකාවේ ඉහළම තනතුරු හොබවපු අය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම සභාපති සර් ඩී. බී. ජයතිලක මැතිතුමා ගුරුවරයෙක් වශයෙන් ජීවිතය ආරම්භ කලේ වෙස්ලි විද්‍යාලයෙන්. ඉන්පසුව ධර්මරාජ විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කරල තමයි දේශපාලන ජීවිතයට පිවිසියේ. එතුමාගේ දැනුම, ගුරු ජීවිතයේ දී ශිෂ්‍යන් හැසිරවීමේ හැකියාව, නායකත්ව හැකියාව, එතුමා දේශපාලන වේදිකාවේ පාවිච්චි කරල, ලංකාවේ ප්‍රධානතම තනතුර වන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති වශයෙන් 1937 දී පත් වුනා. ඊට ප්‍රථම එතුමා ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති හැටියට කටයුතු කලා. මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදීම 1937 සිට 1947 වනතුරු අධ්‍යාපනය පිළිබඳ කමිටුවේ සභාපති හැටියට කටයුතු කලේ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා. එතුමාත් ගුරුවරයෙක් හැටියට වෙස්ලි විද්‍යාලයේ සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කටයුතු කර, පසුව නීතිඥයෙක් වුනා. ගුරුවරයෙක් හැටියට ලැබුණු පන්නරය තුලින් තමයි එතුමා 1943 දී නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇතිකළේ.

ඔබතුමන්ලාගේ දරුවන් සමග දෙමව්පියන් සමග. දැන් මේ ප්‍රශ්නය ඔබ ඔවුන්ට ඉදිරිපත් කරන්න. මෙන්න මේ වගේ අසාධාරණකම් අපිට සිදුවෙලා තිබෙනවා කියන්න. එසේ කිරීමෙන් ඔබ්බට ඩී. බී. ජයතිලක මැතිතුමා, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා, විජයානන්ද දහනායක මැතිතුමා , බදුර්දීන් මුහමුද් මැතිතුමා, බී. වයි. තුඩාවේ මැතිතුමා වැනි ජනනායකයින් බිහි වූ වෘත්තියකින් නැවත ජනනායකයන් බිහි කිරීමේ අවශ්‍යතාවය දැන් නැවත පැන නැගී තිබෙනවා.”

දහනායක මහතාත් ගුරුවරයෙක්

1956 වර්ෂයේ ලංකාවේ විශාල සමාජ දේශපාලන විප්ලවයක් ඇති වුනා. එම විපර්යාසයට මූලික වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ ප්‍රධානතම කොටස ඉටුකරපු කොටසක් තමයි, ලංකාවේ ගම්නියම් වල පැතිර සිටි ගුරුවරු. බ්‍රිතාන්‍ය පාලනයෙන් පස්සේ ඇත්ත සමාජ නිදහසක්, ලබාගැනීම සදහා කරපු විප්ලවයේදී ගුරුවරයෙක් පත් වුනා ලංකාවේ අධ්‍යාපන ඇමති විදිහට. ඒ විජයානන්ද දහනායක මැතිතුමා. එතුමා ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයේ ගුරුවරයෙක්. එතුමා ගුරු වෘත්තියෙන් එහාට සිදුකළේ, දේශපාලනය පමණයි. එතුමා තේරුම් ගත්තා ළමයින්ට කෑම වේලක් දීමේ අවශ්‍යතාවය. බනිස් දුන් නිසා විජයානන්ද දහනායක මැතිතුමා ආදරයෙන් හැදින්වුණේ, “බනිස් මාමා” කියලා. එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් පසුව, විජයානන්ද දහනායක මැතිතුමා අගමැති පුටුවට පත්වූවා. ගමේ හිටපු රෙද්ද බැනියම අඳින සාමාන්‍ය ගුරුවරයාට තිබුණ පිළිගැනීම විශාල වශයෙන් වෙනස් වුනා 1956 සමාජ විප්ලවයෙන් පසුව. 1956 සිට 1977 දක්වා කාලය තමයි ලංකාවේ පොදු ගුරුවරයාගේ ස්වර්ණමය යුගය.මේ කාලයේ ගුරුවරුන් සමාජයේ විශාල පිළිගැනීමකට ලක්වෙලා සිටියා පමණක් නොව ඔවුන් අතින් විශාල සමාජ මෙහෙවරක්ද සිදුවුවා. සර්වෝදය බිහිකළ ඒ. ටී. ආරියරත්න මැතිතුමා ගුරුවරයෙක්. සුප්‍රසිද්ධ ගීත රචකයන්, ගායකයන්, රංගන ශිල්පින්, චිත්‍ර ශිල්පීන්, ගත්කතුවරයන්, නාට්‍යකරුවන්, භාෂා විශාරදයන් ගුරුවරුන් අතරින් බිහිවූවා. 1970 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුලික වෙලා කටයුතු කරපු, දෙවතාවක් ලංකාවේ අධ්‍යාපන ඇමති වූ බදුර්දීන් මොහෙමඩ් මැතිතුමා ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පති. එතුමාගේ උප ඇමති වෙලා හිටපු බී. වයි. තුඩාවේ මැතිතුමාත් ගුරුවරයෙක්.

” ඇදගෙන බස් එකේ ගෙනහිල්ලා දාලා නිරෝධායන මධ්‍යස්ථානවලට ගිහිල්ලා විසි කලත් කමක් නැහැ, කියන හැඟීමෙන් රජය කටයුතු කිරීම. රජය හිතුවේ නැහැ ඒ අවස්ථාවේ මේක මේ වගේ බරපතළ අර්බුදයක් වේවි කියලා. ආණ්ඩුව බලාපොරොත්තු වුනේ නැහැ වසර 24ක් තිස්සේ නිද්‍රාශීලී යෝධයෙක් මෙන් සිටි ගුරු බලවේගය නැවත නැගිටීවි කියල.”

විවෘත ආර්ථිකයත් සමග ගුරුවරුන්ට අත්වූ ඉරණම

1977 දී සිදුවු ආර්ථික ප්‍රතිසංස්කරණ සමග මේ රටේ ව්‍යාපාර පැලැන්තිය ඉදිරියට පැමිණුනා. මෙම ව්‍යාපාර පැලැන්තිය අත ධනය එකතු වුනා. බඩු මිල ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එනමුත් ගුරුවරුන්ගේ වැටුප ඒ මට්ටමේම පැවතුනා. ගමේ, නගරයේ වැජඹුණ ගුරුවරයා එතනම සිටිය දී, මුළු සමාජයම ඉදිරියට ගමන් කලා. මෙය රජයේ සේවකයන්ට පොදුවේ මුහුණදීමට සිදුවුනු සිදුවීමක්. විශේෂයෙන්ම ගුරුවරුන්ට මෙම විපත්තියට මුහුණ පෑමට සිදුවුනා. සමාජය ඉදිරියට යන විට ගුරුවරයාට අසරණව බලා සිටින්න සිදුවූවා පමණක් නොව, තමන්ගේ කුඩා වැටුපෙන් ජීවත් වීමට නොහැකි වීම මත අමතර ආදායමක් උපයන්න පුද්ගලික පංති පවත්වන්න සිදුවුණා. සමාජ මට්ටමකට ගැළපෙන්න අදින්න, පලඳින්න, යාන වාහන මිලදී ගන්න පෙලඹීම වරදක් කියන්න බැහැ.

ඉන්පසුව 1980 ජූලි වැඩ වර්ජනයෙන් විශාල වශයෙන් ගුරුවරුන්ගේ රැකියා අහිමි වුවා. රජයන් කල්පනා කලා මේ පිරිස රැකියාවෙන් දොට්ට දැම්මා කියල කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වෙනුවට තව කොටසක් බඳවා ගැනීමට හැකියාව තිබෙනවා කියලා. ඒකෙන් ගුරු සංගම්වල කොන්ද බිඳුණා. තවදුරටත් ගුරුවරුන් ලංකාවේ සමාජ හෝ දේශපාලන බලවේගයක් වුනේ නැහැ. මෙහෙම කාලය ගතවන විට ඉතා කෙටි කාලයකට රිචඩ් පතිරණ මැතිතුමා ලංකාවේ අධ්‍යාපන ඇමති බවට පත් වුනා 1994 වසරේදී . එතුමා ගාල්ල පෝද්දල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා. එතුමාට ගුරුවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව විශේෂ අවබෝධයක් තිබුණා. ඒ අවබෝධය තුලින් ගුරුවරුන්ගේ පඩි වැඩිවීමක් සිදු වුනා ඒ කාල වකවානුවේ.

එනමුත් 1997 දි බී. සී. පෙරේරා කමිටු වාර්තාවත් එක්ක ගුරු වැටුප් ප්‍රශ්නය ඇතිවූවා. වසර 24ක් ඇදෙමින් පැවති මෙම වැටුප් අර්බුදය එක පාරට ඉස්මතු වුනා මෙම කෝවිඩ් අර්බුදය ඇතුළේම. ඒකට හේතුව තමයි, සුපුරුදු විදිහට ගුරුවරුන්ට මොන දෙයක් කලත් කමක් නැහැ, ගැහුවත් කමක් නැහැ, බැන්නත් කමක් නැහැ, ඇදගෙන බස් එකේ ගෙනහිල්ලා දාලා නිරෝධායන මධ්‍යස්ථානවලට ගිහිල්ලා විසි කලත් කමක් නැහැ, කියන හැඟීමෙන් රජය කටයුතු කිරීම. රජය හිතුවේ නැහැ ඒ අවස්ථාවේ මේක මේ වගේ බරපතළ අර්බුදයක් වේවි කියලා. ආණ්ඩුව බලාපොරොත්තු වුනේ නැහැ වසර 24ක් තිස්සේ නිද්‍රාශීලී යෝධයෙක් මෙන් සිටි ගුරු බලවේගය නැවත නැගිටීවි කියල.

ගුරුවර-ගුරුවරියන්ගේ නැගිටීම සමාජ වෙනසක ආරම්භයක්

මේ නැවත නැගිටීම මා විශ්වාස කරන්නේ ලංකාවේ සමාජ දේශපාලන වෙනසක ආරම්භයක ලෙසයි. ලංකාවේ අධ්‍යාපනයේ පමණක් නොවේ සමාජයේද පරිවර්තනයක් සිදු වෙන්නේ මෙම පිබිදීම තුලින්. ලංකාවේ අද 228,000 ක් ගුරුවරුන් සිටිනවා. මෙයින් 96,000 ක් උපාධිධාරි ගුරුවරු. ලක්ෂයක් පමණ පුහුණූ ගුරුවරු. මේ රටේ ගම්, නියම්ගම්, සුලු නගර, මහා නගර සිසාරා සියලු තැන්වල ගුරු බලය විහිදිලා තිබෙනවා. ගම් නියම්ගම්වල සිටින දහස් ගණන් ගුරුවරු ඉදිරියට ඇවිල්ලා බලය පෙන්වූ විට මර්ධනය ක්‍රියාත්මක කර ගන්න බැරුව රජය අසරණ වුනා. මොකද මේක සැබෑ බලයක්. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සුප්‍රසිද්ධ පුද්ගලයෙක් ගුරුවරුන්ගේ නිරායුධ, අවිහිංසාකාරි බලය ඉදිරියේ අසරණ වුනා. අවිහිංසාව තමයි ඔබතුමන්ලාගේ බලය.

දෙලක්ෂයකට අධික ගුරුවරුන්ගෙන් අතලොස්සක් හෝ ඉදිරියට ආවොත් සියල්ල වෙනස් වෙයි. රටේ අනාගතය භාරගන්න.ඔබේ ප්‍රශ්නය පමණක් නොවේ රටේ ප්‍රශ්නත් විසඳන්න ඉදිරියට එන්න.

ඒ වගේම ඔබතුමන්ලා ඉන්නේ සමාජයට බලපෑම් කල හැකි, සමාජය ඔබ පවසන දේ විශ්වාස කරන මට්ටමක. ඔබතුමන්ලා උගත්, විශාල පිළිගැනීමක් ඇති අය. වෛද්‍යවරුන් හැටියට අපට නැති, තමන් ඉන්න පාසල අවට පරිසරයේ, ඒ ගමේ, ඒ නගරයේ තිබෙන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඔබට තිබෙනවා. දෙමව්පියන් සහ දරුවන් ආශ්‍රිතව එන දැනුම ඔබතුමන්ලා සතුව තිබෙනවා. සමාජයේ ප්‍රශ්න පිළිබඳව සංවේදිභාවයක් ඔබතුමන්ලාට තිබෙනවා. ඔබතුමන්ලාට වැටුප් අර්බුදය විසඳාගැනීමට, සමාජයට පණිවිඩයක් දීමට, සමාජය සංවේදි කිරීමට, සමාජය ඉදිරියට යන්නට හැකියාවක් නෑ කියල වැරදි විශ්වාසයකින් බොහෝ අය ඉන්නේ.

ගුරු වැටුප් ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය නම් වෙනත් මානයකට මේක ගෙන යෑමට ඔබතුමන්ලට සිදු වෙනවා. එය පහසුයි. ඔබතුමන්ලාට කෙළින්ම සම්බන්ධතාවක් තිබෙනවා, ඔබතුමන්ලාගේ දරුවන් සමග දෙමව්පියන් සමග. දැන් මේ ප්‍රශ්නය ඔබ ඔවුන්ට ඉදිරිපත් කරන්න. මෙන්න මේ වගේ අසාධාරණකම් අපිට සිදුවෙලා තිබෙනවා කියන්න. එසේ කිරීමෙන් ඔබ්බට ඩී. බී. ජයතිලක මැතිතුමා, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා, විජයානන්ද දහනායක මැතිතුමා , බදුර්දීන් මුහමුද් මැතිතුමා, බී. වයි. තුඩාවේ මැතිතුමා වැනි ජනනායකයින් බිහි වූ වෘත්තියකින් නැවත ජනනායකයන් බිහි කිරීමේ අවශ්‍යතාවය දැන් නැවත පැන නැගී තිබෙනවා.

මේ රටේ ඇතිවෙලා තිබෙන ව්‍යසනයට ප්‍රධානතම හේතුවක් තමයි බුද්ධිමතුන් රාජ්‍ය පාලනයට නොපැමිණීම. පසුගිය කාලයේ බුද්ධිමතුන් පිරිසක් ඉදිරියට ඇවිල්ලා බලය ගත්තා කියන එක වැරදියි. ඒ අවස්ථාවේ යම් උගත් පිරිසක් ඇවිල්ලා මතයක් ප්‍රකාශ කලා. අවසාන වශයෙන් බලය ගත්තේ ගම්වල කුඩු විකුණන, හොරෙන් මැණික් ගරන, ගස් කපන අයගෙන් යැපෙන පිරිසක්. අද ලංකාවේ දේශපාලන දේහයේ බලයේ උල්පත ගමෙහි, නගරයෙහි සිටින මත් වතුර, මත් ද්‍රව්‍ය විකුණන, නීති විරෝධී ලෙස මැණික් ගරන, පස් කපන, ගස් කපන, දුෂිත කුඩා පරිමාණ කොන්ත්‍රාත් කරන නුගත්, රස්තියාදුකාර, මැරයන්. මෙම බල උල්පත මත යැපෙන සියලු දෙනාටම සිදුවෙනවා ඔවුන් මෙන් හැසිරෙන්නට. ඔවුන් සනසන්නට. ඔවුන්ගේ නොසනැසෙන බඩගින්න නිවන්න. ඊට උඩින් ඉන්න අය මේ පිරිසගේ බඩගින්න නිවන අතර තමන්ගේ නොසනැසෙන බඩගින්නද නිවා ගන්නවා. ඒ අතර නුගත් මැරයන්ගේ කොටසක් දේශපාලනයේ ඉහලට ඇවිල්ලා වැජඹෙනවා. මේ අය “ප්‍රේත වස්තු”වේ සඳහන් වන කිසිදා බඩගිනි නොනිවෙන ප්‍රේතයන් වගේ.

ගුරුවරුන් දේශපාලනට පැමිණිය යුතුයි

මේ බලය පිළිබඳ විෂම චක්‍රය බිඳ දැමිය හැක්කේ ලංකාවේ සිටින නිදහස් අධ්‍යාපනයෙන් මතුවෙලා ආ විශාලම පිරිස වන ඔබතුමන්ලා , ඔබතුමියන්ලා හටයි. ඔබට බුද්ධිය හා ජනතාව සමඟ සම්බන්ධවීමේ හැකියාව තිබෙනවා. ඔබ සහ රට මේ පත්වෙලා ඇති විපත්තියෙන් සහ අපහාසයෙන් ගලවා ගැනීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ

ප්‍රාදේශීය, පළාත්, ජාතික දේශපාලනයට වහාම අවතීර්ණ විය යුතුයි. ප්‍රාදේශීය ප්‍රශ්න, ජාතික ප්‍රශ්න වලට මැදිහත් විය යුතුයි. නිදහස් අධ්‍යාපනය අප නොදැනුවත්ම මියයමින් පවතිනවා.මේක වෙනස් කරන්න නම් ඔබතුමන්ලා බලය අතට ගන්න වෙනවා. මැරයන්, මුදල් තියන අය දේශපාලනයේ නිරතවීම තුල ඔබතුමන්ලාට මෙය වෙනස් කරන එක පහසුද කියන ගැටලුව ඇතිවේවි. ගුරුවරයෙකුවූ විජයානන්ද දහනායක මැතිතුමා 1941 ගාල්ල ආසනයට තරග කලේ හෙන්රි අමරසුරිය කියන ලංකාවේ හිටපු විශාලම ඉඩම් හිමි ධනවතාට විරුද්ධව. ඒ කාලෙත් දේශපාලන මැරකම් තිබුනා.

විජයානන්ද දහනායක මැතිතුමා ඡන්ද දායකයින්ට කිව්වා, මම සල්ලි ගහක් හොලවනවා, ඔබතුමන්ලා සල්ලි ඇහිඳ ගන්න කියලා. අවසාන වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයකින් විජයානන්ද දහනායක මැතිතුමා දිනුවා. ඔබතුමන්ලාට හොලවන්න වෙන්නේ හොර සල්ලි ගස්.

මැරබලය ජයගත යුත්තේ අවිහිංසාවෙන් මිස, මැර බලයෙන් නෙවෙයි. මහත්මා ගාන්ධි තුමා හිරු නොබසින අධිරාජ්‍යයක් දැනගැස්සුවේ අවිහිංසා බලයෙන්. එතුමා අනුගමණය කල උපක්‍රම හදාරා පාවිච්චි කරන්න. අධිෂ්ඨාන බලය, දැනුම, උගත් කම තිබෙන තිබෙන ඔබතුමන්ලා, ඔබතුමියන්ලා වැනි නායක නායිකාවන් තමයි අවශ්‍ය වන්නේ මේ රටේ අභාග්‍යසම්පන්න තත්ත්වය වෙනස් කරන්න.

දෙලක්ෂයකට අධික ගුරුවරුන්ගෙන් අතලොස්සක් හෝ ඉදිරියට ආවොත් සියල්ල වෙනස් වෙයි. රටේ අනාගතය භාරගන්න.ඔබේ ප්‍රශ්නය පමණක් නොවේ රටේ ප්‍රශ්නත් විසඳන්න ඉදිරියට එන්න.

(ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ආරාධනයෙන් 2021 සැප්තැම්බර් මස 07 වැනි දින පවත්වන ලද අන්තර්ජාල දෙසුම ඇසුරෙන්, සාකච්ඡා කොට සකස් කලේ සුජීව සෙනරත් විසිනි)

Archive

Latest news

Related news