Image courtesy of IFEX.
එළඹෙන නොවැම්බර් 02දා ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනයන් පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The People’s Tribunal on the Murder of Journalists විසින් ආරම්භ කරයි.
මෙම නඩුවෙහි අපරාධ චෝදනා ගොනු කැරෙන්නේ ශ්‍රි ලංකා ආණ්ඩුවට එරෙහිවය.ගෝඨාභය රාජපක්ෂ නමින් චූදිතයකු කරනු ඇත්ද යන්න තවමත් දැන ගන්නට නැත.
එහිදී ප්‍රථමයෙන්ම විභාගයට ගනු ලැබෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයයි. සිය පියාගේ ඝාතකයින් අධිකරණය ඉදිරියට ගෙන ඒමට අනවරත අරගලයක යෙදී සිටින අහිම්සා වික්‍රමතුංග ද එහිදී සාක්ෂී දෙනු ඇතැයි විශ්වාස කැරේ.
ට්වීට පණිවඩයක් මගින් ඇය කියා සිටින්නේ හේග් අධිරණයට සහාය වීමට ලැබීම තමා ගෞරවයක් සේ සළකන බවයි.
Proud to support @SaferTruth Tribunal prosecute #LKA Govt in The Hague for its role in murdering Lasantha Wickrematunge. Proof of who had my father killed will be laid bare for the world to see. No immunity here, so finally, my family gets something resembling a day in court https://t.co/eXWPsLsGB1
— Ahimsa Wickrematunge (@awickrematunge) September 29, 2021
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අමරතව ලොව කැළඹූ තවත් ජනමාධ්‍යවේදී ඝාතන කීහපයක්ම එම අධිකරණය විමසා බලනු ඇත.
ඒ තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුළද ඝාතනය කරන ලද වොෂින්ටන් පොස්ට් ලේඛක ජමාල් කිෂෝගි සම්බන්ධ විභාගය සහ යුරෝපා සංගමයේ රකේ වන මෝ්වෙහිදී ඝාතනය කරන ලද ගවේෂණාත්මක ජනමාධ්‍යවේදිනී ඩැෆ්නි කරුවානා ගලීෂියා නඩු විභාගයයි. කිෂෝගිගේ පෙම්වතිය සහ ඩැප්නි කරුවානා ගේ පුතා ද සාක්ෂිදීමට නියමිතය.
මෙම නඩු විභාගය ලොව පුරා අවධානය ඇද ගනු ඇති අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමබන්ධයෙන් මෙරට රහස් පොලීසිය විසින් කරන ලද පරීක්ෂන ප්‍රතිපල බොහොමයක් මෙම නඩු විභාගය සඳහ ඉදිරිපත් කැරෙනු ඇතැයි තතුද් ආරංචි මාර්ග පවසයි.
එහිදී ඉදිරිපත් වනු ඇති ප්‍රබල සාක්ෂියක් වන්නේ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත කරන ලද දීර්ඝ සාක්ෂියයි. ඔහු සාක්ෂි වසං කිරීමේ චොදනාව යටතේ තවමත් අත් අඩංඟුවේ පසුවෙයි.
මිට අමතරව රහස් පොලීිය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂනයේ සියලුම වාර්තා ද මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බව වාර්තාවේ.
ලසන්ත ඝාතනයට යුද හමුදා බුද්ධි අංශ කන්ඩායමක් සම්බන්ධ බවට සැක කළ හැති ප්‍රබල සාක්ෂි මේ අතර වේ. තවද ඒම සාක්ෂි වසං කිරිමට දරන ලද ප්‍රයත්නයත්, ලසන්ත වික්‍රමතුංග විසින් ඒ් මාරක දිනයෙහි තමා හමා ආ යතුරු පැදි දෙකක අංක සටහන් කරන ලද දින පොත් ලබා ගැනීමට ආක්ෂක අමාත්‍යංශයේ ඉහළම පුද්ගලයකු විසින් දරන ලද උත්සාහය ද ඒ් අතර වේ.
මෙම ඝාතන පරීක්ෂනය නොමඟ යැවීම පිනිස පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් දරන ලද උත්සාහයන්ද සවිස්තරාත්මක දැක්වෙයි.
මෙම නඩු විභාගයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට පෙනී සිටිය හැකිය. ඒ් සම්බන්ධයෙන් තවම නීතිපති දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන නැත.
ලසන්ත ඝාතනය පිළිබඳ විදෙස්ග ගත ජනමාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් විමර්ශනාත්මක ලිපි පෙළක් ලියා සමාජ මාධ්‍යය් පළ කරමින් තිබේ. එම ලිපි පෙළෙහි ප්‍රථම කොටස් තුන පහත පළවේ.
ලසන්ත ඝාතනයේ සැඟවූ කතාව – 01
සනත් බාලසූරිය විසිනි.
ගෝඨාභය පාලනයක් යටතේ කිසිදු දිනෙක නොවිසඳෙනු ඇති අපරාධ ගොන්න අතර වන එක් සුප්‍රසිද්ධ අපරාධයකි, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය.
ගෝඨාභය යටතේ නොව, රාජපක්ෂ පවුලට සම්බන්ධ එකද පාලකයකු යටතේ හෝ එම අපරාධය කිසිදා හෙළිදරව් වනු ඇතැයි විශ්වාස කළ නොහැක. ඊට හේතුව අන්කිසිවක් නොව, නීතියේ ආධිපත්‍යය කියා දෙයක් නමටවත් නැති, නීතිය තමන්ට වුවමනා හැටියට කැමති කැමති අතට නවාගත හැකි රටක, කිසිදු බලවන්තයෙක් තමන්ගේම අතින් තමන්ගේම බෙල්ලට තොණ්ඩුව දාගන්නේ නැති බැවිනි, කිසියම් විශේෂ පුද්ගලාන්තර ආරවුලක්, භේදයක්, බලඅරගලයක් නොමැතිනම්, තමන්ගේ පවුලේ බලවන්ත ඥාතියකුගේ බෙල්ලට තවත් ඥාතියෙක් තොණ්ඩුව දාන්නේත් නැතිබැවිනි. විශේෂයෙන් දශක දෙකතුනක මෑත ඉතිහාස අත්දැකීම් අනුසාරයෙන් සලකාබලන කල, රාජපක්ෂ පවුල තුළ එවැන්නක් සිදුවීමේ සම්භාවිතාවක් ඇත්තේම නැති තරම් බැවිනි.
ගෝඨාභය මතු නොව සමස්ත රාජපක්ෂවරුන් යටතේ ම මේ ඝාතනයට යුක්තිය පසිඳලීමක් සිදුනොවන බව ද, එසේ නොවන්නේ මන්ද යන්න ගැන ද මනා වැටහීමක්, මේ ඝාතනය සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී තිබෙන කරුණු කාරණා සිහිබුද්ධියෙන් පිරික්සා බලන ඕනෑම කෙනෙකුට ලබාගැනීම දුෂ්කර නොවේ.
ඝාතනය වසං කිරීම ජාතිය දෙමළ වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දෙදෙනෙක්
ඇත්තටම ලසන්ත ඝාතනය යනුවෙන් හැඳින්වෙන්නේ එක් මනුෂ්‍ය ඝාතනයක්, එනම් සන්ඩේ ලීඩර් සංස්කාරක, නීතීඥ ලසන්ත විකුමතුංග නම් තනි පුද්ගලයා ඝාතනය කිරීමේ, රටක නොව ලෝකයකම අවධානයට පාත්‍ර වූ අපරාධය පමණක් සේ පෙනුණත්, එය ඇත්ත වශයෙන්ම සාහසික මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ දාමයක ආරම්භක පුරුක පමණි.
දැනට හෙළිදරව් වී ඇති අන්දමට ඒ පසුපස කිසිවකුගේ අවධානය දිනා නොගත් තවත් ඝාතන අවම වශයෙන් දෙකක් වෙයි.
ලසන්ත ඝාතනයට අදාළව ඝාතනය කැරුණු බවට දැනට හෙළිදරව්වී ඇති ඉතිරි දෙදෙනා මේ සිද්ධියට කිසිදු අයුරකින් සම්බන්ධ නැති අහිංසක දෙමළ ජාතිකයින් දෙදෙනෙකි. රටක් හෙල්ලූ නමුත් තමන්ට සිහිනයකින්වත් සම්බන්ධයක් නොතිබූ ඝාතනයකට ඔවුන්ට වන්දි ගෙවන්නට සිදුවූයේ, හුදෙක්ම ඔවුන්ගේ ජාතිකත්වය දෙමළ වීම හේතුවෙනි.
ඒ ඝාතන සිදුකළවුන් එසේ කළේ, මුල් අපරාධය වූ ලසන්ත ඝාතනය පිළිබඳ විමර්ශන නොමඟ යවා එහි සැබෑ අපරාධකරුවන් හෙළිදරව් වීම වළක්වාගැනීම පිණිස ය. එල්ටීටීඊයට කිසිදු සම්බන්ධයක් නොතිබූ බවට පසු විමර්ශනවලදී පැහැදිළිව හෙළිවී ඇති මේ දෙමළ ජාතිකයන් දෙදෙනා කොටි බවට පත්කර, ඔවුන් පැහැරගැනීමට ලක්වන අවස්ථාවේ පදවමින් සිටි යතුරුපැදිය ලසන්ත ඝාතනයට ආ එකක් බව මවාපෙන්වීමේ කුමන්ත්‍රණකාරී වුවමනාව ඒ අහිංසක මිනිසුන් පැහැරගෙන ගොස් මරාදැමූ ඝාතකයන්ගේ එකම අරමුණ වූ බව විමර්ශනවලින් හෙළිව තිබේ.
ඒ අනුව ලසන්ත ඝාතනයේ සැබෑ අපරාධකරුවන්, තමන් විසින් කරන ලද එක් මනුෂ්‍ය ඝාතනයක් වසංකරලීම උදෙසා අවම වශයෙන් තවත් අහිංසකයන් දෙදෙනකු නිරපරාදේ මරාදැමීමට කටයුතු කර ඇතිබව දැන් වසංකළ නොහැකි ලෙස හෙළිදරව් වී හමාර ය.
මේ සියලු කාරණා මේ තාක් සිදුවී ඇති විමර්ශනවලට අදාළ වාර්තාවලින් හා අධිකරණයට ඉදිරිපත් වූ කරුණු ඇසුරෙන් යළිත් සම්පිණ්ඩනය කර ලියාතැබීම වෙනත් කුමන පාලන කාලයකදීටත් වඩා ගෝඨාභය පාලන කාලයේ දී අත්‍යවශ්‍ය බැව් අපගේ විශ්වාසය යි.
ලසන්ත ඝාතනය වැසැංගීම ම අරමුණු කරගනිමින් සිදුකර ඇති අවශේෂ ඝාතන දැනට අපට පැහැදිළි සාක්ෂි සහිතව වාර්තා වන්නේ දෙකක් පමණක් වුවත්, තවත් කී දෙනෙක් ඒ උදෙසා ඍජුව හෝ වක්‍රව ඝාතනය කැරී, අනීතික වධබන්ධනයට ලක්වී, වෙන වෙනත් අතුරු ආන්තරාවලට පමුණුවා ඇත්දැයි අප තවමත් නොදන්නා අතර, සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී වූද, සාධාරණ වූද විමර්ශනයක් අවසානයේ අධිකරණ ක්‍රියාවලියක් තුලින් සිදුවන යුක්තිය පසිඳලීමකින් පමණක් ඒ කාරණා හෙළිදරව් වනු ඇත.
අප මෙතැන් සිට සංක්ෂිප්තව දිගහරින කතාවේ ඇතැම් කරුණු, මේ තාක් කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයකින් හෙළිදරව් වී නැති බව ද සටහන් කළයුතු ය.
වළලන්නට ගිය අපරාධය ගොඩට ඇද්ද මිනිසෙක්
2009 ජනවාරි 08වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළ මහදවාලේ සිදුකළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෙළිදරව්වීම වළක්වාගැනීමට එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත්, තමන්ගේ නිල රාජකාරිය පසෙකලා දේශපාලන ගැතිකම ඉදිරියට දමාගෙන ගෝඨාභයගේ වුවමනාවට හිසනමමින් ඊට අදාළ විමර්ශන අඩාලකිරීමට, නොමඟ යැවීමට හා සාක්ෂි විනාශකිරීමට එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී ඇතුළු දිසි අදිසි බොහෝ දෙනකුටත් තිබූ මාරාන්තික වුවමනාව අවුල්කර දමන්නට සමත්වූ ක්‍රියාකාරකම් කිහිපයක්, එක් උප පොලිස් පරීක්ෂකවරයෙක් අතින් ඔහුත් නොදැනුවත්ව හෝ සිදුවී තිබිණි.
ඒ උප පොලිස් පරීක්ෂකවරයා හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල ය.
ලසන්ත ඝාතනය සිදුවන විට ඔහු සිටියේ ඒ ඝාතනය සිදුවූ අත්තිඩිය ප්‍රදේශය අයත් පොලිස් බලප්‍රදේශය වූ ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස ය.
විමර්ශනවල මෙතෙක් ගමන්මග
ලසන්ත ඝාතනයේ විමර්ශන පළමුව ගල්කිස්ස පොලීසියෙන් ඉහත කී සුගතපාලගේ ද දායකත්වයෙන් මෙහෙයැවුණු අතර, මාස 11ක් තිස්සේ සිදුවූ ඒ අයාලේ ගිය විමර්ශන විධමත් කරන්නැයි දිගින් දිගටම ආණ්ඩුවට එල්ලවූ බලපෑම් හේතුවෙන් පොලිස්පතිවරයා විසින් 2009 නොවැම්බර් 25වැනි දින මේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යොමුකරනු ලැබීය. හාස්‍යජනක කරුණ නම්, ගල්කිස්ස පොලීසියේ විමර්ශන අයාලේ යවන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ වුවමනාව මත ගල්කිස්ස දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හා ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මෙන්ම මේ යොමුකිරීම කරන පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ද ඇතුළු ඉහළම නිලධාරී වීම ය.
මේ විමර්ශන එතැනිනුත් ඉවත්කර 2010 පෙබරවාරි 08වැනිදා, එවකට පොලිස්පති වූ මහින්ද බාලසූරිය විසින් නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ටගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට වාචික නියෝග මත පවරනු ලබන්නේ, ඝාතනයට එල්ටීටීඊය සම්බන්ධ බවට ගොතන ලද කතාව ඉදිරියට දමමිනි.
මේ තොරතුරු ලසන්ත ඝාතනයේ සැබෑ අපරාධකරුවන් වෙතට විමර්ශන යොමුකිරීමට ඉඩලැබෙන බලවත් හෝඩුවාවක් බව තේරුම්ගත් බලධාරීහු, යළිත් පරීක්ෂණ හිතාමතා අඩාල කිරීමට හා නොමග යැවීමට මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට විමර්ශන බාරදුන් බව කරුණු විශ්ලේෂණය කිරීමේ දී පැහැදිළි වේ.
මෙසේ මේ විමර්ශන CIDයෙන් ඉවත් කිරීමේ ඇත්තම හේතුව ලෙස පෙනීයන්නේ, ඒ වනවිටත් CIDයට අපරාධයේ සුලමුළ පාදාගැනීමට ඉවහල් වියහැකි පොටක් පෑදෙමින් තිබීම යි. මිරිහාන පොලීසියේ නිලධාරියෙක් අපරාධය සිදුවූ දිනයේ, අපරාධය සිදුවූ සමස්ත කලාපය ආවරණය වන පරිදි සියලු දුරකතන දත්ත සංරක්ෂණය කිරීමට සියලු ජංගම දුරකතන සමාගම්වලට නියමකරමින් විශේෂ අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. ඒ සමගම අපරාධය සිදුවූ ප්‍රදේශයේ, එය සිදුවූ කාලසීමාව ඇතුළත ක්‍රියාත්මක වූ එක ළඟ අංක සහිත සැකසහිත ජංගම දුරකතන අංක 5ක් පිළිබඳ තොරතුරු CID විසින් අනාවරණය කරගෙන තිබිණි.
මේ තොරතුරු ලසන්ත ඝාතනයේ සැබෑ අපරාධකරුවන් වෙතට විමර්ශන යොමුකිරීමට ඉඩලැබෙන බලවත් හෝඩුවාවක් බව තේරුම්ගත් බලධාරීහු, යළිත් පරීක්ෂණ හිතාමතා අඩාල කිරීමට හා නොමග යැවීමට මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට විමර්ශන බාරදුන් බව කරුණු විශ්ලේෂණය කිරීමේ දී පැහැදිළි වේ.
ඒ අනුව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනවාරියේ බිඳවැටෙන තුරුම ඒ විමර්ශන සිදුවූයේ ඝාතකයන් අනාවරණය කරගැනීම නොව සිද්ධිය මුළුමනින් යටගැසීම අරමුණු කරගනිමිනි.
2015 බලයට පත් යහපාලන ආණ්ඩුව එම වසරේ පෙබරවාරි 25වැනිදා මෙම විමර්ශන නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.
2018 පෙබරවාරි 01වැනිදා ඉහත සඳහන් කළ, එවකට අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර වැඩතහනමකට ද ලක්ව සිටි උප පොලිස් පරීක්ෂක සුගතපාල CID අත්අඩංගුවට පත්වෙයි. එතැන් පටන් මාස තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව කල්ගෙවන සුගතපාල, “තමන්ට හා තමන්ගේ පවුලේ අයට කිසියම් හානියක් සිදුකරනු ඇතැයි යන බිය හේතුවෙන්” ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ව්‍යවස්ථාපිත ප්‍රකාශයක් හෙවත් ස්වේච්ඡාවෙන් ලබාදෙන පාපෝච්චාරණයක් සිදුකරයි.
මේ පාපෝච්චාරණයෙන් හෙළිවන ඉතාම වැදගත් කරුණු කාරණා කිහිපයක් සම්පිණ්ඩනය කරමින් අපි පළමුව අපේ කතාව දිහරින්නෙමු.
ලසන්ත ඝාතනයේ සැබෑ වගඋත්තරකරුවන් යටගැසිය නොහැකි ලෙස කවදා හෝ හෙළිදරව්වීමේ විභවය සහිත අතිශය වැදගත් සාක්කි විනාශ නොවී ඉතිරිවන්නේ මේ කියන සුගතපාල විසින් ගන්නා ලද ඇතැම් පියවර හේතුවෙනි.
(02)
ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංගගේ රියේ තිබූ ඔහුට අයත් බඩුභාණ්ඩ පොලීසියේ දේපොළ කුවිතාන්සි පොතේ ලයිස්තුගත වී, ඝාතනය පිළිබඳ මුල්ම විමර්ශන සිදුකළ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුගතපාලට භාරවෙයි.
ඒ බඩුභාණ්ඩවලට ලිපිලේඛන තොගයක් ද අයත්වන අතර, ලසන්ත සිය ජනමාධ්‍ය කටයුතුවල දී තොරතුරු සටහන් කරගැනීම සඳහා භාවිතාකළ ක්ෂේත්‍ර සටහන් පොත ද ඊට අයත්වෙයි. පිටු 160කින් යුතු ඒ කුඩා සටහන් පොතේ පළමු පිටු 128හි ලසන්ත විවිධ සටහන් යොදි තිබිණි. එසේම අවසන් පිටුවේ ද සටහනක් විය. මේ සටහන් සියල්ලම පාහේ ඉංග්‍රීසියෙන්, කටු අත්අකුරින් යොදාතිබූ බැවින් සුගතපාලට ඒ සියල්ල තේරුම්ගැනීමට හැකි නොවිණි.
විමර්ශනවලදී මේ සටහන් පොත වැදගත් සාක්කියක් වන බවට ඔහුට ඇතිවන අනුමානය හේතුවෙනි. විශේෂයෙන් කවරයේ හදිසියෙන් ලියාතිබූ අංක දෙක වාහන අංක දෙකක් බව ද, ඇතැම් විට ඝාතකයන් ලුහුබැඳ ආ රියවල අංක තහඩු වියහැකි බව ද ඔහුට සැක සිතෙයි.
ඊට අමතරව පොතේ ඉදිරිපස කවරයේ හදිස්සියෙන් ලියන ලද බව පෙනෙන UF 2635 හා JF 6956 යන අංක දෙකක් විය.
සටහන් පොතේ සියලු පිටු අංක 1 සිට 160 දක්වා අංකනය කර, දිනය දමා, දකුණු පැත්තේ උඩ රතුපාට තීන්තෙන් අත්සන් කරන සුගතපාල, එය අනෙක් බඩුභාණ්ඩ ලේඛනගත කර තිබූ PR / 101/2009 ගොනුවෙන් පිටතට ගෙන PR 154/09 නම් අලුත් ගොනුවකට ඇතුළත් කරන්නේ, විමර්ශනවලදී මේ සටහන් පොත වැදගත් සාක්කියක් වන බවට ඔහුට ඇතිවන අනුමානය හේතුවෙනි. විශේෂයෙන් කවරයේ හදිසියෙන් ලියාතිබූ අංක දෙක වාහන අංක දෙකක් බව ද, ඇතැම් විට ඝාතකයන් ලුහුබැඳ ආ රියවල අංක තහඩු වියහැකි බව ද ඔහුට සැක සිතෙයි.
“ඔය හෙවිල්ල වහාම නවත්තපන්!”
ජනවාරි 16 දින උදේ 8.15 පමණ වනවිට සුගතපාල මේ අංක දෙක පිළිබඳව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීට දුරකතනයෙන් දැනුම්දෙන අතර, ඒවා පිළිබඳ තොරතුරු සෙවීම ද අරඹයි. ඒ අනුව අංක දෙක යතුරුපැදි ලියාපදිංචි කළ අංක දෙකක් බවත්, ඒවායේ එන්ජින් අංක හා චැසි අංක මොනවාද යන්නත්, ලියාපදිංචි හිමිකරුවන් කවුරුන්ද යන්නත් ඔහුට සොයාගත හැකිවේ. ඒ අනුව සුගතපාල මගට බසින්නේ ඒ යතුරුපැදි සොයායාමේ අරමුණෙනි. එක් යතුරුපැදියක හිමිකරු ලෙස සටහන් වී තිබුණේ පරණ කැස්බෑව පාරේ ලිපිනයක පදිංචිකාරයෙකි. දෙවැන්නේ හිමිකරු මාකෙවිට, ජා ඇල පදිංචිකරුවෙක් විය.
මේ ගමන අතරමග දී, 11.10ට පමණ සුගතපාලගේ පෞද්ගලික දුරකතනයට ඇමතුමක් දෙන හේමන්ත අධිකාරී සුගතපාල සිටින තැන විමසයි. තමන් ඉහත කී යතුරුපැදි දෙක සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යමින් සිටින බව ඔහු පවසයි. මඳ වේලාවකට පසු යළිත් සුගතපාල අමතන අධිකාරී තර්ජනාත්මකව පවසන්නේ “ඕක නවත්තපන් වහාම! DIG මහත්තයගෙ ඔෆිස් එකට IB පොතයි, ෆීල්ඩ් නෝට් පොතයි අරන් වරෙන්,” කියා ය.
බියට පත්වන සුගතපාල දහවල් 12.05ට පමණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හමුවන්නට යන්නේ තමන් යටතේ ඉන්නා නිලධාරියකු ලවා ගල්කිස්ස පොලීසියේ සිට ගෙන්වාගත් “මරණකරුගේ ක්ෂේත්‍ර සටයන් පොත සහ තොරතුරු සටහන් පොත”ත් සමගිනි. ඊට ප්‍රථම ‘ක්ෂේත්‍ර සටහන් පොතේ’ ඡායාපිටපත් ලබාගන්නැයි ඔහු සිය ගෝලයාට උපදෙස් දෙන්නේ “ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වීම වැළැක්වීමටත්, එහි යම්කිසි සැකකටයුතු යමක් සිදුවන බව හැඟුණු නිසාත්” ය.
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී නානායක්කාර සුගතපාලට අණකරන්නේ “බරපතල අපරාධ තොරතුරු සටහන් පොතේ සටහන් කරඇති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ක්ෂේත්‍ර සටහන් පොත සහ ඝාතනයට පැමිණි යතුරුපැදි දෙකේ අංක සහ එම අංකවල ලියාපදිංචි විස්තර පිළිබඳව යෙදූ සටහන් කියවන ලෙස යි.”
“මේවා හොයන්න ගිහින් මැරුම්කන්නද හදන්නේ?”
සියල්ල අසාසිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කෝපයෙන් තර්ජනාත්මක ලෙස සුගතපාලගෙන් අසාසිටින්නේ “මේවා ලියලා හොයන්න ගිහින් මැරුම්කන්නද හදන්නේ” කියා ය. අනතුරුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී වෙත හැරෙන නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර සුගතපාල දෙසට අත දිගුකර පවසන්නේ-
“මේ මිනිහ පිස්සෙක්නේ, මේක ලියන්න කලින් ඔයාටවත් මේ ගැන කිව්වෙ නැද්ද?” කියා ය.
“මේ යකා මටවත් කිව්වේ නැහැ,” යි හේමන්ත අධිකාරී පවසයි.
එවිට නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ජංගම දුරකතනයෙන් කිසිවකුට කතාකර සුගතපාල විසින් තබාඇති සටහන් සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොතේ ඇති තොරතුරු අනෙක්පස සිටින පුද්ගලයාට කියවයි.
ඒ දැනුම්දීම් කරන්නේ එවකට හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට බව ය සුගතපාලට වැටහෙන්නේ.
“සටහන් පොත දීප්”
දුරකතන සංවාදය නිමවන නානායක්කාර සුගතපාල දෙසට හැරී පවසන්නේ-
“පොලිස්පතිතුමා කිව්වා අංක සටහන් කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත (මේ ලසන්ත ගේ සටහන් පොත ය) සහ GCIB එකේ (Grave Crimes Information Book – බරපතල අපරාධ තොරතුරු සටහන් පොත) සටහන් කරන කොළටික ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලනවා, ඒක දෙන්න වෙනවා,” කියා ය.
“මට දෙන්න බැහැ,” සුගතපාල එවිට කියයි.
“තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ, තමුසෙට ළමයි ඉන්නවා නේ, උන්ගෙන් මැරුම් කන්නැතුව තමුසෙගෙ සටහනයි නෝට් පොතයි මට දෙනාව,” නානායක්කාර සුගතපාලට ‘තර්ජනය කරයි.’
එවිට හේමන්ත අධිකාරී ද සුගතපාලට තර්ජනය කරන්නේ “ඉල්ලන ටික දීපන්” කියා ය.
ඔවුන් කියන දෙය නොකළොත් තමන්වත්, සිය බිරිය සහ දරුවන්වත් මරාදමනු ඇතැයි මේ තර්ජනයෙන් තමන් බියට පත්වූ බව පවසන සුගතපාල, තමන් සතුව තිබූ ලසන්තගේ ‘ක්ෂොත්‍ර සටහන් පොත’ නියෝජ්‍ය පොලිස්පති නානායක්කාරට ලබාදෙයි. නානායක්කාර සුගතපාලට නියෝග කරන්නේ යතුරුපැදි දෙක සම්බන්ධයෙන් කරන වැඩිදුර විමර්ශන නවත්වා දමන ලෙස ය. එසේම පොලිස් තොරතුරු සටහන් පොතේ ඉහත යතුරුපැදිවලට අදාළව සුගතපාල ලියූ පිටුදෙක ගලවා, යතුරුපැදි අංක ඉවත්වන සේ සටහන් පොත නැවත සකසන ලෙස ය.
“ලසන්තට වෙච්ච දේ කරගන්නද හදන්නේ?”
මේ සිදුවීමෙන් පසු යළිත් ගල්කිස්ස පොලිස් ස්ථානයට එන සුගතපාල, නැවතත් කරන්නේ කිසිවකුටත් නොදන්වා දෙවැනි යතුරුපැදිය පිළිබඳ තමන්ට ලැබුණු තොරතුරු ලුහුබැඳ ජාඇල දෙසට යාම ය.
ඒ යන අතරතුර නැවතත් සුගතපාල අමතන හේමන්ත අධිකාරී විමසන්නේ “නියෝජ්‍ය පොලිස්පති අණ කළ පරිදි තොරතුරු සටහන්පොතේ කොළ ගලවා සකස්කලාද” කියා ය.
සුගතපාල කියන්නේ, අනෙක් අය දකින නිසා පොලීසිය ඇතුළේ එය කළ නොහැකි බැවින් තවමත් එය නොකළ බව ය. සුගතපාල සිටින්නේ ජාඇල යන ගමන්ය යි දැනගත්නා අධිකාරී බෙහෙවින් කෝප වී වහාම පොලිස් ස්ථානයට පැමිණ තමන් හමුවන මෙන් ඔහුට තර්ජනය කරයි.
ජාඇල ගමන නවතා නැවත පොලිස් ස්ථානයට යන සුගතපාලට අධිකාරී තර්ජනාත්මකව පවසන්නේ “ලසන්තට වෙච්ච දේ කරගන්නේ නැතුව ඩීඅයිජී කරපු දේ කරපන්,” කියා ය.
එදින රාත්‍රියේ සුගතපාල සිය නිවසේ දී නියෝජ්‍ය පොලිස්පති කී පරිදි ලසන්ත ගේ සටහන්පොතේ තිබූ තමන් ලුහුබැඳ ආ ඝාතකයන්ගේ බව පෙනුණු යතුරුපැදි අංක දෙක සහිතව දීර්ඝ සටහනක් තබාතිබූ පිටු දෙක ඉවත්කර අලුතින් පිටු දෙකක් ඇතුළත් කර පොලිස් සටහන් පොත වෙනස් කරයි. එහෙත් ඔහු ඒ ඉවත්කළ පිටු දෙකේ ඡායාපිටපත් ලබාගනී.
ඉන්පසු ඔහු ජනවාරි 19 හෝ 20 යන දින දෙකෙන් එකක, (ඔහුට දිනය හරියට මතක නැත) තොරතුරු සටහන් පොතේ ගලවා ඉවත්කරන ලද පිටු දෙක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පති නානායක්කාරට බාරදෙයි.
උපපොලිස් පරීක්ෂක සුගතපාල විසින් නියෝජ්‍ය පොලිස්පතිට මෙසේ මෙදින භාරදෙන ලද තොරතුරු සටහන් පොතෙන් ගලවා ඉවත්කළ මුල් පිටු දෙකත්, ඊට පෙර දිනෙක භාරදුන් ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොතත් අද දක්වාම තිබෙන්නේ අතුරුදහන්ව ය. එනම්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීගේ අනුදැනුම ඇතිව, පොලිස්පති වික්‍රමරත්නගේ අණකිරීමට අනුව නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර අතට පත්කරන ලද ලසන්ත ඝාතනයට අදාළ බලවත් සාක්ෂි සපයන ලේඛන දෙකක් මේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් හිතාමතා අස්ථාන ගතකරනු ලැබ ඇත.
“ගෝඨාභයගේ නියෝග මත සිදුවූ මිනීමැරුමක්”
ඉන් අනතුරුව, ලසන්තගේ මෝටර් රථයේ තිබී සොයාගන්නා ලද, ඝාතනය සිදුවන්නට පෙර සිදුවූ සැකකටයුතු සිදුවීම් ද ලසන්ත විසින් සටහන්කර තබන ලද පෞද්ගලික දිනපොත, යතුරුපැදි අංක දෙක ලියාගත් ක්ෂේත්‍ර සටහන් පොත, නඩුවට අදාළ බී වාර්තා හා විමර්ශන සටහන් ඇතුළු අනෙකුත් ලේඛනවල ඡායාපිටපත් ඉටිබෑගයකට දමා, එය තවත් කළුපැහැ ගමන්මල්ලක බහා, තමන් එකල පදිංචිව සිටි අංක 467/E, පරණ ගුවන්තොටුපොළ පාර, කටුකුරුන්ද, නාගොඩ, කළුතර ලිපිනය දරන නිවසේ පඩිපෙල යට සැඟවීමට සුගතපාල කටයුතු කරයි.
ජනවාරි 22වැනිදා ලසන්ත ඝාතනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මිරිහානේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී පැවැත්වෙන අතර, එයට සුගතපාල ද සහභාගී වෙයි. එහිදී නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර පවසා ඇත්තේ “ලසන්ත වික්‍රමතුංග මහතා සමඟ තරහ තිබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, ඒ නිසා මේ මිනීමැරුම එතුමාගේ නියෝග මත සිද්ධ වූ එකක් කියාත්” ය.
(මෙහි උපුටාගැනීමේ සලකුණු (“…”) යටතේ එන කොටස් උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත කරනු ලබන ‘ව්‍යවස්ථාපිත ප්‍රකාශයෙන්’ උපුටාගන්නා ලදී.)
(03)
2009 ජනවාරි 08 වැනිදා සිදුවූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාලට, ජනවාරි 25වැනි දා ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීගෙන් ඇමතුමක් ලැබේ.
ඉන් දැනුම්දෙන්නේ, අත්තිඩිය ඇළේ ගිල්වාඇති ඝාතනයට සම්බන්ධ යතුරුපැදියක් ගැන තොරතුරක් පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට ලැබී ඇති බවත්, එය සොයා ගොඩගැනීමට මිනිසුන් කිහිපදෙනෙක් සොයාගන්නා ලෙසත් ය.
සුගතපාල අත්තිඩිය ප්‍රදේශයේ තමන් දන්නා හඳුණන තැනැත්තෙක් වූ දහනායක චන්ද්‍රපාල නැමැත්තා හමුවී සිය අවශ්‍යතාව දැනුම්දෙන අතර, මේ කාර්යය සඳහා ඔහු ලවා තවත් සහායකයෙක් සොයාගනී. ඒ රාමසාමි සිවලිංගම් නැමැත්තෙකි.
අත්තික්කා ගහ යට බලාපන් – නිර්නාමික ඇමතුම
26 වැනිදා චන්ද්‍රපාල හා සිවලිංගම් යන දෙදෙනා ලවා සුගතපාල අත්තිඩිය ඇළේ යතුරුපැදිය සෙවීම අරඹයි.
දවස තිස්සේම හෙව්වත් ඔවුන්ට ඒ කියන යතුරුපැදියක් ගැන හෝඩුවාවක්වත් හමුනොවේ.
එබැවින්, 27වැනිදා ද උදේ 7පමණ සිට නැවතත් සෙවීම් ආරම්භ කැරේ.
එසේ සොයමින් සිටින අතර සුගතපාලගේ ජංගම දුරකතනයට නාඳුනන අයකුගෙන් ඇමතුමක් ලැබේ.
“ගිහිල්ලා ඔය මෝටර් සයිකලේ හොයන අයට කියන්න ඔතන තියෙන අත්තික්කා ගහයට බලන්න කියලා,” ලබාදුන් කෙනෙක් නොදන්නා එම අද්භූත ඇමතුමෙන් කියැවේ.
ඒ අනුව එකී අත්තික්කා ගහයට සෙවීම් සිදුවන අතර, එහි තිබී අංක WP MO 9634 දරන හොන්ඩා වර්ගයේ නිල්පැහැ යතුරුපැදියක් සොයාගැනේ.
මේ ඇළේ ගිල්වන ලද යතුරුපැදිය සෙවීමේ කටයුතුවලට නියෝජ්‍ය පොලිස්පති නානායක්කාරගේ උපදෙස් ද ලැබුණු බව සුගතපාල සඳහන් කරයි.
සොයාගන්නා ලද යතුරුපැදියේ එන්ජින් අංකය 03P47M99297 සහ චැසි අංකය 03P48C00883 ලෙස සටහන් වී තිබේ.
බොරු අංකයක් යොදා ඇළේ ගිල්වලා
පසුදින මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා වාර්තාවට අනුව එහි WP MO 9634 දරන අංකතහඩුව ව්‍යාජ එකක් බව හෙළිවෙයි. එන්ජින් අංකය හා චැසි අංකයට අනුව, අත්තිඩිය ඇළෙන් සොයාගන්නා ලද යතුරුපැදියේ ලියාපදිංචි අංකය වන්නේ HC 5665 ය. එසේම එය 2003 ඔක්තෝබර් 03 වැනිදින සිට අයත්ව තිබෙන්නේ වව්නියාවේ අංක 61, ශිවන් කෝවිල පාර, කොනිකල් යන ලිපිනයේ පදිංචි පරමස්වාමි ත්‍යාගාරාජා නම් පුද්ගලයකුට බවත් අනාවරණය වෙයි.
මේ තොරතුර අනුව වව්නියාවට යන පොලිස් විමර්ශන කණ්ඩායම ත්‍යාගරාජා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසියට රැගෙනවිත් ප්‍රකාශයක් සටහන්කරගනී. එහිදී අනාවරණය වන්නේ බසාර් වීදියේ අංක 132 ස්ථානයේ රන්භාණ්ඩ වෙළෙඳසලක් පවත්වාගෙන යන ශාන්ත සෝලා පාර, පුන්තෝට්ටම්, වව්නියාව යන ලිපිනයේ පදිංචි විශ්නුකුමාර් නැමැත්තාට ත්‍යාගරාජා විසින් යතුරුපැදිය විකුණා ඇති බවයි.
ඝාතනය ඒල්ටීටීඊ ගිනුමට
මේ අලුත් හිමිකරු පිළිබඳ සිදුකරන විමර්ශනවලින් සොයාගැනෙන්නේ, මේ කියන යතුරුපැදිය 2009 ජනවාරි මස අතුරුදහන් වී ඇති බව ය. විශ්නුකුමාර් ගේ බිරිය තවත් පුද්ගලයෙක් සමඟින් ගල්කිස්ස පොලීසියට පැමිණ ලබාදෙන ප්‍රකාශයට අනුව මේ යතුරුපැදියත් සමග සිය ස්වාමියාත්, ඔහුගේ මිතුරෙකුත් 2009 ජනවාරි 19වැනිදා සිට අතුරුදහන් වී තිබේ.
මේ යතුරුපැදි නාටකයත් සමග නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීත් කියාසිටින්නේ ලසන්ත ඝාතනය එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළ බව ය. ඒ අනුව, මේ අලුත් කතාව ඇතුළත් කර මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමරබන්දු අලුත් බී වාර්තාවක් සකස් කරයි.
විමර්ශන කඩාකප්පල්
මෙතැනින් එපිටට ඉහළ නිලධාරීන් කිසිවෙක් තමන්ට විමර්ශන ඉදිරියට ගෙනයාම සඳහා උපදෙස් ලබා නොදුන් බැවින් ද, තමන්ට සිදුකර තිබූ තර්ජන හේතුවෙන් ද, නියෝජ්‍ය පොලිස්පති හා ජ්‍යෙයේෂ්ඨ පොලිස් අධිකාරී විසින් පවත්වන ලද ප්‍රගති සමාලෝචන රැස්වීම්වල දී ඒ ගැන කිසිවක්ම කතා නොවුණු බැවින් ද, තමන් ඉන් එහාට මේ ගැන විමර්ශන සිදුකරන්නට ගියේ නැතැයි උප පොලිස් පරීක්ෂක සුගතපාල පවසයි.
ලසන්ත ඝාතනය පිළිබඳ විමර්ශන අයාලේ යවන්නේ මෙතැන් පටන් ය.
නිසිපරිදි විමර්ශන සිදුනොවෙන්නේය යි නැඟෙන චෝදනාව නිසා 2009 නොවැම්බරයේ CIDයට බාරවන විමර්ශන, ඔවුන් විසින් ඉතාම වැදගත් හෝඩුවාවක් වන ලසන්ත ඝාතනය සිදුවූ කාලවකවානුවේ ලසන්ත දෛනිකව සැරිසැරූ මාර්ගයේ ක්‍රියාත්මක වූ එකළඟ අංක සහිත සැකසහිත ජංගම දුරකතන අංක 5ක් සොයාගෙන තිබියදී, CIDයෙන් ගලවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරවෙයි. එතැන් පටන් වසර 5ක් යනතුරු, එනම් ‘යහපාලන’ ආණ්ඩුව යටතේ 2015 පෙබරවාරි 25 වැනිදා යළිත් විමර්ශන CIDයට භාරවන තුරු විමර්ශන සිදුකරන්නේ මේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි.
CIDයට නැවතත් විමර්ශන භාරවීමෙන් අනතුරුව, යතුරුපැදි නාටකය කරා නැවතත් ඔවුන්ගේ විමසුම් ඇස එල්ල වේ. එහිදී තවත් සැකසහිත කාරණා ගණනාවක් හෙළිදරව් වෙයි. ඒ අතර අත්තිඩිය ඇලෙන් යතුරුපැදිය මතුවීමේ සිදුවීමට අදාළ ඉතා වැදගත් තොරතුරක් ද වෙයි.
ඒ තොරතුරට අනුව සිදුවීම් පෙළගැස්මේ කාල රේඛාව අතිශයින් සැකසහිත ය.
ලසන්ත ඝාතනයට පැමිණි බවට සැකකරන යතුරුපැදියක් අත්තිඩිය ඇළේ ගිල්වා ඇති බවට තමන්ට ලිඛිත ඔත්තුවක් ලැබී ඇති බැවින් එය ගොඩගන්නා ලෙස එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මාර්ගයෙන් දැනුම් දෙන්නේ 2009 ජනවාරි 25 වැනිදා ය. එහෙත් පොලිස්පතිවරයා කියන ලිඛිත ඔත්තුව ඔහුගේ කාර්යාලයට ලැබෙන්නේ ඊට දිනකට පසු, එනම් 26වැනිදා බව, අදාළ ලියවිල්ල ලද බවට දිනය සහ අත්සන සහිතව පොලිස්පති කාර්යාලයෙන් තබන සටහනෙන් හා දින මුද්‍රාවෙන් හෙළිවෙයි.
පොලිස්පතිගේ බොරුව අතේ පත්තු
එනම්, තමන්ට ලිඛිත ඔත්තුවක් ලැබීඇතැයි පොලිස්පතිවරයා දැනුම්දී යතුරුපැදිය ගොඩගන්නා මෙන් නියෝගකරන දින වනවිට මේ කියන ඔත්තුව ලිඛිතව ඔහු අතට පත්ව තිබී නැත. එය ඔහු අතට එන්නේ ඉන් දිනකට පසුව ය. එහෙත් එවැනි ඔත්තුවක් තමන්වෙත ලිඛිතව ලැබෙන බව ජයන්ත වික්‍රමරත්න පොලිස්පතිවරයා දවසකට පෙර දනී.
මේ ලිඛිත පණිවිඩය ද අපූරු එකකි. අරවින්දන් නම් ආරූඪ නාමයකින් එය එවා තිබේ. CID අනුමානයට අනුව එම ලියමන ලියාතිබෙන්නේ දකුණු අත හුරු පුද්ගලයෙක් සැබෑ අනන්‍යතාව වසංකිරීමේ අරමුණින් සිය වමත පාවිච්චි කරමිනි.
මේ යතුරුපැදිය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් වව්නියාවෙන් අතුරුදහන් වීමේ සිද්ධිය කරා ආපසු යන විමර්ශනවලින් වැදගත් තොරුතුරු ගණනාවක් සොයාගැනෙයි.
වව්නියාව ප්‍රදේශයේ දී අදාළ යතුරුපැදිය එහි ගමන්කරමින් සිටි හිමිකරු කුමාරසිංහම් විශ්නුකුමාර් සහ ඔහුගේ සේවකයකුත් සමග 2009 ජනවාරි 18වැනිදා ජීප්රියකින් පැහැරගැනීමට ලක්වෙයි. මෙසේ පැහැරගත් පුද්ගලයන්ට සිදුවූයේ කුමක්දැයි විමසිලිමත් වන විමර්ශකයන්ට දැනගන්නට ලැබෙන්නේ, මේ පැහැරගැනීම සිදුවූ ආසන්න දිනෙක අනුරාධපුර ගම්මිරිස්වැව ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කර පුළුස්සා දැමූ මළසිරුරු දෙකක් හමුවී ඇති බව ය.
වසර 6කට එපිට සිදුවූ මේ ඝාතන සම්බන්ධයෙන් එදා පශ්චාත් මරණපරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා, ඝාතනය වූ දෙදෙනාගේ හිස්කබල් දෙක සුරැකිව තබාගෙන ඇත්තේ මරණකරුවන් හඳුනා නොගැනුණු බැවින් හා, අනාගත විමර්ශනයක දී ඇවැසි වියහැකි බැවිනි. මේ හිස්කබල් දෙක හා ඉන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල ඉහත යතුරුපැදිය සමඟින් අතුරුදහන් වන පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ඩීඑන්ඒ සමග සසඳා බැලීමේ දී ඒවා එකිනෙක ගැලපෙන අතර, ගම්මිරිස්වැව දී මරාදමා ඇත්තේ වව්නියාවෙන් පැහැරගත් පුද්ගලයන් දෙදෙනා බව ඒ අනුව වසර 6කට පසු තහවුරු වේ.
කොටි සම්බන්ධයත් තනිකර ප්‍රබන්ධයක්
මේ පුද්ගලයන් දෙදෙනාට එල්ටීටීඊය සමග කිසිදු සබඳතාවක් තිබී නැති බවට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් තහවුරු වී ඇත. ඒ අනුව 2009 වසරේ මේ යතුරුපැදිය සොයාගත් අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති නානායක්කාරත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීත් ‘ලසන්ත ඝාතනය එල්ටීටීඊ ක්‍රියාවකැ’යි කී ප්‍රකාශය සේම ඒ මත පදනම් ව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් සකසන ලද බී වාර්තාව ද බොරු වේ.
එසේම ලසන්ත ඝාතනයට යොදාගත් යතුරු පැදියකැයි පොලිස්පතිවරයා ම දැනුම්දුන් යතුරුපැදිය පැහැරගැනෙන්නේ ඝාතනයෙන් දින 10කට පසුව ය. තවත් වැදගත් කරුණක් නම්, මෙම යතුරුපැදිය වව්නියාවේ සිට මැදවච්චියෙන් මෙපිටට පැමිණි බවට කිසිදු පොලිස් හෝ හමුදා මුරපොළක ලියාපදිංචියක්, සටහනක් තබා හෝඩුවාවක්වත් සටහන් නොවීම ය. යුද්ධය එහි උපරිමයෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ මේ සමයේ දී වව්නියාවෙන් එපිට සිට කිසිදු වාහනයක් මෙසේ ලේඛනගතවීමකින් තොරව මැදවච්චියෙන් මෙපිටට ගෙනඒමේ හැකියාවක් නොතිබිණි. ඊට විශේෂ හේතුවක් වූයේ එවැනි රියක බෝම්බ අටවා තිබිය හැකිවීමේ අවදානම යි.
එසේ කිසිදු සටහනක් නැතිව වව්නියාවේ සිට මේ යතුරුපැදිය කොළඹ පැමිණියේ නම් එහි තේරුම වන්නේ ඒ පසුපස ඉතාම බලගතු දේශපාලන හෝ මිලිටරි මැදිහත්වීමක් පැවතී ඇති බව යි.
මරුවන් ලුබුහැඳ එද්දී ලසන්ත ලියාගත් යතුරුපැදි දෙකේ සැබෑ හිමිකරුවෝ කවරහුද?