Wednesday, April 24, 2024

“යුදකරණය සහ වගවීමක් නැති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දිගටම සෝදා පාලු වෙයි” – මානව හිමිකම් මහ කොමසාරිස්වරිය (සම්පූර්ණ කතාව)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන සමාජ, ආර්ථික හා ආන්ඩුකරණයේ අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීමක් නොමැතිකම විසින්  රටෙහි මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව  විඛාදනීය බලපෑමක් ඇති කරන බව යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද ජිනීවාහිදී ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 48වන සැසිවාරයට ශ්‍රී ලංකාව පිලිබඳ සිය වාචික වාර්තාව ඉදිරිපත් කරමිනි.

ශ්‍රී ලංකාව පිළිබඳ සිය අවසාන වාර්තාවේ හඳුනාගත් ප්‍රවනතාවයන් සහ ගැටලු පිළිබඳ මානව හිමිකම් කවුන්සිලය යාවත්කාලීන කිරීමට ලැබීම ගැන තමා සතුටු වන බව පැවසූ මිෂෙල් බෂලේ මෙම යාවත්කාලීන කිරීම සඳහා සූදානම් වීම පිනිස රජය විසින් එවන ලද යෙදවුම් ලැබුණු බවද සඳහන් කළාය.

පසුගිය ජුනි මාසයේදී ජනාධිපති රාජපක්ෂ විසින්  “ජගත් සංවිධානය සමඟ වගවීම සහතික කිරීම සඳහා කැපවී” කටයුතු කරන බවටත් “අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ” ක්‍රියාත්මක කරන බවටත් කරන ලද  ප්‍රකාශය ද  තමා සැළකිල්ලට ගන්නා බවද ඇය කියා සිටියාය.

ඒ සමඟම ඇය කියා සිටියේ එකී කැපවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ  මානව හිමිකම් කවුන්සිලයේ වාර්තා සහ විවිධ මානව හිමිකම් යාන්ත්‍රණයන් විසින්  කර ඇති නිර්දේශයන්ට අනුකූලව  සිදුවිය යුතු බවත් එහිලා සහාය වීමට  ඇයගේ කාර්යාලය සූදානම්ව සිටින බවත්ය.

මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙහි ඇතුළත් වන අනෙක් කරුණූ මෙසේය:

මෙම වසර අවසානය වන විට එහි බලාධිකාරය  අවසන් වන  2021 ජනවාරි මාසයේදී  (ජනාධිපති විසින්) පත් කරන ලද ජාතික පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව කඩිනමින් ප්‍රසිද්ධ කරන්න. එවිට වැඩ කටයුතු සහ නිර්දේශ තක්සේරු කළ හැකි වනු ඇත.

(මෙම ඉල්ලීම මගින් වක්‍ර ලෙස අදහස් කැරෙන්නේ 2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ වගවීම පිළිබඳ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඇය විසින් කවුන්සිලයේ 29 වන සැසි වාරයට ඉදිරිපත් කිරීමට පෙර එම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසයි. – ශ්‍රී ලංකා බ්‍රිෆ්)

මෑතදී, ගැඹුරු වන ආර්ථික අවපාතයක් තුළ ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කරනු පිනිස  ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය ඉතා පුළුල්ය. එමගින් සිවිල් කටයුතු තුළ මිලිටරි භූමිකාව ඉහළ යා හැකිය. හදිසි නීතිය ක්‍රියාත්මක වන අන්දම ගැන මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විමසිල්ලෙන් සිටිනු ඇත.

ජනාධිපතිවරයා මෑතකදී සමහර සිවිල් සමාජ නායකයින් හමුවීම ගැන වැදගත් කරුණකි. එම සංවාදය පුළුල් කරන ලෙසත් සිවිල් අවකාශය විවෘත කිරීමට පියවර ගැනීම අවශ්‍ය බවත් ප්‍රකාශය සටහන් කරයි.

අදහස් ප්‍රකාශනයට බාධා

මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල් නිරීක්ෂණය සහ සෝදිසි කිරීම, බිය ගැන්වීම සහ අධිකරණ හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වනවා පමණක් නොව, රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක පිරිස් එනම්, සිසුන්, ශාස්ත්‍රාලිකයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයින් දක්වා පුළුල් වී තිබීම කනගාටුවට කරුණක් බව ඒ සමඟම ප්‍රකාශය සඳහන් කරයි..

සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට අධික ලෙස බලය යෙදවීමත්  නිරෝධායන මධ්‍යස්ථාන තුළ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමත් සිදු වූ  බවද එය සටහන් කරයි.

සිවිල් සමාජ කණ්ඩායම් නියාමනය පිළිබඳ නව රෙගුලාසි සම්පාදනය කෙරෙමින් පවතින අතර එමගින් ඔවුන් මූලික නිදහස සඳහා ඇති තහංචි තවදුරටත් දැඩි කරනු ඇතැයි යන බිය පහළ වී තිබෙන බව දක්වන එම ප්‍රකාශය එකී කෙටුම්පත වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය කරන ලෙසත් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටී.

කරන්නාගොඩ නිදහස් කිරීම

සංකේතාත්මක හෝ ලාංචනික (emblematic) මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ඇති තිබෙන වර්ධනයන් ගැන‍ සැලකිලිමත් වන බව ප්‍රකාශ කරන ප්‍රකාශය 2008 සහ 2009 දී වසරයන්හිදී 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ නඩු විභාගයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ  එරෙහිව තිබු චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ක්‍රියා කිරීම පිළිබඳව කණස්සල්ල පළ කරයි.

විවිධ  පරීක්ෂණ  නො තකා, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවෝ සහ ආගමික නායකයෝ දිගින් දිගටම සත්‍යය සහ යුක්තිය ද එම ප්‍රහාරයන්ට අවස්ථාව සැළසූ තත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ද දිගටම ඉල්ලා සිටින බව  ප්‍රකාශය සටහන් කරයි.

දුමින්දට දුන් සමාව

2011 දී දේශපාලනඥයෙකු ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා මෑතකදී සමාව දීම නීතිය හා නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමේ අවදානම ද ඇති කරයි.

පොලිස් අත්අඩංගුවේ දී සහ මත් ද්‍රව්‍ය අපරාධ කල්ලි සමඟ සිදු වූ පොලිස් ගැටුම් මැද  දිගටම සිදු වන මරණයන්ද නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් වධහිංසා පැමිණ වීම සහ නපුරු ලෙස සැලකීම පිළිබඳ ලැබෙන අඛණ්ඩ වාර්තා කනස්සල්ලට හේතු වේ.

මාර්තු මාසයේදී, නව “රැඩිකලීකරණය” රෙගුලාසි නිකුත් කරන ලද අතර, නඩු විභාගයකින් තොරව අවුරුදු දෙකක් දක්වා අත්තනෝමතික ලෙස පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමට එමගින් අවසර ලැබේ. මෙම නියෝගය අභියෝගයට ලක් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ප්‍රකාශය සටහන් කරයි. ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කෙරෙන දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් 300 කට වැඩි සංඛ්‍යාවක් රජය විසින් තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ත්‍රස්ත පනත

ජුනි මාසයේදී විවාදයට තුඩු දි ඇති  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන්  කරන ලද සහ කාලය අවසන් වීමට ආසන්නව සිටි සිරකරුවන් 16 දෙනෙකුට සමාව දෙන ලදී. මෙම පනත යටතේ සිටින රැඳවියන්ට ඔවුන්ගේ නඩු නැවත සලකා බැලීම සඳහා ඉල්ලුම් කළ හැකි උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර මෙම දීර්ඝ කාලීන නඩු සඳහා ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීමේ සිය අභිප්‍රාය රජය විසින් තහවුරු කර ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් ද ස්ථාපිත කර ඇත.

කෙසේ වෙතත්, ජනයා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙම පනත අඛණ්ඩව භාවිතා කිරීම ගැන දැඩි කනස්සල්ලට හේතුවකි.

හෙයිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම්

නීතිඥ හෙයිජාස් හිස්බුල්ලා පිළිගත හැකි සාක්ෂි නොමැතිව එම පනත යටතේ මාස 16 ක් න යටතේ රඳවාගෙන සිටී. එසේම, 2020 මැයි සිට ගුරුවරයෙකු හා කවියෙකු වන අහ්නාෆ් ජසීම් කිසිදු චෝදනාවක් නොමැතිව රඳවා තබාගෙන සිටී.  මෙම පනත භාවිතා කිරීම වහාම අත්හිටුවන ලෙසත්, එය සමාලෝචනය කිරීම හෝ අවලංගු කිරීම සඳහා පැහැදිලි කාල රාමුවක් සකස් කරන ලෙසත් ඉල්ලා සිටී.

හානි පූර්ණය සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් අගෝස්තු මාසයේදී අනුමත කරන ලද අතර, වන්දි ගෙවීම් සහ සංහිඳියා වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. කිලිනොච්චියේදී හයවන ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ද අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇතත් එය වින්දිතයින් අතර විශ්වාසයක් ඇති කළ යුතුය.

විනිවිද පෙනෙන, වින්දිතයින් කේන්ද්‍ර කරගත් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදී ප්‍රවේශයන්ගේ වැදගත්ය. හානි පූර්ණ වැඩසටහන් සඳහා පුළුල් සත්‍ය හා යුක්ති පියවරයන් ඇතුළත් විය යුතු බවත් ප්‍රකාශය  නැවත අවධාරණය කරයි.

ජාතික මානව හිමිකම් කොමිසම පැරිස් මූලධර්මයන්ට අනුකූලදැයි තීරණය කිරීම සඳහා විශේෂ සමාලෝචනයක් ආරම්භ කිරීමට ජාතික මානව හිමිකම් ආයතනයන්හි ගෝලීය සන්ධානය පසුගිය මාසයේ තීරණය කර තිබේ. කොමිසමේ පත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි ඵලදායීතාවය සහ  මානව හිමිකම් නියෝගය ඉටු කිරීම එය විසින් සැලකිල්ලට ගනු ඇත.

46/1 යෝජනාවේ වගවීම සම්බන්ධ අංශ ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භක කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා වන වැඩ කටයුතු ආරම්භ වී තිබේ.

එක්සත් ජාතීන් විසින් මේ වන විටත් ශ්‍රී ලංකාව සම්බන්ධ  අයිතම 120,000 කට ආසන්න ප්‍රමාණයක් සහිත තොරතුරු හා සාක්ෂි ගබඩාවක්  සකස් කර තිබේ. හැකි තරම් තවත් තොරතුරු රැස් කිරීම  මේ වසරේ ආරම්භ කරනු ඇත.

මෙම කාර්යය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට මගේ කාර්යාලයට හැකි වන පරිදි අය වැය ක්‍රියාවලිය මඟින් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස  සාමාජික රටවලින් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත්, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාමේදී විශ්වාසනීය ප්‍රගතියක් ලබා ගන්නා ලෙසත් මානව හිමිකම් කොමසාරිස්වරිය කවුන්සිලයේ සාමාජික රටවල් දිරිමත් කරයි.

( මෙය ශ්‍රී ලංකා බ්‍රිෆ් විසින් සකස් කරන ලද සටහනක් මිස  මුල් ඉංග්‍රිසි ප්‍රකාශයේ නිල පරිවර්ථනයක් නොවන බව සළකන්න.)

Archive

Latest news

Related news