Thursday, November 21, 2024

වසංගතය මැදින් විනාශය කරා හීනෙන් ඇවිදීම සහ වියැකී යන ‘69-ලක්ෂ පම්පෝරිය’

සිතුවමකට නැගුණූ කලු මරණය. ( https://fischen.ch/)

පසු ගිය සැප්තැම්බර් 1 දා වන විට ශ්‍රී ලාංකිකයින් 9,185 ක් පමණ කොරෝනා වසංගතයට ගොදුරු වී තිබේ. රෝගීන්ගෙන් අධික ලෙස පිරී ඉතිරී ගිය රෝහල්වල අසාමාන්‍ය දසුන් රට පුරා දක්නට ඇත. රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොරිඩෝව දිගේ රෝගීන් බිම වැතිරී සිටින අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වන වීඩියෝ පටයක දැක් වේ. මැයි මාසයේ දී ඉන්දියාවෙන් හදිසි වෛද්‍ය ඔක්සිජන් මිල දී ගැනීම් සිදු වූ අතර, වාර්තා වන පරිදි මේ වන විට ශ්‍රී ලංකාව දැඩි සත්කාර ඒකක ඇඳන් හිඟයකට මුහුණ දී සිටී.

සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් පවතින විට, බොහෝ දෙනෙකු කල් තබා දුටු පරිදි, තත්වය පාලනය කිරීමට නොහැකි තත්වයක් ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති බවට හැඟීමක් ඇති වේ. ඉන්දියාවේ සහ වෙනත් බොහෝ රටවල දත්ත පැහැදිලිය; ඩෙල්ටා ප්‍රභේදය ලෙස ද හැඳින්වෙන B.1.617.2 ඉක්මනින් ව්‍යාප්ත වෙමින් ඇති අතරතුර, මහජනතාව ආරක්ෂා කිරීම සඳහා සූදානම හා පූර්වාරක්ෂාව අවශ්‍ය වේ.

ජනතාවගේ යහපත සඳහා යයි කියමින්, පණ අදින ආර්ථිකයක් විවෘත කර තැබීමේ වඩාත් හදිසි ප්‍රමුඛතාවය විසින් මිනිස් ජීවිත රැක ගැනීම යටපත් කරන ලදී.

සිංහල දෙමළ අළුත් අවුරුදු කාලයට පෙර සහ ඒ අතරතුර වෛද්‍ය විශේෂඥයින් ඉල්ලා සිටියේ ඩෙල්ටා ප්‍රභේදයේ නොවැළැක්විය හැකි ව්‍යාප්තිය අඩුම තරමින් ප්‍රමාද කිරීම සඳහා හෝ රට අගුළු දැමිය යුතු බවයි. ඒ වන විට ශ්‍රී ලංකාවේ මුළු මරණ සංඛ්‍යාව යන්තම් 600 කට වඩා වැඩි වූ අතර දෛනික මරණ සංඛ්‍යාව තනි ඉලක්කම්වලින් සඳහන් විය.

ඩෙල්ටා ප්‍රභේදයේ සමාජ ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් වාර්තා වූයේ ජුනි 18 වැනි දාය. ඉන්දියාවේ විනාශකාරී අප්‍රේල් ව්‍යාප්තිය එහි බරපතලකම සඳහා ප්‍රමාණවත් සාක්ෂියකි. ඩෙල්ටා ප්‍රභේදය වඩාත් ආක්‍රමණශීලී හා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සුළු වූ නිසා, ඉන්දීය වෛද්‍ය ප්‍රජාව තදින් සිටියේය.

අවාසනාවකට මෙන්, දහස් ගණන් ශ්‍රී ලාංකිකයින් සඳහා එය එසේ නොවීය. ජනතාවගේ යහපත සඳහා යයි කියමින්, පණ අදින ආර්ථිකයක් විවෘත කර තැබීමේ වඩාත් හදිසි ප්‍රමුඛතාවය විසින් මිනිස් ජීවිත රැක ගැනීම යටපත් කරන ලදී.

පුරවැසියන් අන්ත අසරණව හිර වී සිටිය දී, ජනාධිපතිවරයා මෑතක කළ ජාතිය ඇමතීම අතරතුර, ඔහු ඉල්ලා සිටියේ “රටේ සියලු දෙනා වැඩි වැඩියෙන් කැප කිරීම් කිරීමට සූදානම් විය යුතු බවයි.” [ජනතාව] දැනටමත් සිදු කර ඇති පරිත්‍යාග ගැන ඔහු තුළ සහකම්පනයක් නොවීය, ඛේදජනක ජීවිත හානි පිළිබඳ දයානුකම්පිත වචනයක් වත් කියැවුණේ නැත.

අගෝස්තු 13 දා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර රන්නන්එළිය ප්‍රකාශ කළේ, වර්තමාන අනාවැකි අනුව 2021 අවසානය වන විට ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවිය හැකි බවයි. එකල ද්විත්ව එන්නත්කරණය 10%ක් පමණ වූවත්; සමස්ත සම්ප්‍රේෂණ අනුපාතයේ සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. රෝග පරීක්ෂණ කිරීමේ සහ රෝගීන් සොයා ගැනීමේ හැකියාව පිළිබඳ මිනුම් දණ්ඩේ ශ්‍රී ලංකාව සිටියේ පහළම ස්ථානයේ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

2021 අගෝස්තු 30 වන දිනට පෙර දින හත තුළ දී රටේ තත්වය කෙතරම් භයානක වූයේ ද යත්, ලෝකයේ මිලියනයකට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතුරින් මරණ 54 ක් සිදු වූ ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි විය.

සති කිහිපයකට පසුව පමණක්, මුළුමනින්ම එන්නත් කරන ලද සංඛ්‍යාව 30% දක්වා ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති අතර, එය ශ්‍රී ලංකා හමුදාවේ සහ ඔවුන්ගේ දිවයින පුරා පිහිටි 24-පැය එන්නත් මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාව පෙන්නුම් කරයි. මෙම උත්සාහයන්ට ස්තූතිවන්ත වන්නට, අද බොහෝ අඩු මධ්‍යම ආදායම් ලබන බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව තුළ පූර්ණ එන්නතකරණයේ හොඳ අනුපාතයක් තිබේ. බංග්ලාදේශය (3.8%), ඊජිප්තුව (2%), ඉන්දුනීසියාව (12%), පකිස්ථානය (6%), කෙන්යාව (1.5%), ඉරානය (5%), ඉන්දියාව (10%).

කෙසේ වෙතත්, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ගෝලීය වසංගතයක් තුළ සෑම දෙයකටම වඩා කාලය වැදගත්ය. එන්නත් කිරීමේ අනුපාතය ඉහළ යන අතරම, ආසාදන ගණන සහ මරණ ද ඉහළ යමින් පවතී. වෛද්‍ය රන්නන්එළිය පෙන්වා දෙන පරිදි, රෝග පරීක්ෂණ සංඛ්‍යාව අනුව බලන විට ශ්‍රී ලංකාව ඊට සමාන රටවල්වලට වඩා පසුගාමීය. අගෝස්තු අවසාන සතිය වන විට ශ්‍රී ලංකාවේ දශ ලක්ෂයකට 500 ක පමණ දෛනික පරීක්ෂණ සිදුව තිබුණි. එහෙත් ඉන්දියාව (1,384), ඉරානය (1,159), වියට්නාමය (1,644) හා පිලිපීනය (520) යන රටවල් සියල්ලේම ශ්‍රී ලංකාවට වඩා ඉහළ පරීක්ෂණ ගණනක් සිදු විය.

2021 අගෝස්තු 30 වන දිනට පෙර දින හත තුළ දී රටේ තත්වය කෙතරම් භයානක වූයේ ද යත්, ලෝකයේ මිලියනයකට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතුරින් මරණ 54 ක් සිදු වූ ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි විය. එම දින 7 ඇතුළත තත්ත්වය නරක අතට හැරුණු අනිකුත් රටවල් 4 නම්, බොට්ස්වානා (57), ඊස්වාටිනි (64), උතුරු මැසිඩෝනියාව (72) හා ජෝර්ජියාව (102) වේ.

ප්‍රමුඛතාවය දුන්නේ මහජන සෞඛ්‍යයට ද දේශපාලනයට ද?

තීරණාත්මක අවස්ථාවල දී රජය සිදු කළ බොහෝ වැරදි පසෙක තිබිය දී, බෙහෙවින් සුවිශේෂී එන්නත් කිරීමේ වැඩ සටහනක් මගින් හමුදාව විසින් සැලකිය යුතු සේවයක් සලසා දී තිබේ. 2020 වසංගතයේ මුල් මාස කිහිපය තුළ බොහෝ රටවල් අධික ලෙස ජීවිත හානිවලට ගොදුරු වූ නමුත් ශ්‍රී ලංකාව ඒ වන විට ලෝකයේ අඩුම මරණ අනුපාතය පැවති රටවල් අතුරින් එකක් විය. 2020 දී කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය යටිතල පහසුකම්වල අවදානමක් නොතිබුණි.

2020 දෙසැම්බර් 31 වන විට සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 204 ක් වූ නමුත් වර්තමාන මරණ සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ, වසර ආරම්භයේ සිටම වසංගතය කළමනාකරණය කර ඇත්තේ මොන තරම් දුර්වල ආකාරයකින් ද යන්නයි.

වසංගතයට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශ කළ ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ආදර්ශමත් ජාතියක් ලෙස පිළි නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය. ඇත්ත වශයෙන්ම 2020 අප්‍රේල් වන විට CMA Australia විසින් බෝ වන රෝග සඳහා ගෝලීය ප්‍රතිචාර දර්ශකයේ ලොව 9 වන හොඳම රට ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණි ගත කර තිබුණි.

කොළඹ යනු ඩකා හෝ නව දිල්ලිය නොවේ; ශ්‍රී ලංකාවේ ජනාකීර්ණ නාගරික ජනගහනය අග්නිදිග ආසියානු කලාපයේ අනෙකුත් බොහෝ ජාතීන් මෙන් එකම තීව්‍රතාවයකින් හෝ සංඛ්‍යාතයකින් යුක්ත නොවේ. 2020 වසර පුරා ශ්‍රී ලංකාවේ හිතකර හා අපේක්ෂා සහගත ආරම්භයක් පැවතියේ නම්, 2021 එළැඹෙන විට කළ හැකි බොහෝ දේ තිබුණි. 2020 දෙසැම්බර් 31 වන විට සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 204 ක් වූ නමුත් වර්තමාන මරණ සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ, වසර ආරම්භයේ සිටම වසංගතය කළමනාකරණය කර ඇත්තේ මොන තරම් දුර්වල ආකාරයකින් ද යන්නයි.

වර්තමාන අගුළු දැමීම් බොහෝ සෙයින් රජය විසින් ගනු ලැබූ තීරණ නොව, විවේචකයින්ගේ ඝෝෂාවකින් බලෙන් ලබා ගන්නා ඒවාය. පසු ගිය සතියේ, වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, සහ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් 14 දෙනෙකුගෙන් සමන්විත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ ස්වාධීන තාක්ෂණ කණ්ඩායම විසින් අගුළු දැමීම දීර්ඝ කරන ලෙසත්, ඒ තුළ ඇති සීමා වැඩි කරන ලෙසත් ඉල්ලා සිටින ලදී. මොනාෂ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් ගණනය කර ඇති පරිදි සැප්තැම්බර් 18 දක්වා අගුළු දැමීම මගින් ජීවිත 7,500 ක් බේරා ගැනීමට හැකි වන බව එම කණ්ඩායම විසින් පෙන්වා දී තිබුණි.

වෛද්‍ය රන්නන්එළිය ඇතුළු බොහෝ වෛද්‍ය විශේෂඥයින් ඉල්ලා සිටි හුදකලා ආසාදිතයන් සොයා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කරනු වෙනුවට ශ්‍රී ලංකාව 2020 වසර පුරාම වටිනා කාලය සහ මහජන මුදල් නාස්ති කළේය. මහ මැතිවරණයක් පැවැත්වීම ද සහ බරපතල ව්‍යවස්ථාමය වෙනස්කම් ද සිදු විය; දේශපාලන රඟහල මුළුමනින්ම රාජ වංශය පිළිබඳ විශ්වාස කළ නොහැකි තරමේ නාඩගමක් සඳහාම කැප විය. ජාත්‍යන්තර දේශ සීමා විවෘත කළ අතර, පසුව වසා දමා නැවත විවෘත කරන ලදී. දේශ සීමා නැවත විවෘත කිරීමෙන් පසු එක් අවස්ථාවක දී රුසියානු සහ යුක්රේන ජාතික සංචාරකයින් මෙරටට පැමිණියේ ඒ දෙරටේම ආසාදන හා මරණ සංඛ්‍යා ඉහළ යමින් තිබිය දීය.

එන්නත් ප්‍රසම්පාදනය ඉතා සුළුයි, ඉතා ප්‍රමාදයි.

පැහැදිලිවම මෙවැනි අමන තීන්දු තීරණ තිබිය දී වුව ද, ගෝලීය වශයෙන් හොඳ තත්වයකට ළඟා වීමේ සෑම අවස්ථාවක්ම ශ්‍රී ලංකාවට තිබුණි. එන්නත් ප්‍රසම්පාදනය සහ එහි කාල සටහනට අදාල විශ්මයජනක කරුණු කිහිපයක් නීතීඥ ආචාර්ය ගෙහාන් ගුණතිලක විසින් 2021 මුල් භාගයේ දී ඉදිරිපත් කරන ලදී.

ඉන්දියාවේ Serum Institute India (SII) විසින් නිෂ්පාදනය කරන ලද Covishield එන්නත සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) 2021 ජනවාරි 22 දින අනුමැතිය ලබා දුන්නේය. දින කිහිපයකට පසු ඊට කැබිනට් අනුමැතිය හිමි විය. ජනවාරි 28 දා එහි පළමු තොගය වශයෙන් මාත්‍රා 500,000 ක් ශ්‍රී ලංකාවට ලැබුණේ ‘අසල්වැසියා පළමුව’ යන ඉන්දීය ප්‍රතිපත්තිය යටතේ පරිත්‍යාගයක් ලෙසය.

Covishield එන්නත් 500,000 ක ප්‍රථම මිල දී ගත් තොගය පැමිණියේ ඉන් මාසයකට පමණ පසු පෙබරවාරි 25 වැනි දාය. මෙම තීරණාත්මක ප්‍රමාදයට හේතු වී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) පූර්ව බලය ලත් දේශීය නියෝජිතයෙකුගේ මාරු කිරීමක් නිසා බව පෙනේ. ප්‍රාදේශීය නියෝජිතයා විසින් ජනවාරියේ දී NMRA අනුමැතිය ලබා ගන්නා ලද බව සලකන විට, රජය විසින් SII වෙත වහාම ඇණවුම් කර පෙබරවාරි මුල වන විට විශාල එන්නත් තොගයක් ලබා ගත හැකිව තිබුණි. SPC මැදිහත් වීමේ අවශ්‍යතාවය පැන නගින තුරුම එවැනි ඇණවුමක් සඳහා සෑම දෙයක්ම ක්‍රියාත්මක විය.

කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හෙළි වූ පරිදි Covishield මාත්‍රාවක මිල ඩොලර් 5.25 ක් විය; Sinopharm එන්නත් මාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකාව අවසානයේ දී ඩොලර් 15 ක් ගෙවනු ඇත.

සමහර වාර්තාවල සඳහන් වූයේ, ප්‍රසම්පාදනය SPC මගින් කරන ලෙස SII විසින් ඉල්ලා ඇති බවයි. එහෙත් ආචාර්ය ගුණතිලක පවසන පරිදි NMRA වාර්තාවේ ඒ ගැන කිසිවක් සඳහන් කර නැති අතර, SII විසින් ජනවාරි මාසයේ බංග්ලා දේශයේ දේශීය නියෝජිතයෙකු මගින් එන්නත් මාත්‍රා මිලියන 5 ක් එරටට ලබා දී ඇත. SPC මැදිහත් වීම අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ද? SPC විසින් නැවුම් අනුමැතියක් ලබා ගත යුතු විය; එයින් අදහස් කළේ මිල දී ගැනීමේ ගිවිසුම සඳහා අනුමැතිය ලබා ගැනීම ඇතුළු සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියම නැවත සිදු කළ යුතු බවයි.

කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හෙළි වූ පරිදි Covishield මාත්‍රාවක මිල ඩොලර් 5.25 ක් විය; Sinopharm එන්නත් මාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකාව අවසානයේ දී ඩොලර් 15 ක් ගෙවනු ඇත. ඉන්දීය නිලධාරීන් උපුටා දක්වමින් Hindustan Times පෙබරවාරි 19 දිනැති ලිපියකින් කියා සිටියේ, SII විසින් ශ්‍රී ලංකාව සඳහා වෙන් කරන ලද එන්නත් මාත්‍රා මිලියන 10 ක ඇණවුමකට ශ්‍රී ලංකාවේ SPC අත්සන් තබා ඇති බවයි.

2021 ජුනි මාසයේ සිට වෙනම වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිඥ රනිල් අඟුණවෙල මෙසේ පැවසීය: “අපගේ අදහස නම්, 2021 ජනවාරි 28 වන දින වන විටත් NMRA-අනුමත එන්නතක් පරිත්‍යාග වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙමින් තිබුණේ නම් ද, එම මාත්‍රාවේ මිල කල් තියා තීරණය කරන ලද්දේ නම් ද, NMRA අනුමත කර දින කිහිපයක් ඇතුළත ‘ඉතා හදිසි හා සුවිශේෂී’ ප්‍රසම්පාදන ඇණවුමකට තව දුරටත් අවහිර කරන සුළු යමක් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල නැත.”

SPC මගින් Covishield මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නේ පෙබරවාරි 22 දා වන අතර ප්‍රථමයෙන් මිල දී ගත් මාත්‍රා 500,000 ක තොගය ළඟා වූයේ මාර්තු 25 දාය. මාසයකට ආසන්න ප්‍රමාදය නිසා ශ්‍රී ලංකාවට අනපේක්ෂිත තත්වයකට මුහුණ පෑමට සිදු විය; ඉන්දියාවේ SII නිෂ්පාදනායතනයේ ඇති වූ ගින්නත් සමගම ඉන්දියාවේ ආසාදන බරපතල ලෙස ඉහළ ගියේ Covishield අපනයනය කිරීම තාවකාලිකව තහනම් කරමිනි.

කරුණු කාරණාවලින් පෙන්නුම් කරන්නේ අතපසු කරන ලද ඉඩ ප්‍රස්ථාවකි: පෙබරවාරි මාසයේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව විසින් සැලකිය යුතු එන්නත් ප්‍රමාණයක් ඇණවුම් කරන ලද්දේ නම්, දහස් ගණන් ශ්‍රී ලාංකිකයින්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් ගැලවීමට ඉඩ තිබුණි. සලකා බැලිය යුතු තවත් කරුණක් නම්, රජය සිය එන්නත් ප්‍රසම්පාදන අවදානමේ වෙනසක් නොකළේ ඇයි ද යන්නයි. ඉන්දියානු SII ආයතනය සහ Covishield කෙරෙහි අධික විශ්වාසයක් තිබුණේ ද?

තීන්දු ගත්තේ මහජන යහපත සඳහා නොවේ.

මහජන සෞඛ්‍ය පිළිබඳ තීරණ දෙස බලා ඇත්තේ ආර්ථික හා දේශපාලන පාට කණ්නාඩිවලිනි. 2021 කාලය පුරාම දුන් පණිවිඩය පැහැදිලි ය; එනම්, මිනිස් ජීවිත වැදගත් නමුත් ආර්ථිකය තරම් වැදගත් නොවේ. සෞඛ්‍ය ගැටළු වැදගත් නමුත් සාම්ප්‍රදායික අළුත් අවුරුද්ද හෝ ඇසළ පෙරහැර වැනි සංස්කෘතික කාරණා තරම් වැදගත් නොවේ.

එන්නත් මිල දී ගැනීම ගැන ස්වාධීන වාර්තාවක් කැඳවන ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වී ඇති නමුත් වසංගතයට ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රතිචාරය ගැන ඔහු තව දුරටත් සලකා බැලිය යුතුය; විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ ආර්ථික ස්ථායීකරණ හා උත්තේජන ක්‍රියාකාරකම් පිළිබඳව සලකා බැලිය යුතුය.!

ශ්‍රී ලංකාවේ වෛරස් ප්‍රතිචාරයේ අඩුපාඩුවක් නැති එකම දෙය ලෙස සැලකිය හැක්කේ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය බව පැවසිය හැකිය. රජයේ ප්‍රතිචාරයේ අනෙක් සෑම අංශයකම පාහේ ප්‍රශ්න පවතී.

එන්නත් ප්‍රසම්පාදනය සහ මිලකරණය පසෙක තැබුව ද, හුදකලා ආසාදන හඳුනා ගැනීමේ පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සිදු කළේ ද? දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් සහ වැඩි සත්කාර වාට්ටු (HDU) ගණන වැඩි කිරීමට ප්‍රමාණවත් පියවර ගත්තේ ද? වෛද්‍ය ඔක්සිජන් සැපයුම්, නිරන්තර පොසිටිව් වායු පීඩන යන්ත්‍ර (C-PAP) සහ වෙන්ටිලේටර සඳහා කල් තබා ඇණවුම් කර තිබේ ද? ඉන්දියාව විසින් අනුමත කර ඇති Hydroxychloroquine හෝ Ivermectin වැනි වෛරස් විරෝධී චිකිත්සක ක්‍රම ගැන රජය සලකා බැලුවේ ද? රෝහල් ගත කිරීම් හා මරණවල වැඩිම පංගුකාරයන් වූ වැඩිහිටියන් සඳහා පරිපාලනය ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ ද? සැලසුම් කිරීමට හා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් පුරවැසියන්ට ලබා දී අගුළු දැමීම කාලෝචිත ලෙස හඳුන්වා දුන්නේ ද?

ශ්‍රී ලාංකිකයන් කළ කැප කිරීම් සැලකිල්ලට ගත් විට, ආර්ථිකයේ තත්ත්වය සහ වැඩි වන මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගත් විට, ජනාධිපතිවරයාගේ ‘69-ලක්ෂ ජනමත පම්පෝරිය’ ගසන්නට දැන් මේ මහ පොළොවේ කිසි තැනක කිසිසේත්ම ඉඩක් නැති බව ඔහු හොඳින් වටහා ගත යුතුය.

-2021 සැප්තැම්බර් 6 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Kusum Wijetilleke ලියූ, ‘Counting the Cost: A President’s Legacy at Risk’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

– ආනන්ද/ LankaeNews

Archive

Latest news

Related news