Tuesday, July 16, 2024

ලොව ප්‍රධානතම මාධ්‍ය සංවිධාන තුන ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක නිදහස් කරන සේ ලංකාණ්ඩුවට බල කරයි!

බෙල්ජියමෙහි ප්‍රධාන කාර්යාලය පිහිටි  ජනමාධ්‍යවේදීන්ගේ අන්තර් ජාතික සම්මේලනය, පැරිසියෙහි පිහිටි දේශසීමා නොමැති වාර්තාකරුවෝ සහ නිව්යෝර්ක්හි මාධ්‍යවේදී ආරක්ෂාව සඳහා වන කමිටුව යන මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කරන ලෝකයේ ප්‍රධානතම සංවිධාන තුනම ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිට තිබේ.

ජනමාධ්‍යවේදීන්ගේ අන්තර් ජාතික සම්මේලනය යනු ලොව පුරා රටවල් 146ක හය ලක්ෂයකට වැඩි සාමජිකත්වයක් සහිත මාධ්‍යවේදී සංවිධාන 187ක් ඇතුළත් ලෝකයේ ප්‍රධානතම ජනමාධ්‍යවේදි ජාලය වේ.

දේශසීමා නොමැති වාර්තාකරුවෝ ආයතනයට රටවල් සහ කලාප 13ක ශාඛා ඇති අතර එය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන ලෝකයෙහි මාධ්‍ය නිදහස පිළිබඳ වාර්ෂික වාර්තාවට ඉහළ පිළිගැනීමක් තිබේ.

මාධ්‍යවේදී ආරක්ෂාව සඳහා වන කමිටුව ලොව පුරා සිටින විශේඥ දැනුමක් සහිත මාධ්‍ය ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් 40 දෙනෙකු සහිත සමන්විත නිව්යෝර්ක් නගරයේ පිහිටි ස්වාධීන ආයතනයකි. ලොව පුරා නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් එය ක්‍රියා කරයි.

මෙම සංවිධාන තුනටම ජාත්‍යන්කර වශයෙන් මහත් පිළිගැනීමක් ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වැනි අන්තර් ජාතික වේදිකාවන්හි ද බලපැමක් තිබේ.

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම සංවිධාන තුනම පෙන්වා දුන්නේ කිසිදු චෝදනාවකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් සිරගත කිරීම මාධ්‍ය නිදහසට පහරක් බවයි.

කීර්ති රත්නායක අත්අඩංගුවෙන් නිදහස් කර ඔහුගේ ඉලෙක්ට්‍රෝනික උපකරණ ආපසු ලබා දී මූලාශ්‍ර හෙළි කරන ලෙසට ඔහුට කරන බල කිරීම ශ්‍රී ලංකා බලධාරීන් නතර කළ යුතු යැයි අවධාරණය මාධ්‍යවේදීන් ආරක්ෂා  කිරීම සදහා වන කමිටුව විදෙස් දූත කණ්ඩායමකට ආරක්‍ෂක තොරතුරු සැපයීම අපරාධයක් නොවන අතර, විවේචනාත්මක මාධ්‍යවේදියෙකුගේ වැඩ කටයුතු විමර්ශනය කිරීමට එය නිදහසට කරුණක් කර නොගත යුතු යැයි  සිටියේය.

දේශසීමා නොමැති වාර්තාකරුවෝ කියා සිටියේ අගෝස්තු 14වනදා අත්අඩංඟුවට ගැනීමෙන් පසු ලංකා ඊ නිව්ස් ආරක්ෂක වාර්තාකරුවකු වන කීර්ති රත්නායකට සිය නීතවේදීන්ට හෝ පවුලේ අයට කතා කිරීමට ඉඩ නොදුන් බවත් ඔහුගේ මාධ්‍ය උපකරණ පොලිස් භාරයට ගත් බවත්ය. ඔහු වහාම නිදහස් කරන සේ දේශසීමා නොමැති වාර්තාකරුවෝ කියා සිටී.

ජනමාධ්‍යවේදීන්ගේ අන්තර් ජාතික සම්මේලනය කියා සිටියේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුවද කීර්ති රත්නායක වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටි ඇති බවයි.

කිර්ති රත්නායකට සම්බන්ධ පුද්ගලයින් සොයා ඇවිදිමින් රහස් පොලිස් කණ්ඩායම් බිය ගැන්වීමේ ක්‍රියාවලිය දිගටම ගෙන යන බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු වසර ගණනාවක් වුව නඩු නොපවරා සිරගත කිරීමට වුව පුලුවන.

 

 

Archive

Latest news

Related news