Tuesday, May 7, 2024

පාස්කු ප්‍රහාරය ගැන ගවේෂනයක් ඉදිරිපත් කළ ෂෙහාන් මාලකගෙන් දින පහක් පුරා රහස් පොලිසිය ප්‍රශණ කරයි!

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් නම් කරන ලද හෝ වෙනත් කවර තැනක  නම් සඳහන් වූ හෝ  කැපී පෙනෙන තැනැත්තන් අතරින් කවර හෝ  තැනැත්තෙකු ගෙන් රහස් පොලිසිය එක දවසක් හෝ ප්‍රශ්න කළේ ද?

“යමකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවනු ලබන්නේ එවැනි අදහසකින් නොවන බව අපි හොඳින්ම දනිමු. ඔවුන් කැඳවනු ලබන්නේ හිරිහැර කිරීමටය. තර්ජනයෙන් බිය ගැන්වීමටය. වදහිංසා කිරීමටය. අත්අඩංගුවට ගෙන  දින නියමයක් නැතිව රඳවා තබා ගැනීමටය.”

අප මේ ප්‍රශ්නය අසන්නේ මේ අපරාධය සම්බන්ධයෙන් ස්වකීය මට්ටමින් විශ්ලේෂනාත්මක විග්‍රහයක්  ඉදිරිපත් කළ තරුණ සමාජ ක්‍රියාධරයකු වන ෂෙහාන් මාලක ගමගේ රහස් පොලිසිය වෙත කැඳවා භයානක අපරාධ කරුවෙකු  හෝ ත්‍රස්තවාදියකු හෝ කුමන්ත්‍රණ කාරයකු මෙන් ප්‍රශ්න කරන අකාරය දැකීමෙනි.

අද, අගෝස්තු 30 වැනිදා පිට පිට ම ඔහුගෙන් ප්‍රශ්න කරන 5 වන දිනය ය.  බදාදා සිට සෙනසුරාදා දක්වා ඇතැම් දිනෙක පැය 12 ක් දක්වා ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබිණි. විවේකයක් තිබුණේ ඉරිදා පමණි. 

අගෝස්තු 21 වැනි දා කාදිනල් හිමියන් විසින් කැඳවන ලද කළු කොඩි දිනයට සහය වීමක් වශයෙන් 20 වැනිදා කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේදී ඔහු රටම අවදි කරන  විශ්ලේෂණයක් කළේය.  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලෙස ද විවිධ පිරිස් විසින් හඳුන්වන ලද ඔහු ගේ ප්‍රකාශය විශ්ලේශ්නාත්මකය. තර්කානුකුලය. සමීක්ෂණ සහ ගවේෂණ ප්‍රතිඵල වලින් යුක්තය.

බහුතර ජනතාව මෙය දකින්නේ එක අතකින් රහස්  පොලිසිය විසින් කළ යුතුව තිබූ වැඩ කොටසක් සාමාන්‍ය පුර වැසියකු විසින් ඉටු කිරීමක් ලෙස ය.  අනෙක් අතින් ෂෙහාන් විසින් ඉටු කරනු ලැබ ඇත්තේ මේ අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින රටේ සමස්ත කතෝලික ජනතාව විසින් සංවිධානාත්මකව ඉටු කළ යුතුව තිබූ කාර්යභාරයකි. මේ තරුණයා තමන් විසින් ම ඉවසිල්ලෙන් සහ ශික්ෂණයකින් යුතුව මේ ගවේෂණය කර ඇති ආකාරයක් දක්නට ලැබේ.

අපි පුදුමයටත් කෝපයටත් පත්ව සිටිමු!

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව පවසන අන්දමට ඔවුන් ඔහු එහි  කැඳවන්නේ ඒ ගැන ප්‍රශ්න කිරීමට ය.

ඔවුන් ඔහු එහි කැඳවන්නේ කාදිනල් හිමිපාණන් ද දිගින් දිගට ම පෙන්වා දෙන  ආකාරයට බෝම්බ ප්‍රහාරය සිදු වී මාස 28ක් ගෙවිලාත් මේ දැවැන්ත අපරාධයේ මහා මොළකරුවන් ගැන හෝඩුවාවක් වත් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වීම ගැන කතෝලික අප පුදුමයටත් කෝපයටත් පත් වී සිටින මොහොතකය. අප  නොදකින අදිසි බලවේගයක බලපෑම නිසා එය සිදු වන්නේය යන්න අපගේ අර්ථ නිරූපනය ය.  (නැති නම්, අපේ රහස් පොලිසියේ දක්ෂතාව ගැන අපට සැකයක් නැත.)

එසේ තිබියදී තරුණ පුරවැසියකු  සිය යුතු කම ඉටු කර තිබේ. එම යුතුකම ඉටුකර ඇත්තේ තමන්ට ඇති අනතුර පවා නොතකා හරිමිනි.

මේ තරුණයා කල හෙළිදරව්වට සවන් දී තමන්  නොදන්නා කරුණු ගැන හෝ තමන් විසින් අතපසු කරන ලද කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉගෙන ගෙන ඉදිරියේදී සිය විමර්ශන මෙහෙයවීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ තරුණයා කැඳවන්නේ නම් ඒ ගැන අපේ අකමැත්තක් නොමැත.

මෙය කුරිරු  කැලෑ නීතියකි..

එහෙත් ඇතැම් ආණ්ඩු විසින් යමකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවනු ලබන්නේ එවැනි අදහසකින් නොවන බව අපි හොඳින්ම දනිමු. ඔවුන් කැඳවනු ලබන්නේ හිරිහැර කිරීමටය. තර්ජනයෙන් බිය ගැන්වීමටය. වදහිංසා කිරීමටය. අත්අඩංගුවට ගෙන  දින නියමයක් නැතිව රඳවා තබා ගැනීමටය. සත්‍යය හෙළිදරව් කරගැනීමට නොව වලලා දැමීමට ය. ඒ ගැන කතා කරන්නන් නිහඬ කිරීමට ය.

සති කිහිපයකට පෙර  ලංකා ඊනිව්ස් වාර්තාකරු කීර්ති රත්නායකට කරන ලද්දේ එයයි. බොහෝ දෙනෙකුට එය සිදු කර තිබේ. මෙය කුරිරු  කැලෑ නීතියකි. අපරාධ කාරයන් නොවන පුද්ගලයන්ට එසේ කරනු ලබන්නේ එක අධිකරණයකින් නොව අධිකරණ  කිහිපයකින් වරදකරු කරනු ලැබූ මිනීමරුවන් කිසිදු හිරිකිතයකින් තොරව නිදහස් කරන අවනීතික ආණ්ඩුවක්  විසිනි. එසේම පාස්කු බෝම්බයේ මිනීමරුවන් සහ එම අහිංසකයන් ගේ ලේ සිය අත්වල ගෑවුණු පුද්ගලයන් තව දුරටත් ආණ්ඩුවේ ආරක්ෂාව සහිතව නිදැල්ලේ සිටියදී ය.

මේ නිසා ෂෙහාන්  මාලකගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් අප‍ගේ සැලකිල්ල යොමු වී තිබේ.

පාස්කු බෝම්බයෙන් කටුවාපිටියේ, කොච්චිකඩේ සහ මඩකලපුවේ පල්ලි වලට ගිය කුඩා දරු දැරියන් ඇතුළු සහෝදර සහෝදරියන් කිසියම් පුද්ගලයකු ගේ හෝ කණ්ඩායමක  බල කෑදරකම නිසා අපට අහිමි වීම ගැන අපි වේදනාවටත් කෝපයටත්  පත් වී සිටිමු.

“4/21 මතකද”

ඒ වේදනාව සහ කෝපය දඩමීමා කරගෙන, “4/21 මතකද” කියා  අසමින්, අපේ කාදිනල් තුමාත් රදගුරු වරුන් බහුතරයක් සහ  පූජකවරුන් රවටා, ඔවුන් මගින් අපේ කතෝලික ඡන්ද ගෙන  බලයට පත් වූ ආකාරය අපට අමතක නැත. එසේ කල නායකත්වය, ප්‍රහාර වලින්  මිය ගිය අයගේ මෙන්ම මැරි මැරී ජීවත් වන සහෝදර සහෝදරියන් ගේ ද ලතෝනිය දේශපාලන බලයෙන් යටපත් කරගෙන ආණ්ඩු කරමින් සිටයි.

ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව නියෝජනය කරන කොළඹ අගරදගුරු තුමා විසින් ඒ සම්බන්ධයෙන් යවන ලද නිල ලිපියට ප්‍රතිචාර දක්වන්නේ එය ආමන්ත්‍රණය  කරන ලද ජනාධිපති හෝ අවම වශයෙන් ජනාධිපති ලේකම් හෝ නොවේ. වෙනත් අවශේෂ පුද්ගලයෙකි. රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදාය අනුව සැලකූ කල එය සැලකිය හැක්කේ අගරදගුරු තුමාට කල නිග්‍රහයක්, පහත් කොට සැලකීමක්, අවමානයක් ලෙස ය. අගරදගුරු  තනතුරට කරන අවමානය සමස්ත කතෝලික ජනතාවට කරන අවමානයකි. නොසලකා හැරීමකි.

පොලිස්පතිගේ වක්‍ර තර්ජනය… 

ඉන් පසුව පොලිස්පති වරයා “අපි නොදන්න බයිබලය” උපුටා දක්වමින් කාදිනල් තුමාටත් කතෝලික ජනතාවටත් වක්‍ර තර්ජනයක් කලේය. “තමුසෙ දන්න දෙයක් නෑ. කට වහගෙන ඉන්නවා. වැඩ දන්නේ අපි.” ඔහු වක්‍රව කළ තරවටුව එයයි.

එපමණකුත් නොවේ. දැන් ඒ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු හෙලිකරන්නන් මර්දනය කිරීමට ද බලධාරීහු ක්‍රියා කරමින් සිටිති.

ෂෙහාන්  මාලක  තරුණයා ගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ එහි එක පියවරක් හැටියට ය.

පාස්කු ප්‍රහාරය පිලිබඳ අබිරහස වසා දමන්නට උත්සහ කරන කණ්ඩායම් වලට අපි මෙසේ කියමු.

ෂෙහාන් ට අත නොතබනු..!

ෂෙහාන්ට   අත තැබීම කටුවාපිටියේ බෝම්බය හා සමානය. කොච්චිකඩේ බෝම්බය හා සමානය. මඩකලපුවේ බෝම්බය හා සමානය. මන්ද එයින් සිදු වන්නේ සත්‍යය පුපුරුවා හැරීම වන නිසා ය.

ෂෙහාන් මාලක  අපේ සහෝදරයා ය. අපේ පුතා ය. අපේ ගමේ නොවුනත් අපි වෙනුවෙන් යමක් කල අපේ අසල්වැසියා ය. (අසල්වැසියා යන්නේ තේරුම කතෝලික අපි දනිමු. )

ෂෙහාන්ට  අත නොතබනු!

ෂෙහාන් සම්බන්ධයෙන්  මේ මොහොතේ  කාදිනල් තුමන් ගේ ප්‍රතිචාරය කුමක්ද යන්න ගැන ඔහු කොටු කරන්නට හා නිහඬ කරන්නට බලා සිටි කණ්ඩායම් බලා සිටි බව අපි දනිමු. ඔවුන් ඔහුගෙන් නිතර ප්‍රශ්න කළේ ඒ ගැන ය.

දැන්  ඒ ප්‍රතිචාරය ලැබී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවේ ප්‍රකාශක ගරු සිරිල්  ගාමිණි ප්‍රනාන්දු පියතුමා ඒ ගැන පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. සභාව  තුළ සහ කතෝලික ජනතාව අතර බෙදීම් ඇති බව පවසා, නැති බෙදීම් ඇති කොට, විවිධ පෙරමුණු ඔස්සේ මේ සත්‍යය සොයන්නට වෙර දරන කොටස් බිඳවා, භේද කර, පාස්කු ඉරිදා පල්ලි තුනක කළා සේ, භේදයේ බෝම්බය පුපුරුවා හැර, පාස්කු ප්‍රහාරයේ සත්‍යය විනාශ කරන්නට මේ බලධාරීන් දරන උත්සාහය දැන් පරාජය කරනු ලැබ  තිබේ.

“ෂෙහාන් මාලක වෙනුවෙන් පමණක් නොවේ. මේ යුගයේ  යුක්තිය වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන්  හඬ නගන, අනාවරණයන් කරන සෑම කෙනකු ගේ ම, සෑම ක්‍රියාධරයකු ගේ ම, මාධ්‍ය වේදියකු ගේ ම   ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන ලෙස රට පුරා සිටින සෑම පුරවැසියෙකුට ම ආරාධනා කරමු”

පාස්කු බෝම්බයේ සැබෑ මහමොලකරු සොයා ගත හැක්කේ මෙවැනි විමර්ශකයන් සහ සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමෙනි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමෙනි. ඒ  බව කාදිනල් තුමා දනියි.  මේ සිද්ධිය සම්බන්ධයෙන්  ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින තවත් සැඟවුණු සාක්ෂි කරුවන් තුල විශ්වාසය ගොඩ නැගිය හැක්කේ එවැනි එඩිතර පියවරකින් පමණි. ෂෙහාන් අපේ පුතා ය. අපේ සහෝදරයා ය.  අපේ අසල්වැසියා ය. මේ  නිසා මේ තරුණයා පිළිබඳව බලධාරීන් ගන්නා  ක්‍රියා මාර්ගය ගැන එතුමා අවධානයෙන් සිටින බව අපි පැහැදිලිව දනිමු.

උඹලා කරන්නේ කුමක් ද?

තමන් “හොඳ කතෝලිකයන්” බව කියා ගන්නා, දේවස්ථාන මංගල්ල වල මුල්පුටු අරා දේව දුතයන් සේ විරාජමානව සිටින  ආණ්ඩුවේ කුඩුකාර, එතනෝල් කාර, තක්කඩි කතෝලික මැති ඇමතිවරුන් දෙස ද කතෝලික අපි බලා සිටිමු. “යුක්තිය ඉල්ලා හඬන ජනතාව තුළ මම සිටිමි. උඹලා කරන්නේ කුමක් ද” යි ක්‍රිස්තුන් වහන්සේ අද හෝ ජීවිතයේ යම් දවසක හෘදය සාක්ෂියක් නොමැති ඔවුන්ගෙන්  විමසන බව අපි දනිමු.  ඊට කලින් කතෝලික අප වෙත ඔවුන් පැමිණිය යුතුය. එසේ එන විට මේ සම්බන්ධයෙන් කල දේ ගැන ඔවුන් අපට වගකිව යුතුය. (කතෝලික නොවන මගේ මිතුරු මිතුරියෝ මට කමා කරත්වා!  මම කතා කරන්නේ කතෝලික ජනයාට තේරෙන භාෂාවෙනි.)

අප වෙනුවෙන් හඬ නගන සෑම කෙනෙකුට ම අපි ආශීර්වාද කරමු.

ෂෙහාන් මාලක වෙනුවෙන් පමණක් නොවේ. මේ යුගයේ  යුක්තිය වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන්  හඬ නගන, අනාවරණයන් කරන සෑම කෙනකු ගේ ම, සෑම ක්‍රියාධරයකු ගේ ම, මාධ්‍ය වේදියකු ගේ ම   ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන ලෙස රට පුරා සිටින සෑම පුරවැසියෙකුට ම ආරාධනා කරමු. මේ දිනවල විවිධ ආකාරයෙන් අයුක්තියට ලක්ව සිටින ගොවි, ගුරු, කම්කරු, වෛද්‍ය, හෙද, ශිෂ්‍ය ආදී සියල්ලන් ගේ මානව ගරුත්වයත් අයිතිවාසිකමුත් ආරක්ෂා කළ හැක්කේ එවිටය.

ෂෙහාන් ඇතුළු මේවා ගැන හෙළදරව් කරන්නන් නිහඬ කළහොත් අප සියල්ලන් ගේම ආරක්ෂාව අනතුරේ ය. මන්ද, මේ මහමොළකාරයා තවමත් නිදැල්ලේ සිටින නිසාය. යලිත් මෙවැනි ප්‍රහාරයක් වලක්වා ගත හැකි වන්නේ ජාති ආගම් භේදයෙන් තොරව එක්සත් වී මහමොලකාරයා කොටු කරගැනීමෙනි.

මේ නිසා අපි මෙසේ බල කරමු.

සත්‍යය හඹා යන්නන් දඩයම් කිරීම නවතා  සත්‍යය හෙළිදරව් කරනු!

-සමන් කපිල විජේසූරිය/ ලංකා ඊ නිව්ස්

Archive

Latest news

Related news