Thursday, April 18, 2024

ගෝඨාභය දෝශාභියෝගය – ලියූ‌ රාජපක්ෂගේ නම අමතක කර කියවන්න

ඡායාරූපය: ස්වයං මෝහනය!

කොළඹ දිස්ත්‍රික්කයේ ඇමතිවරු හතර දෙනෙකු ළඟ දි කොළඹ ප්‍රසිද්ධ පංසලකට ඇවිල්ලා කිව්වනෙ ‘අනේ හාමුදුරුවනේ, අපිට වැරදුණා’ කියලා. අපි දන්නෙ නැහැනෙ අපේ ආණ්ඩුව මොනවද කරන්නෙ කියලා.

ඔබගේ ඇමති අයියාලත් පංසල්වලට ඇවිල්ලා කියනවා ‘අනේ හාමුදුරුවනේ, මේ මනුස්සයා මොනවද කරන්නෙ කියලා අපිටත් තේරෙන්නෙ නෑ’ කියලා.

පාස් සෙට් එක

ස.තො.ස. සීනි වලින් රු. කෝටි 1,600 ක් පාඩු කරපු නුෂාඩුත් පාස්.

පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නෑ කියපු, අනෙක් ආහාර වල වස තියෙනවා කියලා කිව්වොත් සමාගම් කඩා වැටෙන නිසා ඒවා හංගනවා කියපු සිද්ධිකාත් පාස්.

මුහුදෙ නැව් ගිණි ගත්ත ම මාලු මැරෙන්නෑ කියපු වියතුනුත් පාස්.

ඒ විතරක්යැ මගෙ කෝප් වාර්තාව අනුව රු. කෝටි තිස් දාහක් රජයට අලාභ කළ බව ඔප්පු උනයි කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා ලේකම් කමින් එලියට දාපු පී. බී. ජයසුන්දරත් ඔබේ ලේකම් වෙච්චි.

ඒකෙ අනිත් හවුල්කාරය වුන මිලින්දත් මහ කොමසාරිස් වෙච්චි. එසේ මෙසේ රටක නොව ඉන්දියාවේ.

හෙජින් ගනුදෙනුවෙන් රු. කෝටි 11,000 ක්ද, ග්‍රීක බොන්ඩ් වලින් රු. කෝටි 1,400 ක් ද, මහ බැංකු බැදුම්කර මගින් රු. කෝටි 1,100 ක් ද පාඩු කළ, ඇමරිකානු CIA ඔත්තුකරුවෙකුට රු. කෝටි 1,400 ක් මහජන මුදලින් සන්තෝසම් දුන්න කබ්රාල් ද පාස් ය.

ඒ ඇති.

වසංගතයට රට බිලි දීම

ඔබ ජනාධිපති වෙලා මාස තුනෙන් කොරෝනා රැල්ල ආවා.

ඒක පළවෙනි රැල්ල. අනිල් ජාසිංහ, පබා පලිහවඩන, ඉඳුනිල් බණ්ඩාර, හද්‍රාණි ජයවර්ධන ඒක හොඳට පාලනය කළා. රට ම පාස් වුනා. ඔවුන් ඔක්කොම ඉවත් කළා.

කෝවිඩ් 19 දෙවැනි රැල්ල එනකොට සෞඛ්‍ය අංශයේ අර හිටපු කවුරුත් ඒ තැන්වල හිටියේ නැහැ. කොවිඩ් දිනුව, අපි පරාද වුණා.

ඒගොල්ලා ෆේල් වුනා නම් තවමත් ඒ තනතුරු වල.

වසංගතයෙන් උතුරා ගිය යුක්‍රේනයෙන් ඔබගේ ඥාතියා වෙන වීරතුංග සංචාරක බුබුළු ගෙනාවා. බැලින්නම් ඇත්තට ම ගෙනත් තිබුණෙ කොරෝනා බුබුළු. ඔබගේ මලයා, බැසිල් කිව්වෙ ඒක අත්හදා බැලීමක් කියලා.

අඩු තරමේ 2020 ඔක්තෝබර් 15 දින රට වහන්නන කියලා වසංගත රෝග විශේෂඥයින් උපදෙස් දුන්නා. ඒත් ඔබට වැඩිය වටින්නෙ විස්සනෙ. විස්ස 22 දා සම්මත කරලා රට වැහුවෙ 26 වැනිදා. දින 11 ක් ප්‍රමාදයි.

වසංගතය රට පුරා ව්‍යාප්ත වුනා. තුන්වෙනි රැල්ලත් ආවා.

සියලු ම වෛද්‍ය විශේෂඥයො ඉල්ලා සිටියා අප්‍රේල් 8 සිට 22 දක්වා රට වහන්න කියලා. ඒ උපදෙස් සහිත ඉල්ලීම ඔබ විසි කළා. මැයි පහ කොළඹ වරාය නගරය චීනෙට විකුණන්න පනත සම්මත කරගන්න තෙක් වහන්නෙ නෑ කියලා ඔබ තීරණය කළා. අපි පනතට විරුද්ධ ව උසාවි ගියා. තීන්දුව ආවෙ පහුවෙලා. පනත මැයි 20 සම්මත කළා.

එදින ම රට ලොක් ඩවුන් කළා. දින 43 ක් ප්‍රමාද වුනා.

වසංගතය රට ම ගිලගත්තා. එතකොට ජනතාව ඔබ ෆේල් කියපු එකේ තියෙන වරද තේරුම් ගන්න අමාරුයි.

ලෝකෙ බොහෝ රටවල් වසංගත කාලෙ හොටල්, ක්ලබ්, කඩසාප්පු වැහුවා. ඉතා ඉක්මනට පාසල් සහ විශ්ව විද්‍යාල ඇරියා.

කඩ ඇර පාසල් වැසීම

අපේ රටේ දැන් මාස 17 ක් ම පාසල්, විශ්ව විද්‍යාල වහලා. දරුවන්ට අනාගතයක් තියේවි ද? ලක්ෂ දහයකට වඩා තරුණ තරුණියො රටවල් අරිනකම් බලා ඉන්නවා. රටේ දරුණුතම බුද්ධි ගලනය ඉදිරි අවුරුදු දෙක-තුන තුළ සිදු වේවි.

2021 නොවැම්බර් 16 ට පෙර අළුත් ආංඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්මත කරන බවට ඔබ අපටත්, රටටත් පොරොන්දු වුනා. ඒ එකගතාවය නිසයි අපි මංත්‍රිවරු 20 ක් 20 සංශෝධනය ට අත ඉස්සුවේ. ඒක කරන්න බැරි බවත් දැන් ස්ථිරයිනෙ.

ජනතාවට කේන්ති ගියා. සර් ෆේල් කිව්වා.

නන්දසේන කිව්වට තරහ ගිහින්!

ෆේල් වුනා ම කරන්න ඕන ආයෙමත් පාස් වෙන්න උත්සාහ කරන එක මිසක් ෆේල් කියන කොල්ලන්ට තලන එක නෙමෙයි. අම්මා තාත්තා දාපු නම කීවට තරහ ගන්න එපා.

අපේ සමහර වියත් සාදුලා කීප දෙනෙකුට මහානායක හාමුදුරුවන්ටත් වඩා උඩින් ඉන්න ඕනලු. වියත් අයට එහෙම පහළින් ඉන්න අමාරු ඇති. ඒ වුනාට මහානායක, අනුනායකකම් ආවට ගියාට ගත්ත ඒවා නම් නෙවෙයි. තුන්කල් බලලයි ඒව දෙන්නෙ. ඒකනේ අවුරුදු 2650 කට වැඩිය මේක පැවතුනේ.

ත්‍රිපිටකයට ව්‍යවස්ථාපිත බලතල දුන්නොත්, බයිබලයටත්, කුරානයටත් ඉල්ලුවොත් දෙන්න වේවි. එතකොට ආගමික ගැටුම් වලින් ම රට විනාශ වේවි.

( විජේදාස රාජපක්ෂ විසින් ගෝඨාභය රාපක්ෂට ලියන ලද විවෘත ලිපියකින් උපුටා ගන්නා ලදී.)

සම්පූර්ණ ලිපිය: විජේදාස රාජපක්ෂ ගෝටාභය වෙත ලියූ ලිපිය 2021

 

Archive

Latest news

Related news