Thursday, April 25, 2024

ඩීල් දේශපාලනය: නිස්සංක සේනාධිපති, ගෝඨාභය සහ වජිර අබේවර්ධන ගැන තවදුරටත් – සුනන්ද දේශප්‍රිය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උගුලක හසු කර ගැනීම  පිණිස වත්මන් එජාප සභාපති වජිර අබේවර්ධන සහ   ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති විසින් අටවන ලද උගුල අභියාචනාධිකරණ තීන්දුවක් මගින් තහවුරු වූයේ පසුගිය සතියේ ය.

එම උගුල ඇටවීමට මුල් වූ හිටපු මංත්‍රී වජිර අබේවර්ධන ද දැන් නීතියෙන් ම හෙළිදරව් වී තිබේ.

නමුත් කතාව එතැනින් අවසන් නැත.

සේනාධිපතිගේ කතාව

එක්සත් ජාතික පක්ෂය 2015  වසරෙහි දී මෙරට ජනයාට පොරොන්දු වුයේ දූෂණයෙන් තොර පාලනයක් ඇති කරන බවටත් දූෂිතයින්ට දඩුවම් කරන බවටත්ය. නිස්සංක සේනාධිපති ද  එළෙස නම් කරන ලද එක් දූෂිතයකු විය.

නාවික හමුදාව විසින් කර ගෙන ගිය සමුද්‍ර ආරක්ෂණ සේවාව  නිස්සංක සේනාධිපති වෙත බාර දෙන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ ලේකම් වශයෙන් රට පාලනය කළ අවධියේ ය. සේනාධිපතිට අනුව ඔහුට මෙම ව්‍යාපාරය බාර දෙන ලද්දේ නාවික හමුදාවේ තිබූ දූෂණ නිසා ය.

එමගින් ඔහු උපයා ගත් මුදල  අති විශාල ය. එය නිස්සංක සේනාධිපතිට ම අනුව රුපියල් බිලියන 11.7කි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2015 නොවැම්බර් මාසයේ දී යළි මෙම සමුද්‍ර ආරක්ෂක සේවාව නාවික හමුදාව වෙත පවරා දෙන ලදී. 2017 වන විට නාවික හමුදාව එමගින් රුපියල් මිලියන 2630ත් උපයා තිබුණි.

2016 වසරෙහි දී පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන ගොස් ආණ්ඩුවට රුපියල් බිලියන11.4ක් පාඩු කළ බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සේනාධිපති ඇතුළු 07 දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව තමන් විසින්ම  ඉදිරිපත් කරන ලද චෝදනා සනාථ නො කළ බැවින් 2021 මැයි මාසයේ දී සේනාධිපති ඇතුළු පිරිස නිදහස් කරන ලදී.

මිලියන 35ක අල්ලසක් සම්බන්ධයෙන් අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් පවරන ලද තවත් නඩුවක් තාක්ෂණික හේතු මත යැයි වත්මන් අල්ලස් කොමිසම විසින් ඉවත් කර ගන්නා ලද්දේ 2021 ජූලි මාසයේ දී ය.

වජිර වළිකෑ නඩුව

එම නඩුව පවරන ලද්දේ දිල්රුක්ෂි ඩයස් යටතේ ය. තමන්ට එම නඩුව ඔප්පු කිරීමට කරුණු තිබෙන බව ඇය බිබීසී සිංහල සේවයට කීවේ ය.

වජිර අබේවර්ධන සේනාධිපති බේරා ගැනීමට වළිකෑවේ මෙම නඩුව සම්බන්ධයෙන් පමණක් නොවේ.

පාවෙන අවි ගබඩාව සම්බන්ධ පරීක්ෂණයෙහි දී එහි තිබූ ආයුධ වල අංක මකා දමා තිබූ බව සොයා ගන්නා ලදී. මේ පිළිබඳ වාර්තාවක් සැපයූ එවකට රහස් පොලිසියේ සේවය කල පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ලියා තිබුණේ එම අවිවල අංක මැකී ඇත්තේ නැව පැද්දීමේදී එකිනෙක ගැටීමෙන් බවයි.

මෙරිල් රංජන් ළමාහේවා යනු වැළිකඩ සිරකරුවන් 27 දෙනා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින, එකල එහි සිටි බන්ධනාගාර කොමසාරිස්වරයා වන එමිල් රංජන් ළමාහේවා ගේ සහෝදරයා ය.

ඔහුගේ එම වාර්තාව කිසිසේත්ම  පිළිගත නො හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගියේ ගිනි අවියක අංකය කොටා ඇත්තේ ගැටීමකින් මැකී නොයන පරිදි නිසා ය.

මේ බොරු වාර්තාවක් දීම නිසා පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා යාපනයේ රහස් පොලිස් අංශයට මාරු කරන ලදී.

මෙරිල් රංජන් සහ වජිර

මෙම අවස්ථාවෙහි දී රහස් පොලිසියේ ප්‍රධානියා වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී රවි සෙනවිරත්නට දුර කථන ඇමතුමක් ගත් වජිර අබේවර්ධන මෙරිල් රංජන්ගේ මාරුව අවලංගු කරන ලෙස කියා සිටියේ ය.

ඊට හේතුව වශයෙන් වජිර අබේවර්ධන කියා සිටියේ මෙරිල් රංජන් තමාගේ සමීප මිතුරකු වන නිස්සංක සේනාධිපතිගේ මිතුරකු බවයි.

රවි සෙනවිරත්න මෙම දුරකතන පණිවිඩය සිය රාජකාරි දින පොතෙහි සටහන් කර ඒ බව නීතිපති දෙපාර්තමේන්තුවට දන්වන ලදී.

ඒ වන විට පාවෙන අවි ගබඩාව පිළිබඳ පරීක්ෂණය බාරව සිටියේ  නීතිපති දෙපාර්තමේන්තුවේ අයේෂා ජිනසේන නීතිඥවරියයි. ඇය මේ පිළිබඳව එකළ නියෝජ්‍ය නීතිපතිවරයකු වූ දප්පුල ලිවේරාට දන්වනු ලදුව, එවකට නීතිපති වූ වත්මන් අග විනිසුරු ජයන්ත ජයසූරිය යටතෙහි මෙරිල් රංජන් රහස් පොලිසියෙන් සම්පූර්ණයෙන්ම මාරු කරන ලෙස උපදෙස් දෙන ලදී.

ශානි අබේසේකරගෙන් ඇසූ ප්‍රශ්නය

පාස්කු කොමිසමෙහි දී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා  ශානි අබේසේකරගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය: “මෙරිල් රංජන් සීඅයිඩියෙන් අයින් කරපු එකට හේතුවක් තියෙනවාද?”

ශානි අබේසේකර මෙසේ පිළිතුරු දුන්නේ ය: “මම අයින් කළේ නෑ. මෙරිල් රංජන් සීඅයිඩි එකෙන් අයින් කළේ ඇයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව හොදට ම දන්නවානේ. එයාව අයින් කළේ කවුද කොහොමද වුණේ කියලා නීතිපති දෙපාර්තමේන්තුව මට වඩා හොඳට දන්නවා”. (මීඩියාඑල්කේ.ඩොට් වාර්තාව)

රජයේ නීතිඥයා ඒ ගැන ඊට වඩා ඇසුවේ නැත.!

වජිර අබේවර්ධන උත්සාහ කළේ එවැනි ව්‍යාජ වාර්තාවක් දුන් අයකු බේරා දිල්රුක්ෂි ඩයස් අමාරුවේ දැමීමට ය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණිමෙන් පසු මෙරිල් රංජන් ළමාහේවා යළි රහස් පොලීසියට අනුයුක්ත කර ඔහු මිනීමැරුම් අංශයේ ප්‍රධානියා බවට පත් කරන ලදී.

ඔහුගේ තවත් සහෝදරයකු වන  රංජන් ළමාහේවා මේජර් ජෙනරල්වරයකු ලෙස සිට පසුගිය මාසයේ විශ්‍රාම ගියේය. ඒ් වහාම ඔහු සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලදී.

නිස්සංක සේනාධිපති ගෝඨාභයගේ සමීපතමයෙකි. වත්මන් විදේශ ලේකම් වන අද්මිරාල් ජයන්ත කොළඹගේ ඇවන්ට් ගාඩ් සමාගමෙහි සේනාධිපති යටතේ සේවය කළ අයෙකි.

ගෝඨාභය රජය යටතේ සේනාධිපතිට බඩ ඉරිඟු වගා කිරීමට අක්කර හතළිස් දහසක් දීමට සැලසුම් කර ඇති අතර දැනටමත් අක්කර දහස් ගණනාවක් ලබා දී තිබේ. සිරකරු පුනරුත්තාපනය ද බාර දී ඇත්තේ ඔහුට ය. නිරෝධායන පිණිස යැවෙන විදෙස්හි සිට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධී‍‍කරන ඒ්ජන්තයකු ලෙස ද ඇවන්ට් ගාඩ් සමාගම පත් කර තිබේ.

සේනාධිපතිගේ සල්ලිවලින් කළ ඒජාප ඡන්දය

කතාව තවමත් ඉවර නැත.

2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා සඳහා මුදල් නැතැයි රනිල් වික්‍රමසිංහ වජිර අබේවර්ධනට කීවේය. ඉන් පසු වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයට ඇදහිය නොහැකි තරමේ මුදලක් ලබා දුන්නේ ය. ඒ සේනාධිපතිගේ මුදල් ය. එලෙස සේනාධිපති දුන් මුදල එජාප සංවිධායකයින් 120 දෙනෙකුට ලක්ෂ පහ බැගින් බෙදා දී තිබේ.

මේ බව වජිර අබේවර්ධන විසින්ම  වෙනත් දේශපාලනඥයකුට කියා තිබේ.  එම දේශපාලනඥයා මෙම කතාව ගාලු නගරයේදී ම 2020 මහ මැතිවරණ සමයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. වජිර අබේවර්ධන හෝ රනිල් වික්‍රමසිංහ තවමත් එය ප්‍රතික්ෂේප කර නැත.

ඒ කතාව මෙහි ඇත.

2015 මහා මැතිවරණ ව්‍යාපාරය පිණිස යූඇන්පීය නිස්සංක සේනාධිපතිගෙන් කෝටි 30ක තරම් මුදලක් ගන්නට ඇති බවත් එම කතාවෙහි ම සඳහන් වේ.

දූෂණ නැති කරන බවට වේදිකාවන්හි පොරොන්දු වෙමින් මැතිවරණ ව්‍යාපාරය පිණිස දූෂිත ප්‍රකෝටිපතියන්ගෙන් මුදල් ලබා ගන්නා දේශපාලන පක්ෂ සහ නායකයින් විසින්, අවසානයේ දී දූෂිතයින් කොක්කෙන් හෝ කෙක්කෙන් ගලවා ගන්නා බව මෙම සිද්ධිය යළි සනාථ කරයි.

මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් රැස් කිරීම සහ වැය කිරීම සඳහා පාරදෘශ්‍ය  නීති රීති රටකට අත්‍යවශය වන්නේ මෙැවැනි ඩීල්කාර දේශපාලනඥයින් ද නිසා ය.

කල් පසුවී හෝ මංගල සමරවීර කියන එකම කාසියේ දෙපැත්ත කතාව යම් යම් අංශවලින්  ඇත්තය. ශ්‍රී ලංකාවේ දේශපාලන පංතියේ වැඩි හරියක්ම උපන් ගෙයි හොරුය. වංචාකාරීය.

එයට නිල් කොළ කියා වෙනසක් නැත.

 

 

 

Archive

Latest news

Related news