Tuesday, July 16, 2024

පොලිස් නිලධාරීන් පිරිසක් විපක්‍ෂ නායකට කළ බාධා කිරීම පොලිස් රාජ්‍යක ලක්ෂනයක්! – කරු ජයසූරිය

පොලිස් නිළධාරීන් පිරිසක් විසින් විපක්‍ෂ නායකතුමාට සිදුකරඇති බාධා කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට රටේ රාජ්‍ය ආයතනයක් වන පොලිස් ස්ථානයකට ඇතුළුවීමට ඉඩකඩ අහුරාලමින් පොලිස් නිළධාරීන් පිරිසක් විසින් සිදුකර ඇති බාධා කිරීම අතිශයින්ම පිළිකුල් සහගතය. එය රටේ ප්‍රමුඛතම මහජන නියෝජිතයෙකු සතුවිය යුතු වරප්‍රසාදයන්ට චේතනාන්විතවම එරෙහිවීමකි.

එමෙන්ම නීති සම්පාදනයකිරීමේ වගකීමද ඇතුලත් රටේ පාර්ලිමේන්තුවට සිදුකරන ලද බලවත් අවමානයකි. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මෙම සිදුවීම කෙරෙහි බලවත් අවධානය යොමුකරන අතරම එය පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.

රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන වරමකින් තේරීපත්වන මන්ත්‍රීවරුන්ට ජනතාවගේ ප්‍රශ්ණ හා ගැටලු පිළිබදව මෙන්ම ඔවුන් මුහුණ දෙන අභියෝගයන්හිදී පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයට නායකත්වය ලබාදෙන විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට ඒ සදහා විශේෂ වගකීමක් හා අයිතියක් ද තිබේ. එවැනි අවස්ථාවක ඊට කිසිවෙකු හෝ බාධා කරන්නේ නම් එය සැලකිය හැක්කේ ජනතාවට මෙන්ම රටේ උත්තරීතර ආයතනයද වන පාර්ලිමේන්තුවට කරන ලද අපහාසයක් ලෙසටය.

මෙම සිදුවීම මගින් නැවත වරක් ප්‍රදර්ශණය කර ඇත්තේ ඒකාධිපතිත්වය හරහා ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිටු දකිමින් පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරන මාවතකට යොමුවී ඇති බවය.

එම බිහිසුණු ගමනින් රට මුදාගැනීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලුම ආයතනයන්හි වගකීමක් බව අවධාරණය කරන අප සංවිධානය මෙම සිදුවීම පිළිබදව සාධාරණ පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි !
මෙයට

දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමා
සභාපති
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

 

Archive

Latest news

Related news