Friday, May 3, 2024

වසංගතයට බිළිව එළඹිය හැකි මරණයට පෙර කියමි – චූලානන්ද සමරනායක

සියළු සහෘදයන්ගේ දැන ගැනීම පිණිසයි.

අවසානයේදී අපිද ආශ්චර්යමත් කෝවිඩ් පවුලේ සාමාජිකත්වය ලැබ ඇති බව අද උදයේ තහවුරු කරගන්නා ලදී. මගේ දියණිය ඊයේ සිට තමන්ට ගඳ සුවඳ නොදැනෙන බව කීවාය. වෛද්‍ය උපදෙස් මත අපි සිවුදෙනාම අද උදේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණය කළෙමු.

ප්‍රතිපලය මගේ දියණිය සහ පුතා හට කෝවිඩ් වැළඳී ඇති බවයි. ඔවුන් දෙදෙනාම සයිනො පළමු මාත්‍රාව ලබා සිටි අතර මම සහ මගේ බිරිඳ දෙවන මාත්‍රාවද ලබා සිටියෙමු. කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් මත අප දෙදෙනාද තවදුරටත් පීසී ආර් පරීක්ෂණයකටද යොමු කරන ලදී. අවශ්‍ය කටයුතු පිණිස ග්‍රාම නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී හට දැනුම් දුනිමි.

රටෙහි කෝවිඩ් පොකුරු ඇති කරන්නේ යයි දේශපාලකයන් ගුරුවරුන්ගේ අරගලයට චෝදනා කරද්දී මම ඊයේ රාජකාරියට වාර්තා කළෙමි. ආර්ථිකය ගොඩගැනීම උදෙසා අප වෙහෙසිය යුතු බව කැපවිය යුතු බව තර්කයක් නැති. එහෙත් ඒ සඳහා යාමට සිදුවූවේ සෙනගින් තදබදව ඇති දුම්රිය සහ බස්රියවලිනි. එයින් හැදෙන්නට නියමිත පොකුරු පිලිබඳව පාලකයන් නිහඩය.

අපට මියෙන්නට සිදුවන්නේ නම් ඒ අපේ වරදක් නිසා නොව ඉතිහාසය පුරා තම පුද්ගලික න්‍යාය පත්‍ර පොදු න්‍යාය පත්‍ර ලෙස අප මත පටවා තම අභිමතාර්ථ ඉටු කරගත් දේශපාලුවන් නිසා ය

මේ අයුරින් අප වැඩට යද්දී සෞඛ්‍ය බලධාරීන් ඊයේ ප්‍රවෘත්ති වලට කීවේ බස්රියවල දුම්රියවල පොරකා ලෙඩ හදාගෙන අපට වගකීම පටවන්න එපා කියාය. අපට මේ මහත්වරුන්ට කීමට ඇත්තේ අප යන්නේ කසන තුවාල නිසා නොවන බවයි. අනෙක් අතින් එසේ වැඩට යන ජනයා රෝග වාහකයන් බවට පත්වීමේ අවදානම ඉහලය. එහෙයින් සෞඛ්‍ය බලධාරීන් ඇගිල්ල දිගු කල යුතුව තිබුනේ ක්‍රමවත් ප්‍රවාහනයක් සකසන්නට අසමත් පාලකයන් හටය. එහෙත් හැම කෙනාම අවසන දොස් කියන්නේ ජනතාවටමය.

තවත් දෙයක් කිව යුතුය. හමුදාව විසින් කරගෙන යන එන්නත් වැඩ පිලිවෙල ගැන මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දෙයි. ඔවුන් කරනා අගනා සේවය අගය කළයුතු බවට විවාදයක් නැති්.

‍එහෙත් ඒ කිසිත් නැතිව නිහඬව අපේ සෞඛ්‍ය අංශ කරනා සේවය අපේ ඇගයුමට ලක් විය යුතුය. අප නිදහස් සෞක්‍ය සේවය රැකගත යුත්තේ මේ නිසාමය. මම මීට පෙරද මේ ගැන ලියා ඇත්තෙමි.

මේ දරාගැනීමට බැරි බර මැද ඔවුන් මහත් ඉවසීමෙන් සිය රාජකාරිය ඉටු කරන ආකාරය අපේ ඇගයුමට ලක් විය යුතුය. අද මගේ දෙනෙත් ඉදිරිපිටම එකම පවුලේ පියා හැර අන් සියළු දෙනා පොසිටිව් යයි ප්‍රකාශ වන ආකාරය දුටිමි. පැමිණෙන පිරිස අතරින් පොසිටිව් වන සංඛ්‍යාව හද කීරිගස්වන සුළුය.

අපට මේ වින්නැහිය කළේ පැණි මුට්ටි පසුපස රටක් දක්කාගෙන ගිය මිථ්‍යා මත කරපින්නාගත් මහාචාරියන් ඇතුළු ඊනියා දේශපාලකයන් බව කිව යුතුව තිබේ. ඔවුහු මේ විනාශයට වගකිව යුත්තෝය. පසුගිය කාලය පුරාම පවුලක් වශයෙන් අප අපට ගත හැකි උපරිම ආකාරයට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමක් පවත්වා ගතිමු. මගේ දියණිය දිගටම සිටියේ නිවසෙහිය. පුතා සති දෙකක පමණ සිට රැකියාවට යාම ආරම්භ කළේය. බිරිඳ සිටියේ නිවසෙහිමය. අප නිවසින් එළියට බැස්සේ මුහුණු ආවරණ සහ ඊට උඩින් ප්ලාස්ටික් ආවරණද පැළඳය.

එහෙත් දැන් පෙනෙන්නේ අප කෙතරම් උත්සාහ දැරුවද වෛරසය අපට වඩා සමත් බව ය. ආර්ථිකය ගොඩ ගන්නට අපට බස්රියවල දුම්රියෙහි තෙරපෙන්නට සහ එසේ තෙරපී අපට වගකීම පටවන්නට එපා යයි සෙඛ්‍ය බලධාරීන්ගෙන් අවලාද අසන්නට සිදුව ඇත්තේ මෙවන් පසුබිමකය.

සහෘදයිනි, අප සියල්ලෝ්ම ගොදුරු බවට පත්ව හමාරය. අප ගොදුරු බවට පත් කරගත් උන් අපට දේශනා පවත්වති. මේ ව්‍යසනය නිමාවන විට අප පොලිතීන් කවරයක බැස කනත්තේ දුම් නළයෙන් අවයකාශයට දුම් රොටුවක්ව නික්ම හමාර විය හැකිය. එහෙත් ඒ මරණයට පෙර අප මෙය සටහන් කළ යුතුය.

අපට මියෙන්නට සිදුවන්නේ නම් ඒ අපේ වරදක් නිසා නොව ඉතිහාසය පුරා තම පුද්ගලික න්‍යාය පත්‍ර පොදු න්‍යාය පත්‍ර ලෙස අප මත පටවා තම අභිමතාර්ථ ඉටු කරගත් දේශපාලුවන් නිසා ය. අප වරදකරුවන් වන එක් සථානයක් තිබේ. ඒ තක්කඩින්ට තක්කඩිකම් කරන්නට ඉඩ හැර පුරවැසියන් ලෙස අප කරබාගෙන සිටීම සම්බන්ධයෙනි.

අප කරබාගෙන සිටිනා තුරු කැපෙනුයේ අපේ මිනීවලම බව අප තේරුම් ගත යුතුය.

Chulananda Samaranayake මුහුණූ පොතිනි.

Archive

Latest news

Related news