Friday, April 19, 2024

වසංගතයට මුවා වූ රාජපක්ෂ මර්දනය සමස්ත සැළැස්මක්; පැරදවීමට එක්වෙමු! – INSD, යුරෝපය

ඡායාරූපය: රාජපක්ෂ මර්දනය ඒහි දුෂ්ඨතම නිරුවත පෙන්වයි. 08 දා අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි විරෝධතාව පොලීසිය මැඩලූ අන්දම. ( ජයාරූපය  මුහුණු පොතෙනි)

පසුගිය දින ගණනාව තුළ ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස්හි පුරවැසි කණ්ඩයම් විසින් පවත්වන ලද විරෝධතා රාජපක්ෂ රජය විසින් කොවිඩ් වසංගතය දඩමීමා කරගෙන මර්දනය කිරීම යුරෝපය මූලික කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය කොන්දේසි විරහිතව හෙළා දකී. එකී විරෝධතාවයන් සමඟ සිය ස්ථාරසාර සහයෝගය ද ප්‍රකාශ කරයි.

මෙම විරෝධතා ව්‍යාපාර පවත්වන ලද්දේ සාමකාමීව සහ නීත්‍යනුකූලවය; වසංගතය පාලනය කිරීම සඳහා නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන්ට අනුකූලවය. ස්වකීය ඉල්ලීම්, පාලකයිනට ඉදිරිපත් කිරීම සඳහා ගොවි-කම්කරු-ශිෂ්‍ය ප්‍රජාවන් විසින් පවත්වන විරෝධතා මර්දනය කිරීමට කිසිදු රජයකට අයිතියක් නැත. විරෝධය පෑම පුරවැසියාගේ මූලික අයිතියකි.

රාජපක්ෂ පාලනය විසින් දියත් කර ඇති මෙම මර්දනය පැහැදිළිවම දේශපාලන අරමුණක් ඇතිව කරන ලද බව ද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය ප්‍රකාශ කරයි. ඒ බව පැහැදිලි වන්නේ පුරවැසි කණ්ඩායම් අත්අඩංගුවට ගෙන බලහත්කාර  නිරෝධායනයට යවන ලද දිනයේ ම ( 2021 ජූලි 08) බැසිල් රාජපක්ෂවාදී පිරිස් විසින් විවිධ ස්ථානයන්හි පවත්වන ලද මහජන ඒකරාශි වීම් සඳහා පොලිසිය ආරක්ෂාව පවා ලබා දීම මගිනි. මේ වනාහි පැහැදිලිවම දේශපාලන මර්දනයකි.

අධිකරණය විසින් ඇප ලබා දීමෙන් පසුත් දේශපාලන සහ වෘත්තීය සමිති නායක නායිකාවන් බලහත්කාරයෙන් වාහන වලට නංවා නිරෝධායන කඳවුරු කරා ගෙන යාමෙන් පෙන්නුම් කැරෙන්නේ අත්තනෝමතික රාජ්‍යයක අවනීතියේ පාලනයට සීමාවක් නැති බවයි.

මෙකී අනීතික පොලිස් නිලධාරීන් විසින් භික්ෂුවක කුදලා ගෙන යන ජයාරූපය ඒකාධිපති රජයක නිසැක සංකේතයකි. මෙම මර්දනය හුදෙක් කොවිඩ් වසංගතය නිසා ඇති වූවක්ද නොවේ. රාජපක්ෂ පාලනය ආරම්භයේ සිටම කර ගෙන එනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතික දේශපාලන සැලැස්මේ තවත් එක් පියවරක් පමණි.

ජනමාධ්‍ය බිය ගැන්වීම පිණිස දැනටමත් මුදා හැර ඇති භීෂණය ද ඇතුලු සමස්ත මර්දනයක එක් කොටසකි. මෙම අත්තනෝමතික රාජ්‍ය සැලැස්මකට මුහුණ දිය හැක්කේ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන විසින් දැනටමත් පෙන්වා දී ඇති පරිදි එකසත්, ඒකාබද්ධ අරගලයන් මගින් පමණි.

රාජපක්ෂ පාලනයේ මෙකී දුෂ්ඨ අනීතික මර්දනය හෙළා දැකීමෙන් නොනැවතී සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවන් සතු ප්‍රජාතන්ත්‍රීය සහ මානව හිමිකම් රැක ගැනීමට පුළුල් සහ එක්සත් ක්‍රියාකාරිත්වයන්ගේ අවශ්‍යතාවය යළි අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. ඒ අතරවාරයේම බලහත්කාර නිරෝධායන කඳවුරු කරා යවන ලද සියලු දේශපාලන සහ සිවිල් ක්‍රියකාරීන් සහ ක්‍රියාකාරිනියන් වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය රාජපක්ෂ ආණ්ඩුවට බල කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය වෙනුවෙන්

සේනක වත්තේගෙදර
රංජිත් හේනායකආරච්චි
සිවසාමි සිවරාජන්

09.07.2021

Archive

Latest news

Related news