Friday, May 3, 2024

වසංගතයට මුවා වී එක දිගට ක්‍රියාකාරී පිරිස් අත්අඩංඟුවට ගැනීම ගුරු සමිති අටක් හෙළා දකිති

ජායාරූපය: අද පොලීසිය දුමින්ද නාගමුම අත්අඩංඟුවට ගත් අවස්ථාව

මහින්ද ජයසිංහ සංජීව බණ්ඩාර ඇතුළු වෘත්තීය සමිති හා දේශපාලන කි‍්‍රයාකාරිකයින් නිරෝධායන නීති මුවාවෙන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිමු !

මුතුරාජවෙල පරිසර කලාපය පිළිබඳ උද්ඝෝෂණයකට සම්බන්ධවී සිටි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයාව අත්අඩංගුවට ගැනීම සහ කොළඹ ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් නොගෙවීමට එරෙහි වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සහය පළ කරමින් උද්ඝෝෂණයේ යෙදීම හේතුවෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර සහෝදරයා සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු තිදෙනෙක් සමග සත්‍යග‍්‍රහයේ නිරත දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමත්, ගොවි උද්ඝෝෂණයකට සහභාගි වූ සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න සහෝදරවරු අත්අඩංගුවට ගැනීමත් අප දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු.

බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය 01 වෙනිදා පැවති ගොවි උද්ඝෝෂණයට නායකත්වය දීම සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ගල්ඒදණ්ඩ විජිතාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන, ජාතික භික්ෂු පෙරමුණේ විභායක සභික වීරකැටියේ අනුරුද්ධ හිමි, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පස්දෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් 2021.07.06 දින නිකුත් කළ ලිපියකට අනුව නිරෝධායන නීතීන්ට මුවා වී මෙම අත්අඩංගුට ගැනීම් සිදුකර ඇත.  කෝවිඞ් 19 නිරෝධායන නීතීන්ට මුවා වී මෙලෙස අරගලවල නිරත වෘත්තීය සමිති හා දේශාපලන කි‍්‍රයාධරයන් මර්දනය කිරීම බරපතල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයවකි.

ජනතාවට උද්ඝෝෂණ කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩු ජනතා ගැටලූ විසඳීමට කටයුතු නොකිරීම නිසාය. උද්ඝෝෂණ සහ ජනතා අරගල නැවැත්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ එම ගැටලූ විසඳීමට කටයුතු කිරීමය. එසේ නොමැතිව ජනතා ගැටලූ දිනෙන් දින උත්සන්න වෙමින් පැවතියදී එම ගැටලූ විසඳීමට බලකරමින් උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත කි‍්‍රයාවට නැගීමකි.


ප්‍රදේශයේ ජන ජීවිතයටද විශාල බලපෑමක් ඇති කරමින් මුතුරාජවෙල වගුරු බිමෙන් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා ප්‍රදේශයේ විශාල පරිසර ගැටලුවක් නිර්මාණය වී තිබීමට එරෙහිව අද (07) දහවල් පැවති විරෝධතාවයට සහභාගී වීම හේතුවෙන් බෝපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්  ලංකා ගුරුසේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු තිදෙනා ඇප මන නිදහස් කර තිබේ.

මෙම තත්වය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින පහත වෘත්තීයස සමිති ආණ්ඩුවට ප‍්‍රකාශ කර සිටින්නේ කෝවිඞ් 19 නිරෝධායන නීතීන්ට මුවා වී ජනතාවගේ විරෝධය පෑමේ හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය  උල්ලංඝණය නොකරන ලෙසත්, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී  නියමයන් වහා අකුලා ගන්නා ලෙසත්ය.

මෙයට,
පහත වෘත්තීය සමිති වෙනුවෙන්,

ජෝසප් ස්ටාලින්                    පූජ්‍ය යල්වෙල පඤ්ඥාසේකර හිමි
ලංකා ගුරු සංගමය                 සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
0773112541

ලංකා ගුරු සංමය
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය
පුහුණු හා විද්‍යාපීඨ උපාධිධාරී ගුරු සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ලංකා ප‍්‍රගති ගුරු සංගමය
ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය

Archive

Latest news

Related news