Saturday, April 27, 2024

නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු යන්න බෑ ලූ‘  බම්බුව තමයි! – රජිත් කීර්ති තෙන්නකෝන් 

ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම  දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි.  

තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම  අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය.  විහිළුව සරත් ෆොන්සේකා ය. සුක්ෂම අවස්ථාව ඩලස් ය.  බැසිල් ගේ පත් කිරීම ඔය එකක් තරම් වත් ලංකා දේශපාලනයේ තවම සුවිශේෂ වන්නේ නැත!

2004 මහා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ බාර දුන් නාම යෝජනා පත්‍රයක හෝ 99 ඒ වගන්තිය යටතේ බාරදුන් ජාතික ලැයිස්තුව ට හෝ රත්නසිරි වික්‍රමනායක ගේ හෝ විජේදාස රාජපක්ෂ ගේ නම තිබුණේ නැත. නමුත්, ඔවුන් දෙදෙනා පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබීය.  එයට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් සුනන්ද දේශප්‍රිය අභියාචනාධිකරණයේ නඩුවක් දැම්මේය.  පසුව මේ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.  ජනදාස පීරිස් ඉල්ලා අස් නොවන්නට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන්ගේ දිගු කාලීන දේශපාලන හිතවතා හා ලෙස අගමැති රත්නසිරි පත් කර ගන්නට ලැබෙන්නේ නැත. විජේදාසට ජාතික ලැයිස්තුව ලැබුණේ මේ වැඩේට අවශ්‍ය නීති තර්කය හැදූ නිසා යැයි මම සිතමි.

2007  සැප්තෑම්බර් එජනිස පත්කල මන්ත්‍රී අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයා අභාවයට පත් වූ අතර එම පුරප්පාඩුවට පත්වුයේ බැසිල් රාජපක්ෂ ය.  කතාව හැමෝම දන්නා බැවින් විස්තර නොකරමි.  

1999 දී පොදුජන පෙරමුණ (පුටුව) 99 ඒ වගන්ති ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්ට බාරදුන් ජාතික ලැයිස්තුව සංශෝධනය කළේය.  මුල් ලැයිස්තුවේ බැටී වීරකෝන් ගේ නම තිබූ අතර, දෙවැන්නේ බැටී ගේ නම තිබුණේ නැත.  බැටී වීරකෝන් කීර්තිමත් නීතිවේදියා නඩු දැම්මේය.  වැඩක් වුණේ නැත.

2015 මහා මැතිවරණයට සරත් ෆොන්සේකා ‘පන්දම‘ ලකුණින් ඡන්දය ඉල්ලා පරාජයට පත් විය. 2016 දී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මිය ගිය පසුව (එජාප තම ලැයිස්තුවේ සිටි අසාත් සාලි වෙනුවට),  වෙනත් පක්ෂයකින් තමන්ට විරුද්ධව ඡන්දය ඉල්ලු සරත් ෆොන්සේකා ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය.  කොමිසම ඒ නම ගැසට් කර සරත් ෆොන්සේකා මන්ත්‍රී කළේය.  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එදා එජාප මහ ලේකම් කබීර් හෂීම් ට විරුද්ධව අංක 54/2016 මානව හිමිකම් නඩුව දැම්මේය. නඩුව විභාගයට නොගෙන ම විසි විය. 

ජාතික ලැයිස්තුවේ නම නොතිබුණු ඩලස් අලහප්පෙරුම 2005 පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි දැන් කවුරුත් කථා කරන්නේ නැත.  ඇමති ලක්ෂමන් කදිරගාමර් ඝාතනයෙන් පසුව ඩලස් පාර්ලිමේන්තුවට ආ හැටි තමයි හොඳම එක! ඒක හොඳටම කළේ මහින්ද රාජපක්ෂ ය.   

2008 වසන්ත සමරසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ විට එයට පත් වූවේ හොර පාස්පෝට් එකකින් ලන්ඩන් ගොස් ආපසු ලංකාවට පැමිණ සිටි විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ය. කරුණා කළ ජාතික මෙහෙවර නිසාදෝ එදා ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ගැන කවුරුවත් කථා කළේ නැත.

හෙළ උරුමය මගින් මැතිවරණයට ඉදිරිපත් කළේ භික්ෂුන් වහන්සේලා පමණී.  2006 පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී චම්පික රණවකට පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාව සලසා දුන්නේය. චම්පික ඒ මැතිවරණයට තරඟ කළේ හෝ ජාතික ලැයිස්තුවේ නම තිබුනේ හෝ නැත.මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පත් කිරීම් හරිම අපූරුය. මාතෘකාවට කෙළින්ම සම්බන්ධ නැතත් සල්මාන්, අයි.කුද්දුස්, පුෂ්පකුමාර පමණක් නොව අසිත පෙරේරා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ හැටි විචිත්‍ර කතාය.   ලැයිස්තුව තවත් දිගය! අවශ්‍ය කෙනෙකුට සොයා ගත හැකිය.

අගමැති රත්නසිරි, කරුණා අම්මාන්, ඩලස්, චම්පික, විජේදාස පාර්ලිමේන්තුවේ කැපි පෙනුනු චරිත ය.

බැසිල් රාජපක්ෂගේ පත්වීම ඒ සියල්ලට වඩා අවශේෂ හෝ සුවිශේෂ වන්නේ පත්වීමේ නීත්‍යානුකූල භාවය නිසා නම් නොවේ.  විපක්ෂය එය බාර ගන්නා ආකාරය අනුවය.

රජිත් කීර්ති තෙන්නකෝන් 

Archive

Latest news

Related news