Friday, March 29, 2024

දුමින්දට දුන් සමාව සහ නීතියේ ආධිපත්‍යයට කැරෙන අඩන්තේට්ටම් ඉහළ යෑම – හියුමන් රයිිට්ස්වොච්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වරදකරුවන් වූ සිරකරුවන් 16 දෙනෙකුට ශ්‍රී ලංකා රජය සමාව දීම, කෙසේ හෝ පිළිගත හැකි වුව ද, එකී පාපිෂ්ඨ පනත අවලංගු කිරීමේ හදිසි අවශ්‍යතාව එයින් පිරිමැහෙන්නේ නැති බව Human Rights Watch ඊයේ (29) පැවසීය. යුරෝපා පාර්ලිමේන්තුව මෑතක දී යෝජනාවක් සම්මත කර ගනිමින්, ශ්‍රී ලංකා රජය පනත ප්‍රතිස්ථාපනය කිරීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැප වී කටයුතු නොකරන්නේ නම්, තම වෙළඳ පොළ සඳහා දී ඇති තීරු බදු සහන ඉවත් කිරීම ගැන සලකා බලන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

2021 ජුනි 24 වන දින බෞද්ධ උත්සවයක් සැමරීම සඳහා ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ රජය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් වූ 16 දෙනෙකු ඇතුළු සිරකරුවන් 94 දෙනෙකුට සමාව දුන්නේය. අත්තනෝමතික ලෙස රඳවා තැබීම සහ වධහිංසා පමුණුවා පාපොච්චාරණ ලබා ගැනීම උදෙසා දිගු කලක් තිස්සේ පාවිච්චියට ගත් එම පනත, ප්‍රධාන වශයෙන් දෙමළ හා මුස්ලිම් සුළුතරයට එරෙහිව භාවිතා කර ඇත. 2011 දී ප්‍රතිවාදී දේශපාලනඥයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට එල්ලා මැරීමට නියම වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම සිය දේශපාලන ගැත්තෙකු වන දුමින්ද සිල්වාට ද ජනාධිපතිවරයා සමාව ලබා දී ඇත.

“ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ මෑත සමාව දීමෙන් අවධාරණය වන්නේ ශ්‍රී ලංකාවට අව්‍යාජ නීතියේ ආධිපත්‍යයක ඇති අවශ්‍යතාවයයි. එය මිත්‍රයින්ට අනුග්‍රහය දැක්වීමක් හෝ තමා ගැති කම් පාන රටවල් සමග පමණක් වාණිජ කටයුතු කිරීම සඳහා නින්දිත නරුම පියවර ගැනීමක් ද නොවෙයි,” යනුවෙන් දකුණු ආසියාවේ අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පැවසුවාය. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් සිරගතව සිටින පුද්ගලයින් නිදහස් කළ පමණින්ම, එකී දූෂිත නීතිමය පනත අවලංගු කිරීමේ හෝ ඒ සඳහා ශ්‍රී ලංකාවේ හවුල්කරුවන් විසින් බලපෑම් කරනු ලැබීමේ අවශ්‍යතාවය කිසිසේත්ම ඉවත් වන්නේ නැහැ.”

සමාව ලැබූ PTA සිරකරුවන් 16 දෙනාගෙක් බොහෝ අය පරාජිත බෙදුම්වාදී LTTE සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වීමේ චෝදනා මත දශකයකට වැඩි කාලයක් සිරගත කර තිබුණි. ඔවුන් එක්කෝ ඔවුන්ගේ දඬුවම් අවසන් වීමට ආසන්නව සිටියා විය හැකිය; නැති නම් ඔවුන්ගේ දඬුවම් කාලය ඉක්මවා යම් කාලයක් සිරගතව සිටියා විය හැකිය.

ත්‍රස්ත පනත අහෝසිය වෙනුවට බල ගැන්වීම

2019 දී බලයට පත්වූ දා සිටම, රාජපක්ෂ ආණ්ඩුව විශේෂයෙන්ම දෙමළ හා මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින්ට එරෙහිව PTA පනත භාවිතා කර ඇති අතර, සුළුතර ජන කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීම උසිගන්වන අයට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැත. මෙම පනත යටතේ තවමත් රඳවා ගෙන සිටින අය අතර 2020 අප්‍රේල් 14 සිට අත්අඩංගුවේ පසු වන මුස්ලිම් මානව හිමිකම් නීතිඥයෙකු වන හෙජාස් හිස්බුල්ලා, සහ සාමය හා සාධාරණත්වය ප්‍රවර්ධනය කරන කවි පොතක් නිසා 2020 මැයි 16 සිට රඳවා ගෙන සිටින මුස්ලිම් කවියෙකු වන අහ්නාෆ් ජසීම් ද වේ.

PTA පනත අවලංගු කරනවා වෙනුවට, මෑත මාසවල දී නින්දිත ක්‍රියාකාරකම් සඳහා එය වඩ වඩාත් පාවිච්චි කිරීමට රාජපක්ෂ විසින් පියවර ගෙන තිබේ. “ආගමික, ජාතික, හෝ ප්‍රජා අසමගිය” ඇති කරන බවට චෝදනා ලබන ඕනෑම අයෙකු “නඩු විභාගයකින් තොරව” වසර දෙකක් දක්වා සිර ගත කිරීමට බලධාරීන්ට ඉඩ සලසන නව රෙගුලාසි මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලදී. කොළඹ පිහිටි, වධ හිංසා පැමිණවීම ගැන කුප්‍රකට පොලිස් ගොඩනැගිල්ලක් PTA සිරකරුවන් රඳවා තබා ගැනීම සඳහා යොදා ගන්නා බව ජනාධිපතිවරයා ජුනි මාසයේ දී නිවේදනය කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ ගණන වැඩි වෙමින් තිබෙනවා,” යයි එම නීතිය යටතේම ගොදුරක් බවට පත්ව ඇති සංවිධානයක නීතිඥයෙකු Human Rights Watch සමග පැවසීය. විශේෂයෙන් දෙමළ බහුතරක් වෙසෙන උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බොහෝ සිවිල් සමාජ කණ්ඩායම්වලට සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට රාජපක්ෂ ආණ්ඩුව යටතේ වන ආරක්ෂක අංශ විසින් හිරිහැර හා බිය ගැන්වීම් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අයිතිවාසිකම්වලට ගරු කරන නීති සම්පාදනය කරන ලෙස වසර ගණනාවක් තිස්සේ දේශීය හා ජාත්‍යන්තර ඉල්ලීම් කර තිබේ. එක්සත් ජාතීන්ගේ විශේෂඥයින්, සහ Human Rights Watch ඇතුළු මානව හිමිකම් කණ්ඩායම් විසින් PTA පනත යටතේ සිදු කළ බරපතල අපයෝජන පුළුල් ලෙස ලේඛන ගත කර ඇත.

යුරෝපා සංගමයේ යෝජනාව

යුරෝපා පාර්ලිමේන්තුවේ ජුනි 10 යෝජනාව මගින් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ, PTA පනත ප්‍රතිස්ථාපනය කිරීමට 2017 මැයි 19 වන දින දුන් සුවිශේෂී ප්‍රතිඥාව ඇතුළුව, ශ්‍රී ලංකාව අන්තර්ජාතික මානව හිමිකම් පිළිබඳ සිය බැඳීම් ඉටු නොකරන්නේ නම්,.GSP+ නමින් හැඳින්වෙන වාණිජ තීරු බදු සහනය අත්හිටුවන ලෙසයි. 2020 දී රාජපක්ෂ රජය එම ප්‍රතිඥාව ඉටු නොකර ලිස්සා ගිය නමුත් යුරෝපීය පාර්ලිමේන්තු යෝජනාවෙන් පසුව පනත ප්‍රතිස්ථාපනය කිරීමේ නව සැලසුම් ප්‍රකාශයට පත් කළේය.

GSP+ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජය සමග, “ශක්තිමත් කළ සහයෝගීතාවයක්” ලෙස හැඳින්වෙන වඩාත් සියුම් නිරීක්ෂණ ක්‍රියාවලියක් දියත් කිරීම යුරෝපීය කොමිසම විසින් සලකා බැලිය යුතු බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සහ අනෙකුත් මානව හිමිකම් බැඳීම් ඉටු කිරීම සඳහා කාල රාමුවක් සහ ස්ථාවර නිර්ණායක සකස් කළ යුතු බවත් Human Rights Watch පැවසීය.

2011 දී පැවති ප්‍රාදේශීය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව් දෙනෙකු අතර සිටි දුමින්ද සිල්වාට සමාව දීමට ජනාධිපති රාජපක්ෂ ගත් තීරණය, බරපතල අපරාධ පිළිබඳ වගවීම පිළිබඳ රජයේ නොසැලකිල්ල ඉස්මතු කරයි. 2018 දී වරදකරුවන්ට දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරන ලදී.

“නීතියේ ආධිපත්‍යය දුර්වල කරමින් ද වගවීම අඩපණ කරමින් ද, තෝරා බේරා ගනිමින් අත්තනෝමතික ලෙස සමාව ලබා දීමේ තවත් උදාහරණයක්” ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මෙම සමාව දීම හෙළා දුටුවේය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, PTA සිරකරුවන් කලින් නිදහස් කිරීම පිළිගත් නමුත්, සිල්වාට සමාව දීම මගින් “නීතියේ ආධිපත්‍යය” බල්ලාට දමා ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමය පැවසුවේ, විනිවිද පෙනෙන නීතිමය පටිපාටියකින් තොරව “දුමින්ද සිල්වාට ලබා දී ඇති සමාව අසාධාරණ සහ අත්තනෝමතික බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස නීතියේ ආධිපත්‍යය සෝදාපාළු වී යන අතර නීතියට ගරු කිරීම පිළිබඳව ජනතා විශ්වාසය නැති වී යන” බවය.

සුනිල් රත්නායකට දුන් සමාව

එවැනි ක්‍රියා පටිපාටියකට අනුව සමාව දීමට පෙර නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් ලබා ගත යුතු බව රටේ ව්‍යවස්ථාවේ ද සඳහන් බව නීතිඥ සංගමය පැවසීය. දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සොල්දාදුවෙකු වන සුනිල් රත්නායකට රාජපක්ෂ විසින් සමාව දෙනු ලැබීමත් සමග, ජනාධිපති සමාව අත්තනෝමතික ලෙස භාවිතා කිරීම සම්බන්ධ මෙවැනිම කනස්සල්ලක් 2020 දී මතු විය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයකට හෝ නඩු විභාගයකට යටත්ව සිටින සහචරයින් සහ ඥාතීන් දුසිම් ගණනකට එරෙහි චෝදනා අත්හැර දැමීමට නිර්දේශ කළ ජනාධිපති කොමිසමක් පිහිටුවීම මගින් ගෝටාබය රාජපක්ෂ නීතියේ දෙවඟනට සිය පශ්චාත් භාගය පෙන්වා ඇත. ජේෂ්ඨ විනිසුරුවන්ගේ පත්කිරීමේ බලධරයා (Appointing Authority) ලෙස ජනාධිපතිවරයා පත්කරන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීමෙන් ඔහු නීතියේ දෙවඟනගේ රෙදි ගලවා ඇත.

“නීතියේ ආධිපත්‍යයට ජනාධිපති රාජපක්ෂ කරන අඩන්තේට්ටම් සෑම දිනකම ඉහළ යනවා,” යයි ගංගුලි පැවසුවාය. “ රාජ්‍ය තන්ත්‍රය තුළ ඇටුවන් බැස ඇති ජඩකම් අවසන් කිරීම සඳහා අව්‍යාජ ප්‍රතිසංස්කරණයක් සිදු වන තෙක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ශ්‍රීී ලංකාවට බලපෑම් කළ යුතුයි. බොරු පොරොන්දු, නැති නම් හිස් ඉඟිබිඟි පෙන්වා ලිස්සා යාමට ඔවුන්ට ඉඩ නොදිය යුතුයි.”

-2021 ජුනි 29 වන දින Human Rights Watch වෙබ් අඩවියේ පළ වූ, ‘Sri Lanka: Pardons a Meager Response to Abusive Law’ නම් වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,  ආනන්ද විසිනි/ ලංකා ඊ නිව්ස්

Archive

Latest news

Related news