Friday, April 26, 2024

ශානිගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදී සංගමයෙන් බලධාරීන්ට ඉල්ලීමක්

“අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය” හි සභාපති වෙත ලිපියක් යොමු කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කියා සිටී.

එම ලිපිය මෙසේද සඳහන් කරයි:

“ජනමාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ සහ විමර්ශන අධීක්ෂණය කළ ඒ මහතාගේ ජීවිතයට යම් තර්ජනයක් සිදුවුවහොත් එය විමර්ශනවලට දැඩි අගතියක් වන බව අප සංගමයේ අදහසයි. එබැවින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල ආයතන දැනුම්වත් කරන ලෙස ඉල්ලා මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කළ අතර ආයතන ගණනාවකට අත්සන් 4000ක් පමණ සහිත මහජන පෙත්සමක් ද යොමු කරන ලදී.”

සම්පූර්ණ ලිපිය පහත පළ වේ:

2021/06/29

සභාපති,
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය,
පළමු මහල,
නො. 428/11 A,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

මහත්මයාණෙනි,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ එම පවුලේ සාමාජිකයන්ට ප්‍රබල ජීවිත අනතුරක් තිබෙන බව දන්වමින් අබේසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යවා ඇති බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට වාර්තා විය.

ජනමාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ සහ විමර්ශන අධීක්ෂණය කළ ඒ මහතාගේ ජීවිතයට යම් තර්ජනයක් සිදුවුවහොත් එය විමර්ශනවලට දැඩි අගතියක් වන බව අප සංගමයේ අදහසයි. එබැවින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල ආයතන දැනුම්වත් කරන ලෙස ඉල්ලා මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කළ අතර ආයතන ගණනාවකට අත්සන් 4000ක් පමණ සහිත මහජන පෙත්සමක් ද යොමු කරන ලදී.

මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදී තුවාල සිදුකිරීම, හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුලු ජනමාධ්‍යයට සම්බන්ධ සිදුවීම් ගණනාවක විමර්ශන සිදුවූයේ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේය.

අබේසේකර මහතාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ මෙම විමර්ශන අඩපණ කිරීමට බව මීට පෙර ද අප සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. පවතින වාතාවරණය තුල අබේසේකර මහතාගේ ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් එය මෙම විමර්ශනවට සෘජුවම බලපාන අතර විමර්ශනවල ප්‍රධානම සාක්කිකරුවකු නොමැතිවීම නිසා සැකකරුවන් නිදහස් වීමට පවා ඉඩ තිබේ.

එබැවින් මෙම බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඔබ අධිකාරියෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

අබේසේකර මහතා විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපිවල පිටපත් ද මේ සමඟ අමුණා ඇත.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
ඊමේල් – [email protected]

පිටපත්

1) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
2) ජ්‍යෙ.පො.අ.ශානි අබේසේකර මහතා
3) නීතිපතිතුමාට

Archive

Latest news

Related news