Monday, May 20, 2024

මාර්ගගතව උගන්වනු යැයි ගුරුවරියන්ට සහ ගුරුවරුන්ට බලපෑම් කිරීම නතර කරනු – ගුරු සමිති 11ක් එක්ව ආණ්ඩුවට කියති.

මාර්ගගත  (online) ඉගැන්වීම් සඳහා ගුරුවන්ට බලපෑම් කිරීම වහා නතර කළ යුතුයි

2020 මාර්තු 12 සිට කොරෝනා වසංගතයත් සමග පාසල් වැසීම ආරම්භ විය. එම කි‍්‍රයාවලියට වසරකුත් මාස 3 කට වැඩි කාලයක් ගත වී තිබියදීත් දුරස්ථ ඉගැන්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු වැඩපිළිවෙක් කි‍්‍රයාත්මක කර නැත. දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද බොහෝ තිබියදී කෝවිඞ් 19 වසංගත තත්වය තුළ බිඳවැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුවේ එකම විකල්පය වී ඇත්තේ මාර්ගගත  (online) ඉගැන්වීම්ය. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මාර්ගගත අධ්‍යාපනයට අවශ්‍ය උපාංග, ඬේටා වැනි කිසිදු පහසුකමක් ගුරුවරුන්ට ලබාදී නැත. දැනට සිදුවන මාර්ගගත ඉගැන්වීම් ගුරුවරු විසින් තම වියදමින් ස්වේච්ඡුාවෙන් සිදු කරමින් තිබේ. මාර්ගගත අධ්‍යාපනය තුළ ළමුන්ගෙන් 60% කට වැඩි පිරිසකට අධ්‍යාපනය අහිමි වී ඇත.

එවැනි පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගුරුවරු ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් අධීක්ෂණය කිරීමට කටයුතු කරමින් සිටී. ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදී ඔවුන් විසින් ස්වේච්ඡාවෙන් සිදු කරන කාර්යයන් අධීක්ෂණය කිරීම අප තරයේ හෙළා දකිමු. එසේම සමහර කලාප අධ්‍යාපන කාර්යාල මගින් මාර්ගගත ඉගැන්වීම් සඳහා ගුරුවරුන්ට දැඩි ලෙස බලපෑම් කරමින් සිටී. බොහෝ දරුවන් මෙම මාර්ගගත ඉගැන්වීම්වලට සහභාගි නොවන අතර, එවැනි දරුවන් කෙසේ හෝ සම්බන්ධ කර ගැනීමට කලාප අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට දැඩි බලපෑම් කරමින් සිටී.

මෙම බලපෑම්වලට යටත් නොවන ලෙසත්, තමන් ස්වේච්ඡාවෙන් කරන කාර්යයන් අධීක්ෂණයට ඉඩ නොදෙන ලෙසත් අපි සියලූ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

එසේම ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට කිිසිදු පහසුකමක් ලබා නොදී මේ ආකාරයෙන් මාර්ගගත ඉගෙනුම් සඳහා බලපෑම් කිරීම සහ එම ඉගැන්වීම් අධීක්ෂණය කිරීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටින අතර, රාජකාරිමය කටයුත්තක් නොවන ස්වේච්ඡාවෙන් මාර්ගගත ඉගැන්වීම්වල යෙදෙන ගුරුවරුන්ගෙන් ද අප ඉල්ලා සිටිනුයේ එවැනි බලපෑම්වලට යටත් නොවන ලෙසයි.

මෙයට,
ජෝසප් ස්ටාලින් – ලේකම් –  ලංකා ගුරු සංගමය  0773112541

මහින්ද ජයසිංහ – ලේකම් –  ලංකා ගුරු සේවා සංගමය 0718297022
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
ලංකා විදුහල්පති සේවා සංගමය
ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
ලංකා ප‍්‍රගති ගුරු සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
පුහුණු හා විද්‍යාපීඨ ගුරු සංගමය
ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය
ලංකා කෘෂි විද්‍යා, ගෘහ විද්‍යා ඩිප්ලෝමාධාරී සංගමය

Archive

Latest news

Related news