Monday, May 20, 2024

පොලිසියෙන් වටලා ඊයේ කතුවරුන් සහ උපකරණ අත්අඩංඟුවට ගත් හොංකොං හි “ඇපල් ඩේලි”අද යළි පත්තර තට්ටුවල: හෙඩිම “ඉදිරියටම යමු”!

ඡායරූපය: අත්අඩංඟුවට ගත් කතුවරයා සහ විධායකයින් පස් දෙනාගේ ඡායාරූප වලට යටින් කහ පැහැයෙන් ලියූ ” අප ඉදිරියටම යා යුතුය” සහිතව අද පළ වූ ඇපල් ඩේලි පිටපත. ( බීබීසී ජායාරූපයකි)

පසුගිය 17වනදා චීන නීති යටතේ ක්‍රියාත්මක වන හොංකොං පොලිසිය විසින් හොංකොං හි  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට පක්ෂපාතී ජනප්‍රිය “ඇපල් ඩේලි” පුවත්පතෙහි ප්‍රවෘත්ති අංශය වටලා කතුවරුන් පස් දෙනෙකු අත්අඩංඟුවට ගන්නා ලදී.

එහි හිමිකරු වන ප්‍රකෝටිපති ජිමී ලයි  දැනටමත් බොරු නඩු විභාගයක් මගින් සිරගත කර තිබේ. චීනය විසින් හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය අහෝසි කර තනි පක්ෂ පාලනයක් පිහිටුවීමට දරන ප්‍රයත්නයට විරුද්ධව පැන නැඟුනු තරුණ උද්ඝෝෂනයන්ට ඔහු සහයෝගය දැක්වීය.

මෙම මර්දනකාරී පියවරයන්ට පිළිතුරක් වශයෙන් ඊට පසු දිනම එනම් 18වනදා  මුල් පිටුවෙහි “අප ඉදිරියටම යා යුතුය” යන විරෝධතා ශීර්ෂපාඨයක් සහිතව වැඩි පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කරමින් “ඇපල් ඩේලි” පුවත්පත පත්තර තට්ටු මතට පැමිණියේය.

පොලිස් නිලධාරීන් 500ක් පුවත්පත වැටලීමට ආහ. ( බීබීසී ජායාරූපයකි)

චීනයට එරෙහි සම්බාධක ඉල්ලා සිටින ලිපි පළ කල බවට චෝදනා කරමින් පොලිස් නිලධාරීන් 500 කට වැඩි පිරිසක් බ්‍රහස්පතින්දා පුවත්පතේ ප්‍රවෘත්ති කාමරය වැටලූහ.

ප්‍රධාන සංස්කාරක රයන් ලෝ සහ ප්‍රධාන විධායක නිලධාරි චියුන් කිම්-හං ඇතුළු විධායකයින් පස් දෙනෙකු හොංකොං හි නව ජාතික ආරක්ෂක නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලැබුනේ එම වැටලීමෙන් පසුය.

පොලිස් සාක්ෂි වශයෙන් යැයි රැගෙන ගොස් තිබූ පරිගණක සහ දත්ත තැටි රාශියක් ගෙන ගොස් තිබුණද  ප්‍රවෘත්ති කාමරයකට ආපසු පැමිණි සංස්කාරක මණ්ඩලය ඔවුන් පසුගිය අවුරුදු 26 පුරා කළ ඇති පරිදි  ඊළඟ දිනයේ පුවත්පත එළිදැක්වීම සඳහා රාත්‍රිය පරයමින් වෙහෙස වී කටයුතු කළෝය.

ජාත්‍යන්තර මාධ්‍ය කේන්ද්‍රස්ථානයක් වන ඔවුන්ගේ නගරය තුළ මාධ්‍ය නිදහස නොවැළැක්විය හැකි ලෙස පහත වැටී ඇති බව වාර්තා කරන අනෙක් පුවත්පත්හි වාර්තාකරුවන් පිරිසක්ද මේ වතාවේ ඔවුන් වටා රුස්ව සිටියහ.

අත් අඩංගුවට ගත්  ප්‍රධාන සංස්කාරක සහ විධායකයින් පස් දෙනාගේ පින්තූර ඇතුළත් සරල මුල් පිටුවක් ඔවුහු නිර්මානය කළහ. ඒ සමඟම පොලිස් වැටලීම පියවරෙන් පියවරට විස්තර කළ වාර්තාවක් ද මුල් පිටුවට එක් කළහ.

ඊට යටින් තද පැහැති කහ පැහැති අක්ෂරයකින් ඔවුන් “අපි ඉදිරියටම යා යුතුයි” යනුවෙන් මුද්‍රණය කළහ. ප්‍රධාන කතුවරයා වූ  චියුන් පොලිසිය විසින් මාංචු දමා  රැගෙන යන විට කාර්ය මණ්ඩලයට ඔහු හඬගා කී වචන ඒවා විය.

සාමාන්‍ය දෛනික පිටපත් සංඛ්‍යාව 80,000ක් වන නමුත් අද දින ඔවුහු පිටපත් 500,000ක් මුද්‍රණය කළහ. ඒ මෙම ඓතිහාසික මුද්‍රණයේ පිටපත් හොංකොං ජනයා විසින් අනුස්මරණ කලාපයක් ලෙස මිලදී ගනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

සිය පුවත්පත රැක ගැනීමට සටන් වදින කතු මඩුල්ල ( ඒඑෆ්පී ජායාරූපයකි)

යම් යම් පලාත්හි නිවැසියන් දුසිම් ගනන් පළමු සංස්කරණය මිලදී ගැනීම සඳහා උදේ පාන්දරම පෝලිම් ගැසුණි.

“සාමාන්‍යයෙන් අප විකුණන්නේ පිටපත් 60 ක් පමණයි. නමුත් අද එළිවන ජාමයේ අප 1,800 ක් වික්කා” යනුවෙන් එක් පත්තර තට්ටු වෙළෙන්දකු ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබේ.

පිටපත් දහයක් තමා මිලදී ගත් බව කී නිපැයුම් සංවර්ධිකාවක කීවේ “වසර ගණනාවක් තිස්සේ අප මාධ්‍ය නිදහස භුක්ති වින්දා. අපට ඕනෑම දෙයක් කියන්නට හැකි වුණා” යැයි කියාය.

“නමුත් වසරක් ඇතුළත ඒ සියල්ල වෙනස් වෙලා, නිදහස හුඟක්ම පිරිහී ගිහින්. දේවල් සිදුවන්නේ හරි ඉක්මණට” යැයි ද ඇය කියා තිබේ.

තවත් ගනුදෙනුකරුවෙකු වන 45 හැවිරිදි ස්ටීවන් චව් කියා සිටියේ “ එහෙම පිටින්ම නිවැරදි මාධ්‍යයක් නැහැ. නමුත් එය (ඇපල් ඩේලි) හොංකොං හි අද්විතීය හඬක්,” කියාය.

“ඔබ එයට අකමැති විය හැකිය. නමුත් මම හිතන්නේ ඔබ එයට සිය මතය හඬ නගා කීමට ඉඩ දිය යුතුයි. එයයි වැදගත්.” යැයි ඔහු තවදුරටත් කීවේය.

ඇපල් ඩේලි පුවත්පත් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි පැහැදිලි නැත.

හිමිකරු ජිම් ලායි අත්අඩංගුවට ගැනමෙට පසුදා පුවත්පත ( අලිජසිරා ජායාරූපයකි)

එහි ධනවත් හිමිකරු වන 73 හැවිරිදි ලායි, 2019 දී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂනයන්ට සම්බන්ධ වීම නිසා මේ වන විට සිර දඩුවම් ලබා දී තිබේ. ජාතික ආරක්ෂක නීතිය යටතේ ද චෝදනා එල්ල කර ඇති  ඔහුගේ හොංකොං වත්කම් බලධාරීන් විසින් අත්හිටුවා තිබේ.

චීන ගැති හොංකොං බලධාරීහු බ්‍රහස්පතින්දා ඇපල් ඩේලි සමාගමේ වත්කම් වලින් තවත් හොංකොං  ඩොලර් මිලියන 18 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක්) අත්හිටුවා හිටුවන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂනයන් මෙහෙය වූ බොහෝ තරුණ තරුණියන් දැනටමත්  අත්අඩංඟුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබු හොං කොං හි පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අහෝසි කිරීම චීන ආණ්ඩුවේ සැලැස්මය. වීනයට ආවඩන ශ්‍රී ලංකාවේ ඊනියා වාමංශිකයින් මෙම මර්දනයටද සහාය දන්වනු ඇත. මන්ද යත් ඩිව් ගුණසේකරගේ සිට වාසුදේව නනායක්කාර දක්වා සිටින එවැන්නන් රාජපක්ෂ මර්දනයේ අත් උදව්කරුවන් බවට දැනටමත් පත්ව සිටින නිසාය.

තවද චීනයට ආවඩන නූතන මාක්ස්වාදීන් යැයි කියා ගන්නා පිරිස් ද මෙම මර්දනය ගැන නිහඩව සිටිති.

(විදෙස් පුවත් වාර්තා ද ඇසුරිණි)

Archive

Latest news

Related news