Friday, March 29, 2024

රාජපක්ෂ ආන්ඩුව අන්තර්ජාලය තුල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වල කපයි – සකුන ජයවර්ධන

රාජපක්ෂ ආන්ඩුව, ගතවූ සතිය තුල, අන්තර්ජාලය තුල අදහස් පල කිරීමේ අයිතියට එරෙහිව පොලීසිය කඩා පැන්නවීම සඳහා අවශ්‍ය පසුබිම සූදානම් කලේය:

  • ජූනි 07 වනදා, සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වන “ව්‍යාජ ප්‍රවෘත්ති” හඳුනාගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව යටතේ විශේෂ කන්ඩායමක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කලේය.
  • ජූනි 7 වනදාම, “ජනාධිපති  ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්” එල්ල වන බවට සැක කරන පුවතක් ෆේස්බුක්හි පල කිරීම හේතු කොටගෙන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂන සංගමයේ සභාපති යසිරු කුරුවිටගේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගැනින. ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් ගොනු කිරීමට පවා පොලීසිය අසමත් වූ අතර, ජූනි නමවනදා ඔහුට ඇප හිමිවිය.
  • ජූනි 08 වනදා, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සහ පොලිස් පරිගනක අපරාධ කොට්ඨාසය “අන්තර්ජාලය තුල සැරි සරමින්” ඊනියා ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවසුවේය
  • ජූනි 8 වනදා ම, පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාලය තුල “අසත්‍ය ප්‍රචාර” පැතිරීම වැලැක්වීම යටතේ වරෙන්තුවකින් තොරව අත් අඩංගුවට ගත හැකි බව නිවේදනය කලේය. “දන්ඩ නීති සංග්‍රහය”, “සිවිල් හා දේශපාලන සම්මුති”, “පරිගනක අපරාධ පිලිබඳ”, “ත්‍රස්තවාදය වැලැක්වීමේ” සහ “අසභ්‍ය ප්‍රකාශන” යන පනත් යටතේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නන්ට සහ ඊට අනුබල දෙන්නන්ට එරෙහිව පියවර ගත හැකි බව නිවේදනයෙහි සඳහන් ය. මේ යටතේ තොරතුරු, ඡායාරූප, වීඩියෝ දර්ශන වලට එරෙහිව පියවර ගත හැකිය.
සමාජ මාධ්‍ය භාවිතා කරමින් 2018 දී වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහය දක්වමින් කොලඹ ගාලුමුවදොර පැවැත්වූ විරෝධතාවය

දේශපාලන විරුද්ධවාදීන් ට සහ නිදහස් ප්‍රකාශනයේ අයිතියට එරෙහිව යොදා ගැනීම සම්බන්ධයෙන් මෙම පනත් වලට දීර්ඝ ඉතිහාසයක් පවතී. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්), දන්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඒ සම්බන්ධයෙන් කුප්‍රකටය.

අන්තර්ජාලය තුලට කෙරෙන මෙම ප්‍රපජාතන්ත්‍ර -විරෝධී මැදිහත්වීම, කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල තලා දැමීම සඳහා ජනාධිපති රාජපක්ෂ සූදානම් කරන ආඥාදායක යාන්ත්‍රනයේ කොටසකි. එමෙන්ම මෙය, ආන්ඩුව විසින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුල භාෂනයේ යෙදීමට ඇති අයිතියට එරෙහිව දිගුකාලීනව ගෙනයන  මර්දනය නව ඉහලකට නැංවීමකි.

ආන්ඩුව දැනටමත් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැඩ වර්ජන තහනම් කරමින් අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා ඇත. මීට පෙර සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම වාරනය කරමින් නිවේදනයක් නිකුත් කෙරිනි. අන්තර්ජාලය තුලට කෙරෙන පොලිස් කඩා පැනීම මෙම ප්‍රහාර මාලාවේ මෑතම පියවරයි.

එම ප්‍රහාරය කම්කරු පීඩිත මහජනතාවට කරන බරපතල අනතුරු ඇඟවීමකි. අන්තර්ජාලය තුල තමාට එරෙහිව පලවන දේශපාලන විවේචන සහ කම්කරු-පීඩිත මහජනතාවගේ විරෝධය ප්‍රකාශයට පත් වන ඕනෑම දෙයක් “ව්‍යාජ ප්‍රවෘත්ති” ලෙස හංවඩු ගසා, එය පලකල සහ බෙදාහදාගත් අය අත් අඩංගුවට ගැනීමට ආන්ඩුව කටයුතු කරමින් සිටී. එනම් අන්තර්ජාලය තුල අදහස් ප්‍රකාශ කිරීම දඬුවම් ලබාදිය හැකි අපරාධයක් බවට පත් කොට ඇත.

“අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජන සාමය බිඳ වැටීම”, “ජාතින් අතර ආගම් භේද ඇතිවීම” ආදී කාරනා සිදුවිය හැකි බව පොලිස් නිවේදනයේ සඳහන් වේ. මහජන සාමය බිඳ වැටීම යන චෝදනාව ධනපති ආන්ඩු කම්කරු පන්තියේ අරගල වලට එරෙහිව කඩා පැනීම සඳහා නිරතුරුවම යොදාගනී. එමෙන්ම, දෙමල ජන වර්ගයට එරෙහිව රුදුරු යුද්ධයක් ගෙනගිය පාලන තන්ත්‍රයක් ජාතින් අතර භේද ඇතිවීම පිලිබඳ දක්වන උනන්දුව කුහකය.

ආන්ඩුව මෙම මර්දනකාරී පිලිවෙත් ක්‍රියාවට දැමීමට කොරෝනා වසංගතය ගසා කමින් සිටී. ඔවුන් චෝදනා කරන්නේ ව්‍යාජ ප්‍රචාර හේතුවෙන් වසංගතය පාලනය කිරීමේ වැඩ පිලිවෙලට බාධා සිදුවන බවයි. නමුත් සැබෑවටම, රෝගීන් පිලිබඳ සැබෑ සංඛ්‍යා ලේඛන යටපත් කරමින් අසත්ය තොරතුරු වගුරුවන්නේ සහ අගුලු දැමීම වැනි අත්‍යාවශ්‍ය සෞඛ්‍යාරක්ෂන පියවර ප්‍රතික්ෂේප කරමින් වසංගත පාලනය සම්බන්ධ විද්‍යාත්මක වැඩ පිලිවෙලකට එරෙහිවව සිටින්නේ ආන්ඩුවයි.

කේන්ද්‍රීය කාරනාව නම් අදාල තොරතුරු “අසත්‍යද” නැද්ද යන්න නිර්නය කරන්නේ කවුරුන් විසින්ද යන්නයි. මහජන ආරක්ෂක ඇමති සඳහන් කල පරිදි ඒවා තීන්දු කරන්නේ අපරාධ විමර්ශන අංශය විසිනි. ආන්ඩුවේ මර්දනයේ සෘජු උපකරනයක් වන එය අසත්‍ය තොරතුරු ලෙසින් හංවඩු ගසනු ඇත්තේ ධනපති පන්ති පාලනයට එරෙහිවන තොරතුරු බව නිසැක ය.

ආන්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර පිලිබඳව විවිධ සමාජ කොටස් අතරේ සැලකියයුතු විරුද්ධත්වයක් වර්ධනය වී ඇත. පසුගිය 09 දා ප්‍රකාශයක් නිකුත් කරමින්, අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සඳහන් කලේ “සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බිය ගැන්වීමට ආන්ඩුව උත්සාහ දරන” බවයි.

කෙසේ නමුත්, වසංගතයෙන් උග්‍රකෙරී ඇති ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවන ආන්ඩුවට, ඊට එරෙහිව වැඩෙන පන්ති අරගල තලා දැමීම සඳහා මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීම හැර අන් විකල්පයක් නැත. පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරේ සමාජ මාධ්‍ය වල තොරතුරු ප්‍රචාරය “රාජ්‍ය අධිකාරය යටතේ නියාමනය කිරීමට” හැකියාව සහිත “නීතිමය රෙජීමයක්” පිහිටුවීමට ආන්ඩුව සූදානම් වන බවයි.

ආන්ඩුවේ මෙම පියවර නීති විරෝධීය. රටේ කිසිදු නීතියක් යටතේ “අසත්‍ය  තොරතුරු” පල කිරීම “අපරාධයක්” නොවේ. පසුගිය සිරිසේන – වික්‍රමසිංහ ආන්ඩුව සමයේ එය නීතියක් බවට පත් කිරීමට උත්සාහ දැරූ නමුදු එය අසාර්ථක විය.

කෙසේ නමුත්, පවත්නා නීතිය යටතේ ම “අසත්‍ය තොරතුරු” ප්‍රචාරය කිරීමේ චෝදනාව මත දඬුවම් පැමිනවිය හැකි බවට ඉඟියක්, යසිරු කුරුවිටගේ ට ඇප ලබාදීමේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කල ප්‍රකාශයේ ගැබ්ව පවතී. භාෂනයේ නිදහසට “සීමා” පවතින බවත් එය උපයෝගී කර ගනිමින් අසත්‍ය  සහ මහජනයා නොමග යවන සුලු  ප්‍රකාශ පලකිරීමට හැකියාවක් නැතැයි ඔහු සඳහන් කල බව අද දෙරන වාර්තා කලේය.

මෙය පෙන්නුම් කරන්නේ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති රාජ්‍ය සංස්ථාපිතයම, අන්තර්ජාලය තුල භාෂනයේ නිදහසට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති බවයි. මේ සියලු කොටස් බියට පත්වී සිටින්නේ මහජනතාවගේ වැඩෙන විරුද්ධත්වය සමස්ත ධනපති ක්‍රමයටම එරෙහිව වර්ධනය වෙතැයි යන්න පිලිබඳවය. එම මහජන විරුද්ධත්වය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී අරගල රැල්ලකට ගිනි අවුලුවනු ඇතැයි ඔවුහු උත්සුකව සිටිති.

පසුගිය දශක කිහිපය තුල ලංකාව තුල සමාජ මාධ්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත. ඩිජිටල් අලෙවිකරනය පිලිබඳ ආසියා පැසිෆික් ආයතනය සිය වාර්තාව තුල සඳහන් කර තිබුනේ මිලියන 10.1 ක් වන ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සියයට 63 ක් සක්‍රීයව සමාජ මාධ්‍ය තුල ක්‍රියා  කරන බවයි. මෙම තත්වය තුල වඩා ඉක්මනින් තොරතුරු සම්ප්‍රේෂනය කල හැකි සහ සන්නිවේදනයට පහසුකම් සහිත සමාජ මාධ්‍ය, කම්කරුවන්ගේ අරගල සංවිධානය කල හැකි ප්‍රබල ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.

2011 ඊජිප්තු විප්ලවය වැනි ජාත්‍යන්තර සිද්ධීන් වලදී ද, 2018 දී වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහය දක්වමින් පන්දහසකට ආසන්න තරුන පිරිසක් කොලඹ ගාලුමුවදොර පැවැත්වූ විරෝධතාවය වැනි ජාතික සිද්ධීන් වලදී ද සමාජ මාධ්‍ය ඉටුකල ඉමහත් භූමිකාව පිලිබඳව දැනුවත් ධනපති පාලක පන්තීන් එයට එරෙහි ප්‍රහාරය තියුනු කර ඇත.

WSWS වෙබ් අඩවියේ පළ වූ ලිපියක සංස්කරණය කරන ලද ලිපියක් බව සළකන්න. මුල් ලිපිය මෙහි ඇත.

Archive

Latest news

Related news