Saturday, April 20, 2024

වරාය සේවකයිනට ධම්මික පැණිය දුන්නේ කාගේ අනුමැතියෙන්ද? කීයක් ගියාද? පරීක්ෂනයක් කරනු! – සමිති ඇමැතිට කියති.

වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට ලිපියක් යවමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පුශ්ණ ගණනාවකට පිළිතුරු ඉල්ලා තිබේ. ඒ් අතර එක් කාරණයක් වන්නේ “කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව කොවිඩ් ප‍්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා ආයුර්වේද සංස්ථාවේ අනුමැතියක් නැතිිව තිබියදී ධම්මික පැණිය නමින් පානයක් වරාය සියලු සේවකයන්ට බෙදා දීමත්  එම පැණිය වරාය සේවකයන්ට බෙදා දීමට තීරණය කළේ කුමන නිර්ණායක යටතේද යන්නත් ඒ සඳහා කොපමණ මුදලක් වැය කර ඇත්ද යන්නත් සොයා බලන ලෙස ඉල්ලා සිටීීම” ය.
මතුව ඇති ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට කඩිනම් වෘත්තීය සමිති සාකච්ඡාවක් ඉල්ලා සිටීම.
කොවිඞ් වසංගතය හමුවේ රටට ආර්ථික වශයෙන් අතිශයින්ම වැදගත් ආයතනයක් ලෙස වරාය සේවා  අඛණ්ඩව පවත්වාගෙන යෑම ඉතා වැදගත් වේ. ජීවිත අවදානමක් සහිතව වුවත් වරාය සේවා පවත්වාගෙන යෑමේදී වරාය සියලු සේවකයන් දක්වන ලද කැපකිරීම, මැදිහත්වීම විශේෂයෙන් අගය කර සිටිමු.
කරුණු එසේ වුවත් ඔබතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය විසින් මේ වන විට ගනිමින් පවතින ඇතැම් ක‍්‍රියාමාර්ග හා තීරණ වරාය පැවැත්මට හා සේවක යහපතට හේතු නොවන බව අපගේ අවංක විශ්වාසය වේ.
01. X-press pearl නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත් නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත වූ කාලය තුළ නිවැරදි තීරණවලට එළඹුණේ නම් සිදුව ඇති අති විශාල විනාශය වැළැක්වීමට හැකියාව තිබුණේය යන්න අපගේ අදහස වේ. එම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ලෙස කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටීම.
02. කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ජයබහලු පර්යන්තය හා ECT පර්යන්තය සඳහා දින 7ක සේවා මුර ක‍්‍රමයක් හඳුන්වා දීම හේතුවෙන් මෙහෙයුම් ක‍්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මෑන්පවර් සමාගමක් මගින් දෛනිකව ග‍්‍රැන්ටි දොඹකර ට‍්‍රාන්සර් දොඹකර, ප‍්‍රයිමුවර් සඳහා ක‍්‍රියාකරුවන්ගේ සේවය ලබාගනු ලැබිණි. එම ක‍්‍රමවේදය කොවිඩ් තෙවැනි රැල්ලේදී අවශ්‍ය නොවන බවට පාලනාධිකාරිය තීරණය කර ජයබහලු පර්යන්තය හා ECT පර්යන්තය තුළ රාජකාරි කරනු ලැබූ සේවකයන් පූර්වයෙන් පැවති සේවා මුර ක‍්‍රමය වෙත අනුයුක්ත කොට ඇත. එසේ තිබියදී මෑන්පවර් සමාගම් මගින් දෛනිකව සේවකයන් සේවයට එක්කර ගැනීම එම සේවා පුද්ගලික අංශයට පැවරීමක් වන අතර, එමගින් ඊට සම්බන්ධ පිරිස් වෙත අත යට මුදල් ගනුදෙනු ලැබෙනවාද යන ගැටළුව අපට ඇත. මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීම.
03. ග‍්‍රැන්ටි දොඹකර, ට‍්‍රාන්සර් දොඹකර, ප‍්‍රයිමුවර් ඇතුළු මෙහෙයුම් යන්ත‍්‍ර සඳහා සේවකයන් පුහුණු කිරීමේ හා බඳවාගැනීමේ පැහැදිලි හා නිශ්චිත ක‍්‍රමවේදයක් වරාය තුළ ඇත. එම ක‍්‍රමවේදය පසෙකට කර විවිධ අයගේ යාළුකම්, ඥාතිකම් මත හා බාහිර පාර්ශ්වවල වුවමනා එපාකම් මත වරාය සේවයෙන් පිට පිරිස් වරායට රැගෙන විත් කෝටි ගණනක් වටිනා යන්ත‍්‍ර සූත‍්‍රවලට අලාභහානි සිදුකරමින් පුහුණු කිරීමේ කිසිදු දැනුමක් නොමැති මෑන් පවර් සමාගම් මගින් දෛනිකව සේවයේ යොදවා ඇති සේවකයන් මගින් පසුගිය කාලය පුරාම පිටස්තර පිරිස් පුහුණු කර ඇත. මෙය ඉතා බරපතළ විනාශකාරී තත්ත්වයක් වන අතර, ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම.
04. වසර දහය, පහළොව වැනි දීර්ඝ කාලයක් පුරා අදාළ තනතුරේ වැටුප් නොලබා විවිධ තනතුරුවල වැඩ ආවරණය කරන සහ වැඩබලන සේවකයන් වෙත සුදුසුකම් අනුව එම තනතුරු කඩිනමින් ලබා දෙන ලෙසත්, තවදුරටත් පවතින පුරප්පාඩු පිරවීම සඳහා නියමිත ක‍්‍රමවේදයකට යටත්ව කටයුතු කරන ලෙසත් විශ‍්‍රාම යන සේවකයන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු කර එම පුරප්පාඩු කල්ඇතිව පිරවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම.
05. වරාය මගින් ගොඩබාන හා පටවන සෑම බහලුමක් සඳහාම නෞකා ඒජන්තවරයා විසින් ඊට සම්බන්ධ වන සියලු සේවකයන් දිරිගැන්වීම සඳහා ඩොලර් දෙකක මුදලක් (අද වටිනාකම රුපියල් 400 ඉක්මවා ගොස් ඇත.) අයකරනු ලබයි. එම මුදල වරාය අධිකාරිය මැදිහත්ව අදාළ පාර්ශ්ව වෙත ලැබීමට කටයුතු කරනු ලැබුවත් එම ක‍්‍රමවේදය හඳුන්වා දුන් 2003 වසරේ සිට අවස්ථා දෙකකදී හැර සේවකයන්ට ගෙවන මුදල් වැඩිකර නැත. එසේම ඩොලරය වැඩිවීමට සාපේක්ෂව සේවකයන්ට ගෙවන මුදල ගණනය කළ යුතු වුවත් එය එදා සිට මේ දක්වාම එවැන්නක් ක‍්‍රියාත්මකව නැත. මේ අනුව මෙහි බරපතළ මූල්‍ය වංචාවක් සිදුවන බව බැලූ බැල්මට පෙනී යන කරුණකි. කරුණු මෙසේ තිබියදී කොවිඩ් වසංගතය හමුවේ මෑන් පවර් සේවකයන් සේවයට යොදවා ගනිමින් සිදුකරන මෙහෙයුම් කටයුතු සඳහා ලැබිය යුතු ලැබීම් අදාළ සේවකයන්ට හෝ වරාය සේවකයන්ට ලැබී නැති අතර, එම මුදල් කාගේ ගිණුමට බැර වුණාද යන්න බරපතළ ගැටළුවකි. සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටීම.
06. කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව ධම්මික පැණිය නමින් පානයක් වරාය සියලු සේවකයන්ට බෙදා දෙන ලදි. එම පැණිය කොවිඩ් ප‍්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා ආයුර්වේද සංස්ථාවේ අනුමැතියක් නැත. එසේ තිබියදී එම පැණිය වරාය සේවකයන්ට බෙදා දීමට තීරණය කළේ කුමන නිර්ණායක යටතේද යන්නත් ඒ සඳහා කොපමණ මුදලක් වැය කර ඇත්ද යන්නත් සොයා බලන ලෙස ඉල්ලා සිටීම.

රුපියල් 40ට ගත්  මුහුණූ ආවරණ ලක්ෂය

07. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වරාය සේවකයන් වෙනුවෙන් මීලදී ගෙන බෙදාදීමට කටයුතු කර ඇති හා අදටත් බෙදා දෙනු ලබන එක් වරක් පාවිච්චි කර ඉවත දමන Kenko වෙළෙඳ නාමය යටතේ ආයතනික මුහුණු ආවරණ එකක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 40ක මිලකට ය. ඒ අනුව මසකට එවැනි මුහුණු ආවරණ ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් වරායට ලබාගන්නා බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව එහි බැලූ බැල්මට මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව පෙනී යනු ලබයි. ඒ නිසාම කොවිඩ් ව්‍යාප්තියත් සමග මිලදී ගනු ලැබූ අනෙකුත් මිලදී ගැනීම් පිළිබඳවද ගැටළු මතුවී ඇත. මුළු රටම දැඩි මූල්‍ය අර්බුදයක ගිලී පවතින මොහොතක කොවිඩ් වසංගතය ජාවාරමක් බවට පත්කරගෙන කටයුතු කර ඇත්ද යන්න සොයා බලා නිසි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම.
08. වරාය මුළුතැන්ගෙය සඳහා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම්වලදී විශාල වශයෙන් වංචා සිදුවී ඇත. ඒවා කාලයක් පුරා සිදුව ඇති අතර, අදටත් එම වංචා එසේ ම සිදුවේ. මුළුතැන්ගෙය තුළ සිදුව ඇති මූල්‍ය වංචා සොයා බැලීම හා දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටීම.
09. 2021. 01. 01 සිට වරාය සේවකයන් වෙත ලබා දෙනු ලැබූ සොච්චම් වැටුප් වැඩිවීම (පවතින ජීවන වියදමට හා 2018, 2015 වැටුප් වැඩිවීමට සාපේක්ෂව) විවිධ හේතු දක්වමින් ඇතැම් සේවක කණ්ඩායම්වල අතිකාල අඩුකිරීම මගින් කප්පාදු කර ඇත. අතිකාල සේවක අයිතීන් නොවුණත් සමාන්තර අර්ධ රාජ්‍ය ආයතනවලට සාපේක්ෂව වරාය සේවක වැටුප් පහළ අගයක පවතින අතර, වරාය බොහෝ කටයුතු පැය අටක සේවා මුරයක් තුළ සිදු කළ නොහැකි නිසා සේවකයන්ට අතිකාල කිරීම අනිවාර්යයක් බවට පත්ව ඇත. සේවකයන් සාපේක්ෂව අඩු වැටුප් ලැබුවත් සිදුකළ යුතු අත්‍යවශ්‍ය රාජකාරි ඉටුකිරීම සඳහා පැය 8න් ඔබ්බට වැඩකිරීම හරහා ලබන අතිකාල මගින් ජීවන වියදම ඉහළ යෑම යම් මට්ටමකට සමනය කර ගනු ලබයි. එවැනි පසුබිමක කොවිඩ් තත්ත්වය යොදාගනිමින් වරාය සේවක අතිකාල කප්පාදුව වරාය සේවකයා කබලෙන් ලිපට ඇද දැමීමක් වන අතර, ජීවිත අවදානම ද නොතකා වරාය සේවකයා මේ දක්වා ලබාදෙන ලද කැපකිරීම නොසලකා හැරීමකි. වරාය සේවකයන්ගේ අතිකාල කප්පාදුවට ගෙන ඇති තීරණය වහා අත්හිටුවා ඔවුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා සිටීම.
මෙම කරුණු පිළිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඒවා පිළිබඳව වැඩිදුර සාකච්ඡා කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා අප වෘත්තීය සමිතිය වෙත කඩිනමින් දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.’

(medialk.com පුවතක් ද ඇසුරුණි)

Archive

Latest news

Related news